ඔස්කාර් සම්මා­න­ලාභී මරේ ඒබ්‍ර­හම් මගේ හොඳ යාළු­වෙක් | Page 2 | සිළුමිණ

ඔස්කාර් සම්මා­න­ලාභී මරේ ඒබ්‍ර­හම් මගේ හොඳ යාළු­වෙක්

පරෙස්සම් වෙයන් කිව්වම කවුද බං මාව මරන්නෙ කියලා විජය ඇහුවා...

 

වැලිකතර චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයකි. එහි ජෝ අබේවික්‍රම රඟපෑවේ ගෝරිං මුදලාලිගේ චරිතය ය. ඔහුගේ සඟයා ලෙස රඟපෑ නළුවා එම චිත්‍රපටයේ රඟ පෑ මහා සිනමා පෞරුෂ සේම කිසිදිනෙක ප්‍රේක්ෂක සිතින් බැහැරට නොගියේය. එසේම ‘අඹ යහළුවෝ‘ ටෙලිනාට්‍යයේ කැන්දලන්ද චරිතය රඟපෑම නිසා කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද විරෝධය ඔහුට එල්ල විය. ඒ රංගනය එපමණටම තාත්වික විය.

 

වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය යන කලා මාධ්‍ය තුනෙහිම නොමැකෙන මතක සටහන් තැබූ බුද්ධි වික්‍රම නම් අපූරු මිනිසා සොයා පසුගිය දින අපි හෝමාගම වෑකඩ පිහිටි ඔහුගේ නිවෙස වෙත ගියෙමු. එය සොඳුරු හමුවකි. බොහෝ රසකතා අතර අපි අපේ සංවාදය ඇරඹුවෙමු.

“ මට දැන් සෑහෙන්න කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මීට අවුරුදු හතකට කලින් මම බයිපාස් සැත්කමකට මුහුණ දුන්නා. ඊට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වීම අඩු කළා. දැන් අවුරුදු හතරකට කලිනුයි මට මේ පාකින්සන් රෝගය වැලඳුණේ. මේක හැදෙන්නේ කැසියස් ක්ලේ, ඇමරිකාවේ ජනාධිපතිලා වගේ ලොකු මිනිස්සුන්ටනේ ඉතින්.“ ඔහු කොක්සන් දී සිනාසුණේය. මිනිසුන් පෙළා දමන බිඳ දමන රෝගයකින් පෙළෙමින් ඔහු ජීවිතයේ ස්වරූපය කියමින් හිඳී.

“ මගේ යාළුවෝ සහ ඥාතීන් කීප දෙනෙක් එකතු වෙලා විදුලි රෝදපුටුවක් අරන් දුන්නා. දැන් ඉතින් වැඩිපුරම කාලය ගත වෙන්නේ රෝද පුටුවෙන් ඇඳටයි, ඇඳෙන් රෝද පුටුවටයි.“බුද්ධි වික්‍රමයන් කයින් රෝගීව සිටියත් සිනහව ඔහු කෙරෙන් ඉවත්ව ගොස් නැත.

“මගේ ගම ගාල්ලේ හීනටිගල. මහින්ද විද්‍යාලයෙන් මං අධ්‍යාපනය හදාරන කාලේ විනී විතාරණ සර් "අවුරුද්ද"නමින් නාට්‍යයක් කළා. එතකොට මම කුඩා දරුවෙක්. මට කියන්න තිබ්බේ එක දෙබසයි. ඒ "අම්මේ මට බඩගිනියි"

ගාල්ලේ මහින්ද විද්‍යාලයේදී බුද්ධි වික්‍රමට මුණගැසුණු ධම්ම ජාගොඩ නම් මිතුරා ඔහුගේ ජීවිතය වෙනස් කළේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණු ධම්ම තම මිතුරා වූ බුද්ධිටත් එම දෙපාර්තමේන්තුවටම සැලසුම් ශිල්පියකු ලෙස එක්වීමට අවශ්‍ය මඟපෙන්වීම කළේය. එහිදි බුද්ධිගේ මිතුරකු බවට පත්වූ නෝටන් දයානන්ද දිනක් ජී.ඩී.එල් පෙරේරාගේ ‘කලාපෙළ‘ නාට්‍ය පුහුණුවක් සඳහා බුද්ධි රැගෙන ගියේය. කුඩා කාලයෙන් පසුව ‘මඟුල් මතය‘ ගීත නාටකය හරහා වේදිකාවට පිවිසීමට බුද්ධි වික්‍රමට අවස්ථාව සැලසෙන්නේ මේ ආකාරයෙනි.

