‘ඇඩ්’ බලා බැංකු ගිණුම් හැක් කරනා ඔස්තාර්ලා | සිළුමිණ

‘ඇඩ්’ බලා බැංකු ගිණුම් හැක් කරනා ඔස්තාර්ලා

සමාජ මාධ්‍ය, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ වංචා සිදු වන්නේ ඒවා භාවිත කරන බහුතරයකගේ 'අනවබෝධය' නිසාය. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු සිදු කිරීමේදී තමන්ගේ රහස්‍ය තොරතුරු තමන් නොදැනුවත්වම වංචනික පුද්ගලයන් ලබාගන්නේ ඉතා සූක්ෂ්ම ලෙසය. එවැනි ගනුදෙනුවලදී බැංකු ගිණුම් අංකය ලබාගන්නා අතරතුර හැඳුනුම්පත් අංකයද වංචනිකව ලබා ගැනීමට වංචාකරුවන් කටයුතු කරන්නේ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදු කිරීමට ඉතා පහසු වන බැවිනි. කෙසේ වෙතත් නාඳුනන පුද්ගලයන් සමඟ මෙවැනි ගනුදෙනු කරන ඇතැමුන් සිදු කර ගන්නා හානිය සුළු පටු නොවේ. අන්තර්ජාලය උපයෝගී කරගෙන අහිංසක මිනිසුන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන ඒවාට හොරෙන් ඇතුළුවී ඒවායේ ඇති මුදල් වංචනිකව ලබා ගන්නා කල්ලියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.

දංකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ජෙනරේටරයක් විකිණීමට තිබෙන බව සඳහන් කර අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ දැන්වීමක් පළ කරන්නේ මීට මාස කීපයකට පෙරය. එහි වටිනාකම රුපියල් තිස්පන්දාහක් බවද සඳහන් කැරිණි. ඡායාරූපයක් සමඟ මෙම දැන්වීම පළ කිරීමෙන් පසුව විවිධ ප්‍රදේශවලින් ව්‍යාපාරිකයාට ඇමතුම් ලැබෙන්නේ ජෙනරේටරය සම්බන්ධ තොරතුරු විමසමිනි. මේ අතරතුර එක් දුරකතන ඇමතුමක් ඔහුට ලැබුණේ අම්පාර ප්‍රදේශයෙනි. කතා කළ පුද්ගලයා කීවේ තමන් ජෙනරේටරය මිලදී ගන්නා බවත් අවශ්‍ය නම් අත්තිකාරම් මුදලක් ද තමන්ට ලබා දීමට හැකි බවයි. පසුව වෙළෙඳ දැන්වීම පළ කළ පුද්ගලයා ඔහුට කියන්නේ අත්තිකාරම් මුදලක් බැංකුවට දැමීමට කිසිම ගැටලුවක් නොමැති බවය.

පසුව දින කීපයකට පසු නැවතත් අම්පාරේ ගැණුම්කරු ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ලබා දී ජෙනරේටරය මිලදී ගැනීමට කැමැති බවත් මුදල් ලබා දීමට අවශ්‍ය ගිණුම් අංකය එවන ලෙසත් ඔහුට කියා සිටියේය. ඉන් අනතුරුව ව්‍යාපාරිකයා අදාළ ගිණුම් අංකය ගැණුම්කරුට ලබා දීමට කටයුතු කළේය. එහිදී අත්තිකාරම් මුදල හෝ තමන් කැමතිනම් මුළු මුදලම බැංකුවට දැමීමට කටයුතු කරන ලෙසද ඔහු ගැණුම්කරුට දන්වා සිටියේය.

පසුව ගැණුම්කරු කියන්නේ ජෙනරේටරය ගැනීම සඳහා අවශ්‍ය මුදල තම විදෙස්ගතව සිටින සහෝදරයා එවන බවත් ඒ නිසා ව්‍යාපාරිකයාගේ හැඳුනුම්පත් අංකය ද තමන්ට ලැබෙන ලෙස කටයුතු කරන ලෙසත්ය. ව්‍යාපාරිකයා ඊට එකඟ වී හැඳුනුම්පත් අංකය ද කෙටි පණිවිඩයක් මඟින් ගැණුම්කරුට යැවීමට කටයුතු කළේය. ඊට දින කීපයකට පසු ගැණුම්කරු නැවත දුරකතන ඇමතුමක් ව්‍යාපාරිකයාට ලබා දී සඳහන් කළේ තම සහෝදරයා මුදල් දැමීමට අදාළ රටේ බැංකුවකට පැමිණ ඇති බවත් ඔහු විසින් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරිකයාගේ ගිණුමට දැමීමට කටයුතු කරන බවත් එම මුදලින් ජෙනරේටරයට අවශ්‍ය කරන රුපියල් තිස් දහසක මුදල ලබා ගෙන ඉතුරු මුදල ජෙනරේටරය ගැනීමට පැමිණි විට තමාට දෙන ලෙසය. පසුව ව්‍යාපාරිකයා ගැණුම්කරුට කියන්නේ තමන්ට එවැනි මුදලක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය මුදල පමණක් ගිණුමට දමන ලෙසත්ය. ඉන් අනතුරුව ගැණුම්කරු කියා සිටියේ තම සහෝදරයාගෙන් මුදලක් ලැබීමට තිබෙන බවත් එම මුදල් ගැනීමට නොහැකි නිසා රුපියල් ලක්ෂයම ගිණුමට බැර කරන බවය. ගැණුම්කරු මෙවැනි කටයුත්තක් සිදු කළේ ඔහු කෙරෙහි 'විශ්වාසයක්' පවත්වාගෙන යාමටය. මේ අතරතුර දුරකතනයට රහස් අංකයක් ද ලැබෙන බවත් එම අංකය තමාට එවන ලෙසද ගැණුම්කරු ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා සිටියේය.

