වේටර් සරත්ගේ ලොකරයෙන් කුඩු සෙවු පොලිසියට ලැබුණු භාණ්ඩේ | සිළුමිණ

වේටර් සරත්ගේ ලොකරයෙන් කුඩු සෙවු පොලිසියට ලැබුණු භාණ්ඩේ

 

“ඔබතුමා ඔය 'කඩාගෙන යන්නේ' 'අර පාට් ටයිම්' වීල් එකක් දුවන තානායම් වේටර් කාරයා බලන්න නේද?“ මහ රෝහල් ගේට්ටුවෙන් ඇතුළුවී වාට්ටු අංක දාහත කොරිඩෝවට පිවිසෙද්දීම නාද වුණු මගේ දුරකතනයේ එහා කෙළවර ගොරෝසු හඬකින් විමසුවා. මගේ සර්වාංගයම ගල් ගැසී ගියා.

“මං කවුද කියන එක මෙතෙන්ට අදාළම නෑ බොස්.. නමුත් අපිනම් ඔබතුමා කවුද කියලා සිරාවටම සොයාගෙනයි සීන් එකට බැස්සේ...”ගොරෝසු හැඩිදැඩි 'පාතාල ස්වරය' විධානාත්මකය.

“සරත් මගේ තානායමේ වැඩ කරන ළමයෙක්...”

“ඔබතුමා එයාව බලන යුතුකම කළාට අපිට කිසිම අවුලක් නෑ. හැබැයි ඒ ඇක්සිඩන්ට් එක නිකම්ම ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකක් නෙමෙයි... මෑන්ලාගෙ ගෙවල් කිට්ටුව ටුවරිස්ට් ඒරියා එකට කුඩු බිස්නස් ඩීල් එකකට සම්බන්ධ සුද්දියක්ව වීල් එකෙන් ඇරලවන්න යද්දි සුද්දිගෙ ටීම් එකත් එක්ක තරහෙන් ඉන්න වෙනත් කුඩු ලීඩර්ලා ගැන්සියක් හිතාමතා කරවපු ඇක්සිඩන්ට් එකක් ඒක.. දන්නෙ නැත්නම් දැන්වත් දැනගන්න...“ මම විමතියෙන් ගල් ගැසුණා.

“අන්තිම කෙටියෙන් අවවාදෙ මෙච්චරයි බොස්... මෑන්ගෙ ඇක්සිඩන්ට් එකට පොලිසියෙන්වත් වෙනත් ලොක්කන්ගෙන්වත් සපෝට් එක අරන් දෙන්න එහෙම එන්ටර් වෙලා නිකම් කරදරේ වැටෙන්න එපා... ඔබතුමා කවුද කියලා හොඳට හොයලයි මේ කියන්නේ... ඔය කේස් එකට අත දාන්න එපා...” දුරකතනය විසන්ධි වී ගියා.

මම අධික වූ හෘද ස්පන්දනයෙන් යුතුව දාහත වාට්ටුවේ සරත්ගේ ඇඳ අසලට පැමිණියා. මේ සිදුවන්නේ කුමක්ද? නළල සහ මුහුණෙන් බාගයක් පමණ වැසෙනා අයුරින් වෙළුම් පටි යෙදූ සරත්ට නින්ද ගොසිනි. තැළුම් කළුතලා වැටුණු සිරුරේ අවපැහැ ගැන්වුණු හැම තැනකම පාහේ තුවාල ප්ලාස්ටර් දමා තිබේ.

“ඔබතුමා කවුද?..” එසැණින් මා අසලට පැමිණියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

“මම මෙයා වැඩ කරන තානායමේ කළමනාකරු...”

“අපි මෙහේ රෝහල් පොලිසියෙන්... මේ දැන් අපිට නියෝගයක් ආවා මේ ලෙඩා රෝහල්ගතව සිටියදීම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්නය කියලා... විදේශිකයොත් සම්බන්ධ බරපතළ කුඩු බිස්නස් ජාලයක ට්‍රාන්ස්පෝට් පාට් එක කළා කියලා තමයි මෙයාව සැක කරලා තියෙන්නේ... මම හිතන්නේ මෙයා වැඩ කරන තානායමෙනුත් ප්‍රශ්න කරන කතාවක් පොලිස් මැසේජ් එකේ තිබුණා. කෝකටත් මැනේජර් මහත්මයා පමා නොවී තානායමට ගියොත් හොඳයි...”

මගේ සර්වාංගයම ගිනියම්වී ගියා. මේ කුමන මරාලයක්ද? වහා රෝහලෙන් පිටවූ මම බසයකට ගොඩවී තානායම් හන්දියට ටිකට් ගත්තා. වේටර් සරත් තානායමෙන් ලබාගත් දින හතරේ නිවාඩුවෙන් පළමු දිනයේ සවස ඇඳිරි වැටෙද්දී ඔහු නගරය වෙත සිය රථය ධාවනය කළේ රුපියල් පන්සීයේ හයර් කෑල්ලක්වත් අල්ලා ගනු පිණිසය.

“හෙලෝ.. ගයි.. අයි වෝන්ට් ටු ගෝ ටු අවර් හොටෙල්..” “දෙවියන්ට ස්තුති වේවා.. කඩා පහත් වී ඇත්තේ විදේශික කාන්තාවක් හෝටලයකට ඇරලවීමේ හයර් කෑල්ලකි.“ සරත් එසැණින් කුලී ගමන ඇරඹුවේය.