කලා පෙළ නිෂ්පාදනයක් වූ ‘සාමා‘ චිත්‍රපටයෙන් බුද්ධි වික්‍රම සිනමා නළුවෙක් විය. අපි ඒ මතකය ඔහුගෙන් විමසුවෙමු.

“ සාමා චිත්‍රපටය එක්තරා විදිහක පර්යේෂණයක්. අපි උත්සාහ කළේ පසුව දෙබස් ගැනීමකින් තොරව ඒ මොහොතේම අදාළ දර්ශන දෙබස් සමඟම රූගත කරන්න. නමුත් කපුටන්ගේ සද්දෙ නිසා ඒ දේ කරගන්න අපිට බැරි වුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කඩවත පිහිටි දර්ශන තලයට ඇවිත් අපි හැමෝවම දිරිමත් කළා.“

“ඉන්පසුව ඔබ සම්බන්ධ වුණු චිත්‍රපටි අතරින් විශේෂ චිත්‍රපටය ගැන කියන්න පුළුවන් ද?. “ අපි ඔහුව විමසුවෙමු.

“වැලිකතර චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ මිත්‍රයෙක් විදිහට වගේම ‘හාරලක්ෂය‘ චිත්‍රපටයේ මංකොල්ලකරුවකු විදියට මම රඟපෑවා. ඊට අමතරව දහසක් සිතුවිලි, සැඬොල් කඳුළු, සාරංගා, අන්තිම රැය, තරණය, රොමියෝ ජුලියට් කතාවක් වගේ චිත්‍රපටි ගණනාවකට දායක වුණා.“

“ඔබ විදේශ චිත්‍රපට කීපයකටම සම්බන්ධ වුණා නේද?“ මම ඔහුගේ මතකය වෙනත් මානයකට රැගෙන ගියෙමි.

“ ඔව්, The greatest gift, The village by the sea, The good marriages, The water ඒ අතරින් මගේ මතකයට එන සිනමා නිර්මාණ. ඒ වගේම මේ වගේ අවස්ථා ලැබුණු නිසාම ඔස්කාර් සම්මාන ලාභී මරේ ඒබ්‍රහම්ගේ මිතුරෙකු බවට පත්වෙන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒක ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.“

“විජය කුමාරතුංගත් ඔබගෙ සමීප මිතුරෙක්? “බුද්ධිගේ සහ විජයගේ මිතුදම මා අසා තිබිණි.

“ඔව්, විජය කියන්නේ මගෙ හොඳම යාළුවෙක්. එක වතාවක් කළුතර බෝධිය වඳින්න විජය ඇවිත් ඉන්න වෙලාවක මම විජයට ඩිස්ටර්බ් වෙයි කියලා ළඟට ගිහින් කතා කළේ නැහැ. විජය ඒකට මගේ ළඟට ඇවිත් නොසෑහෙන්න දොස් කිව්වා. ධම්ම ජාගොඩගේ මරණය දවසේ පිට්ටනියට යද්දි විජයට පරෙස්සම් වෙන්න කියලා මම කිව්වා. "මාව කවුද මරන්න ඉන්නෙ බං" කියලා විජය මගෙන් ඇහුවා. විජය මැරුණ වෙලාවේ මගේ නෝනා දුක දරාගන්න බැරි නිසාම මළගෙදර ගියේ නෑ. දුව මාත් එක්ක ගියත් විජයගේ දේහය දිහා බැලුවේ නෑ. විජයගේ මරණය අපිට තදින් දැනුණා.“