පසුව දින කීපයක් බලා සිටිය ද අම්පාරේ ගැණුම්කරු විසින් සිය ගිණුමට මුදල් නොදැමීම හේතුවෙන් වෙනත් අයෙකුගේ ඉල්ලීමක් මත ජෙනරේටරය විකිණීමට ව්‍යාපාරිකයා කටයුතු කළේය. මෙසේ විකිණීමෙන් පසු ඔහු විසින් අම්පාරේ පුද්ගලයාට තමා ජෙනරේටරය විකුණු බවත් මුදල් දැමීමට අවශ්‍ය නොවන බවත් සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යැවීය.

ජෙනරේටරය විකුණා දින පහකට පමණ පසු ව්‍යාපාරිකයා කිසියම් අවශ්‍යතාවක් සඳහා දංකොටුවේ සිට කොළඹට පැමිණි අතර එහිදී ඔහුගේ ජංගම දුරකතනයට හිතවතකුගෙන් පණිවිඩයක් ලැබුණේ ඔහුට ලබා දීමට නියමිත මුදලක් වන රුපියල් 89500ක් ව්‍යාපාරිකයාගේ ගිණුමට දැමු බවටය. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුම්වල කෙටි පණිවිඩ ලැබෙන්නේ ඔහු නිතර භාවිත කරන දුරකතනයට නොව වෙනත් දුරකතනයකටය. එදින ඔහු එම දුරකතනය නිවසේ තබා පැමිණ සිට ඇති අතර ඔහු සිය බිරියට කතා කර එම ජංගම දුරකතනය ගෙන්වා ගැනීමට කටයුතු කළේය. අනතුරුව දුරකතනය පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ ගිණුමෙන් කිසිවකු වරින්වර රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් ලබාගෙන ඇති බව කෙටි පණිවුඩවලින් තහවුරු විය. ඔහු වහාම තම ගිණුම පවත්වාගෙන යන බැංකුවේ කළමනාකරුට දුරකතන ඇමතුමක් ලබා දී මේ සිද්ධිය දැනුම් දීමට කටයුතු කළේය. පසුව බැංකු කළමනාකරුගේ උපදෙස් මත ගිණුම තාවකාලික නැවැත්වීමට ද ව්‍යාපාරිකයා කටයුතු කළේය.

පසුව බැංකු කළමනාකරුගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් සිදු කිරීමට දංකොටුව පොලිසියට ගිය අවස්ථාවේ පොලිසියෙන් කියා සිටියේ මෙම කටයුත්ත සිදු කරන්නේ බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයන් නිසා මෙවැනි වංචා සොයා ගැනීමට නොහැකි නිසා පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවයි. අනතුරුව බැංකු කළමනාකරු ව්‍යාපාරිකයාගේ ගිණුම පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ රුපියල් ලක්ෂ 18,59998 ක් ගිණුමෙන් ලබාගෙන ඇති බවයි. පසුව මේ සම්බන්ධව හලාවත පොලිසියට ගොස් පැමිණිලි කිරීමට යාමේදී ද පොලිසිය සඳහන් කර ඇත්තේ මෙය පරිගණක අපරාධයක් හේතුවෙන් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවයි. පසුව පොලිසියේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කළේය.

පසුව දින කීපයකට අනතුරුව නැවතත් අම්පාරේ ගැණුම්කරුගෙන් දුරකතන ඇමතුමක් ව්‍යාපාරිකයාට ලැබෙන්නේ ජෙනරේටරය විකුණුවාට කමක් නැති බවත් රුපියල් ලක්ෂයක මුදල බැංකුවට දැමීමට නැවතත් රහස්‍ය අංකය ලබා දෙන ලෙසටය. පසුව බැංකුවේ කළමනාකරු ව්‍යාපාරිකයාට දන්වා සිටියේ මේ වන විට කැබිතිගොල්ලෑවේ රාජ්‍ය බැංකුවකට පැමිණි කිසියම් පුද්ගලයෙක් ව්‍යාපාරිකයාගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. පසුව මේ සම්බන්ධයෙන් කළමනාකරු විසින් කැබිතිගොල්ලෑව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කළ අතර පසු මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. ප්‍රධාන සැකකරු තැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු දෙදෙනා මහනුවර මාරස්සන ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

 

Comments