ජීවිතේ ස්ථාවර වෙන්න සංයමය අවශ්‍යයි | Page 2 | සිළුමිණ

ජීවිතේ ස්ථාවර වෙන්න සංයමය අවශ්‍යයි

 

 

කාලෙකට පස්සේ ආයෙමත් පුංචි තිරයේ දකින ඇය 89, 90 කාලයේ දිදුලන සිනමා තරුවකි. කැත්ත, උදැල්ල හොඳට හුරු ඇය මේ මහා පොළොවට මහත් වූ ආදරයෙන් ගහ කොළ සොබා දහම හා බැඳී ජීවිතයේ යථාර්ථය අත්දකින්නී ය. නිළිකම ආභරණයක්කර හිස උදුම්මා ගන්නට තරම් නොවන බව ඇගේ ආකල්පය යි. කිරි අම්මාගේ ඇසුරෙන් වැඩිපුර ජීවන පෝෂණ ලද ඇය ඉවසීම, පරිත්‍යාගශීලී බව, අවැසි තැන්හී නම්‍යශීලීවීම, ගැමිකම, දේශීය සංස්කෘතිය අගයන බුදු දහමේ පෝෂණයෙන් මනාව හික්මුණු, නිහතමානී තැනැත්තියක බවට කලා ක්ෂේත්‍රයේ ප්‍රකට ය. මේ දිනවල විකාශය කෙරෙන ‘ටීචර් අම්මා‘, ‘ආලියා‘ ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට යළි පැමිණි ඇය මොරින් චාරුනී යි.

 

"සුදත්ත තිලකසිරිගේ ටීචර් අම්මා නාට්‍යයේදී මට ළමයි එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ගැන ගොඩාක් සතුටුයි සහ මං ඒ චරිතයටත් කැමතියි. මම ඒකේ රඟපාන්නේ ගල් වළක වැඩ කරන කාන්තාවක් හැටියට. හරිම ලස්සන දර්ශන තලවල රූගත කිරීම් කළේ. හරිම සුන්දරයි.

මේනක රාජපක්ෂගේ ‘ආලියා‘ නාට්‍යයත් වෙනස් අත්දැකීමක් වුණා. තව සතියකින් විතර විකාශය ආරම්භ වන රනිල් කුලසිංහගේ ‘පානාමංකඩ‘ නාට්‍යයත් විශේෂ යි. ඒකේ වලව්වක පුංචි මැණිකේ මමයි. පුංචි මැණිකෙට ඉතා සියුම් මානසික ආබාධයක් තියෙනවා. ඒක පෙනෙන නොපෙනෙන තරම් සියුම් ආබාධයක් නිසා ඒ චරිත නිරූපණය ඉතා ම සංකීර්ණයි වගේ ම අභියෝගාත්මක යි. එය ගොඩාක් වෙහෙසිලා, ලොකු වියදමක් දරලා, හරි ම ක්‍රමවේදවලට අනුගතව කළ නිර්මාණයක්. අධ්‍යක්ෂවරයා ඔහුට අවශ්‍ය චරිත ඉතා දක්ෂ විදිහට අපෙන් උකහා ගත් බව නම් කිව යුතු මයි.

මීට අමතර ව චන්න පෙරේරාගේ අලුත් ම චිත්‍රපටයේත් මම රඟපානවා. මාලනී අක්කා එක්ක සෑහෙන කාලෙකින් මට එකට වැඩ කරන්න මේ චිත්‍රපටය නිසා හැකි වුණා." මොරින්ගේ රංගන ජීවිතයේ වැඩිපුර ම හමු වන චරිතය වන්නේ වලව්වේ පුංචි කුමාරිහාමි ය.

"1985 දී සිරිල් වික්‍රමගේ අධ්‍යක්ෂණය කළ ‘කරදිය වළල්ල‘ චිත්‍රපටයෙන් පටන් ගත්තා ම‘ රූමතිය‘, ‘ගොළු මුහුදේ කුණාටුව‘, ‘සයනේ සිහිනය‘, ‘සක්විති සුවය‘ ඇතුළුව චිත්‍රපට හතළිහක විතර මම රඟපෑවා. සම්මානත් ලැබී තියෙනවා. ඒ අතරින් මට අදටත් හීනයක් වගේ දැනෙන සම්මානයක් තියෙනවා. ඒ තමයි වරක් ජනතා සම්මාන උලෙළේදී විජය - මාලනී යුවළ ජනප්‍රිය ම නළු නිළි යුවළ ලෙස සම්මාන ලබද්දී මට ජනප්‍රිය නැඟී එන නිළිය සම්මානය ලැබීම යි.