සිනමා ගමනින් අනතුරුව ‘එක මවකගේ දරුවෝ‘ ටෙලි නාට්‍යයෙන් අරඹා ටෙලි නාට්‍ය පනහක පමණ රංගන දායකත්වය බුද්ධි වික්‍රම ලබා දී තිබුණි. ඒ අතරින් තමන් ‘දු දරුවෝ‘ ටෙලි නාට්‍යයේ පුන්සිරිගේ පියා ලෙස සිදු කළ චරිතයට බෙහෙවින් ප්‍රිය කළ බව පවසන බුද්ධි ‘අඹ යහළුවෝ‘ ටෙලි නාට්‍යයේ කැන්දලන්ද චරිතය නිරූපණය කිරීම නිසා ඇතැම් රසිකයන් "ඔබතුමාගෙන් අපි ඔහොම චරිත බලාපොරොත්තු වෙන්නේ නැහැ" යැයි කී බව පැවසුවේය. තාරාදේවි නාට්‍ය ගැන සඳහන් කළ ඔහු "මට ඉතිං අනෝජව කසාද බඳින්නත් වුණානේ" කියමින් සිනාසුණේය. බුද්ධිගේ විවාහ ජීවිතය ගැන විමසන්නට සිතුණේ මේ කතා බහ යන අතර තුරය.

“ මම මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පස්සේ පිඟන් සංස්ථාවේ සේවයට එක්වුණා. මහජන පොළ ප්‍රදර්ශනාගාරය භාරව හිටිය තරුණියක් දවසේ අයවැය හදලා මුදල් බාරදෙන්න දිනපතා කොල්ලුපිටිය ප්‍රදර්ශනාගාරයට ආවා. අනේ ඉතිං ඒක මගේ නරක වෙලාව“ බුද්ධි සිනාසෙන්නේ සිය ප්‍රිය බිරිය දෙස බලමිනි.

“එයා තමයි මගේ බිරිය අයිරාංගනී වන්නකුකෝරාළ. අපි දෙන්නට ඉන්න එකම දරුවයි. ඒ කුෂ්ලානි වික්‍රම. අපිව බලා ගන්නේ එයා. ඇයට පුතෙක් ඉන්නවා. ඒ නවීන්. එයාලා කලාවට යොමු වුණේ නැහැ. ගතවූ හොරා කීපය අසුරු සැණක් මෙනි. මෙවැනි රසවතුන් හමුවේ කාලය ගෙවී යනු නොහැඟේ.

“ පහුගිය දවසක වික්‍රමනායක ඇමතිතුමා ආවා. ඇවිත් ගොඩක් වෙලා කතා කරමින් ඉඳලා ගියා. ඇමතිතුමා තෑගිභොගත් අරන් ආවෙ. ඊට පහුවෙනිදා එතුමාගේ මල්ලි චතුර වික්‍රමනායක මහත්තයා කතා කළා. මට අවශ්‍ය සිංහල වෙදකම් කරන්න කටයුතු සලස්වනවා කියලා කිව්වා.“ මිනිස්සුන්ගෙ වටිනාකම දැනෙන මිනිසුන් හමුවීමේ භාග්‍ය බුද්ධි වික්‍රම අපට කීවේ එසේය.

“රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා සහ ජයන්ත ධර්මදාස මහත්තයා කියන්නේ මට ගොඩක් උපකාර කළ දෙන්නෙක්. ගොඩක් අවස්ථාවල රෝහල් බිල්වලට සහන රැසක් දුන්නා. ඒ උපකාර මට හැමදාම මතකයි.“

කෘතවේදී මිනිසුන් ඇසුරෙහි ජීවත්වීම භාග්‍යයකි. බුද්ධි වික්‍රමයන් ඒ භාග්‍ය ලබමින් සිිටිති. ජීවිතයේ යථාර්ථයට අකම්පිතව මුහුණ දීමට අවශ්‍ය මානසික පෞරුෂය ඔහු ලබන්නට ඇත්තේ මේ මිනිසුන් ඇසුරෙහිය. අපේ ළමා කාලය රසවත් කළ දයාබර මිනිසා පුරුදු දයාද්‍ර බැලුම් සහිතව මා අසලය. ඔහුට සමු දී නික්ම යනු නොහැකිව තවත් මොහොතක් ඔහු අසල රැඳී සිටියෙමි.

 

ඡායාරූප - තිලක් පෙරේරා

Comments