ඒ කාලේ පත්තරේ මුල් පිටුවක සිනමාවේ දැවැන්තයින්, විශිෂ්ටයින්, සුරූපීන්, අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වුණු විජය - මාලනී දෙදෙනාගේ ඡායාරූප එක්ක මගේ රූපයත් පළ කරලා තියෙනවා දැකලා මට ඇඬුණා. මට අදටත් හිතාගන්න බෑ මං ඇඬුවේ සතුටට ද දුකට ද කියලා. ඒ මගේ සිනමා ජීවිතයේ සොඳුරුතම කාලය යි. ඒ කාලේ අපේ සිනමාවත් හරි ම පොහොසත්."

ඒ සුපිරි සිනමාව ටිකෙන් ටික බිඳ වැටෙමින් දියාරු වන්නට වූ බව ඇය සංවේගයෙන් යුතුව සිහිපත් කළා ය.

"විවෘත ආර්ථිකයත් එක්ක ලෝකෙ ආර්ථික සමාජ චින්තන වෙනස් වුණා. අපේ සිනමාව ඉන්දියානු සිනමාව වගේ දියුණු කරගන්න බැරි වුණා. අපි හිටපු තැනම හිටියා. දියුණු දේවල් එක්ක තරග කරගෙන ඉදිරියට යන්න අපට බැරි වුණා. අපේ සිනමාව ටිකෙන් ටික බිඳ වැටෙන්න මේ හැමදෙයක් ම හේතු වුණා කියලයි මං හිතන්නේ."

 

උපතින් ගෙනා රංග කෞෂල්‍යය ප්‍රවීණයන් නිසා ඔප දැමුණු බව ඇය සිහි කළේ කෘතවේදීත්වයෙන් යුතුව ය.

"මම සිනමාව ගැන ලොකු අත්දැකීම් තිබුණු කෙනෙක් නෙවෙයි. ලොකු අවබෝධයක් ඒ ගැන තිබුණෙත් නෑ. හැබැයි මට සිනමාවේ ප්‍රවීණයින් සමඟ එකට වැඩ කරන්න ලැබුණා. රංගන ශිල්පීන් වගේ ම සිනමා නිර්මාණයට දායක වන සෑම ක්ෂේත්‍රයකම ශිල්පීන්ගෙන් මට යමක් ඉගෙන ගන්න ලැබුණා. මගේ පවුලේ අයගෙනුත් ලොකු සහායක් ලැබුණා. මේ දෙපාර්ශ්වය ම දෙපැත්තෙන් ඉඳගෙන ඉතා සවිමත් ව අල්ලාගෙන සිනමාව නමැති ඉණිමගේ මේ තාක් ඉහළට නැඟගන්න මට උදව් කළා. මමත් ඒ අය අල්ලාගෙන ඉන්න ඉණිමග දිගේ ඉතා ම ඉවසීමෙන්, බොහොම කල්පනාවෙන්, සීරුමාරුවට මේ තාක් ඉහළට නැඟ ගත්තා." තිස්ස අබේසේකරයන් ඇයට හමු වන්නේ ඒ ගමනේ අතරමගදී ය.

"ඇත්තට ම මම සිනමාව නිසි විදිහට ඉගෙන ගන්නේ එතුමාගේ හමුවීමත් සමඟයි. කටහඬ හසුරවන්න, සිනමාවේ ගැඹුර මට එතුමා අවබෝධ කර දුන්නා. විශිෂ්ට සිනමා කෘති බලන්න, වැඩමුළුවලට සහභාගී වෙන්න, රංගනයේ සියුම් භාව හඳුනා ගන්න, ඒවා වැඩිදියුණු කරගන්න එතුමා තමයි ගුරුහරුකම් දුන්නේ. ඒ අත්දැකීම් රංගන ජීවිතයේ විවිධ චරිතවලට අවතීර්ණ වෙන්න මට උදව් වුණා.

සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ "සඳගලතැන්න" නිර්මාණය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ ඒ ලැබූ ගුරුහරුකම්, අත්දැකීම්වල ප්‍රතිඵල හැටියටයි. සම්මාන උලෙළ හතරකදී ඒ චරිතය හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. ඊට පස්සේ තමයි චරිතාංග නිළියක් හැටියට මගේ රංගාවතරණය සිදු වන්නේ.

දැන් ඉතින් දුක් විඳින අම්මා, හේනේ පැළේ අම්මා වගේ විවිධ චරිත ලැබෙන්නේ. ඒ තැනට එන්න මට ලොකු කාලයක් ගියා. හැබැයි ඉක්මනින් දුවන්න, හඹාගෙන යන්න මට ඕනෙ වුණේ නැහැ. මට ඕනෑ වුණේ මේ ක්ෂේත්‍රයේ වැඩි කාලයක් රැඳී ඉන්නයි. එහෙම ඉන්න නම් හඹා යන්න නරකයි. කාගෙන්වත් කරදරයක්, හිරිහැරයක්, කයි කතන්දරයක්, අතුරු ආන්තරාවක් නැතිව සීරුමාරුවට නොගියා නම් නැති කරදර ඇති වෙනවා. හිත් අමනාපකම් ඇති වෙනවා. පුංචි පුංචි දේවල් ඇති වුණත් මම ඒවා ඇඟට ගන්නේ නෑ. මට රඟපෑම ආභරණයක් විතරයි. මම ඒ ආභරණය නිසා බැබළෙනවා. ඇඳිවතින් ම සුසානයට යන මේ ශරීරය භෞතික දෙයින් සන්තර්පනය කිරීම අනවශ්‍ය බව මම දහමෙන් අවබෝධ කරගෙන ඉන්නේ. “

“අනිත් අය කරන දේවල් ගැන මට විවේචන නෑ. මම නම් මෙහෙමයි. රඟපෑමේදී විවිධ ස්වරූප ගන්නවා. උත්සවයකට වගේ යද්දී වැඩිපුර ම ඔසරියෙන් සැරසෙනවා. වත්තේ වගා කටයුතු කරද්දී බූට්ස් දෙකක් දාලා කොට කලිසමකුයි කමිසයකුයි ඇඳ ගන්නවා. කඩේකට බැංකුවට වගේ යද්දි ඇඟ වැහෙන්න ඇඳන් යනවා හැරෙන්න මේකප් කර කර, ආභරණ ද දා නම් කාලය නාස්ති කරන්නේ නෑ. ඒක මේතාක් මට වරදක් වෙලා නෑ. ඒ නිසා මම දිගටම මෙහෙම තමයි."

මේ කතාබහ නිම කරන්නට මත්තෙන් පවුලේ තොරතුරු විමසන්නත් අප අමතක කළේ නෑ.

"මගේ සැමියා ගිහාන් ඉඹුලාන සංචාරක කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්. මේ දවස්වල නම් ලංකාවෙ නෑ. කොවිඩ් තත්ත්වය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දවස්වල ටිකක් අඩාළ වෙලා නිසා ඔහු ටික කාලෙකට විදේශගත වුණා. අපේ එකම දුව කළමනාකරණය, ගිණුම් අංශවලටයි වැඩි නැඹුරුව. ඇය මේ දවස්වල ආචාර්ය උපාධියට සූදානම් වෙනවා. ඇය පාසල් කාලේ කලා කටයුතු කළා. මේ ක්ෂේත්‍රයට එන්න නම් ඇයට උනන්දුවක් තිබුණෙම නෑ. මම ඇයව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න විශේෂ උනන්දුවක් දැක්වූවේ නැහැ. දක්ෂ පැත්තෙන් ඇයට යන්න අත දුන්නා. පාසල් විභාග ඉවර කරනකල් මම කලා කටයුතුවලිනුත් ඈත් වෙලා දුව වෙනුවෙන් කැප වුණා. ඇය ඒ ප්‍රතිඵල ලැබුවා. අද මවුපියන් හැටියට අපිට දුව ගැන සතුටුයි“.

ලියන්න තව බොහෝ දේ මේ කතා බහ අතරේ තිබුණත් ලියා තබන්නේ මෙපමණි. ඇය ව දන්නා අයටත්, නොදන්නා නව පරපුරක් වේ නම් ඒ අයටත් ඇත්ත මොරින් චාරුණී කවුදැයි හඳුනා ගන්නට මෙපමණ පමණ වනු නොඅනුමාන ය.

Comments