“ස්ටොප්.. ස්ටොප්.. අයි වෝන්ට් ටු ටේක් අ ෆෝන් ඩේටා කාඩ්...“ සරත් වහා ත්‍රී රෝද රථය නතර කළේ සන්නිවේදන වෙළඳසැලක් අසලය.

අඳුරු පරිසරයේ දැන් ත්‍රිරෝද රිය තුළ සිටින්නේ සරත් පමණය.

“කෝ අර සුද්දි...?” කටහඬ ගොරෝසුය.

රියදුරු අසුනටම ළංවී යතුරුපැදියක පසුපස අසුණේ සිට නාඳුනන තරුණයකු සරත්ගෙන් විමසන්නේ ෆුල් ෆේස් හෙල්මට් එකක වයිසර් වීදුරුව ඔසවා ඒ අතර ඇති හිඩැසෙනි.

“සුද්දි ෆෝන් කාඩ් එකක් අරගෙන එන්න ගියා අයියා..” නාඳුනන හෙල්මට් කාරයාට සරත් තැති ගැන්මෙන් උත්තර බැන්දේය.

“සුද්දි මොන රටේද දන්නෙත් නෑ.. නමුත් සුද්දි ගියේ ෆෝන් කාඩ් එකක් ගන්නමයි කියලා තමුසෙට ෆුල්ම ෂුවර්ද?..” හෙල්මට් කාරයාගේ පැනයෙන් සරත් අන්දමන්ද විය.

“ඕ.කේ. ෂැල් වී..” උස් හඬින් පවසමින් විදේශික කාන්තාව එසැණින් දිවවිත් ත්‍රීරෝද රථයේ අසුන් ගත්තාය. වාහනයට ගොඩවුණු ඇගේ අතේ ඇත්තේ ඩේටා කාඩ් පතක් නොව සිලි බෑගයක දැමූ පිටි ටින් එකක හැඩයේ කවාකාර පාර්සලයකි.

“මේකි අතේ මේ තියෙන්නේ මොකක්ද?.. ඩේටා කාඩ් එකක්ද?.. තමුසේ බම්බුවද හලෝ දන්නේ... ඉස්සරහ මාස දෙකතුනේ වීල් එකේ ෆිනෑන්ස් එක ගෙවන විදියක් දැන්ම කල්පනා කරලා තියාගන්නවා.. හරි..”

ෆුල් ෆේස් හෙල්මට්කරුවන් රැගත් පල්සර් වර්ගයේ යතුරුපැදිය අඳුර කපා වේගයෙන් ඉදිරියට ඉගිළුණේය. ඒ සරත්ගේ ත්‍රීරෝද රථය ඉදිරියෙන් ආ වාහනයක වෙට්ටුවකට බියවී පාරෙන් ඉවතට ගනිද්දී විදුලි කනුවක ගැටී බරපතළ අනතුරකට ලක්වන්නට සුළු වේලාවකට පෙර වූ ආසන්නතම සිදුවීමය.

රෝහලෙන් නැවත තානායමට යාමට මා ගොඩවූ බස්රථය ගමන් ගන්නේ ඉබි ගමනින්ය. සිතේ ආවේගවලට සමාන්තරව වාහනයේ වේගය ප්‍රමාණවත් නැත. එසැණින් මගේ ජංගම දුරකතනය මොර දුන්නා. කටහඬ තානායමේ පිළිගැනීමේ නිලධාරිනිය නදීරාගේය.

“සර්.. තානායමට පොලිසියෙන් ඇවිල්ලා උසාවි නියෝගයකුත් අරගෙන. වේටර් සරත් ඇතුළු සියලුම සේවකයන්ගේ ලොකර් කබඩ් පරීක්‍ෂා කරන්න නියෝග දීලා..” නදීරා වේගයෙන් හුස්ම ගන්නා හඬ ඇසුණා.

“හරි හරි. අවසර දෙන්න.. මම මේ බස් එකේ ළඟම එනවා..” තානායම් මිදුලේ පොලිස් ජීප් රථ නවතා තිබුණා.

“අපි පොලිස් කොට්ඨාස කාර්යාලයෙන්.. අපි දැන් තානායම් සේවක මණ්ඩලයේ පුද්ගලික ලොකර් එකින් එක චෙක් කරගෙන යනවා..”

“අනේ බුදු සර්.. මගේ සරත් කුඩු බිස්නස් කාරයෙක් නෙමෙයි... අයියෝ... ඇයි දෙයියනේ අපිට මෙහෙම වුණේ...“ තානායම් ආලින්දයේ එකවර දෝංකාර දුන් ගැහැනු කටහඬින් පොලිස් නිලධාරීන් පිරිසත් මමත් එකවර ආපසු හැරී බැලුවා. “අනේ බුදු සර්.. මම සරත්ගේ පවුල...“ තානායමේ පිළිගැනීමේ නිලධාරිනී නදීරාගේ සිරුරට වාරුවී විලාප නඟමින් අප දෙසට ඇවිද එන්නේ ගැබ්බර මවකි. දෙවියනේ මේ අර මා පැමිණි බසයේම පැමිණ තානායම් හන්දියෙන් බැසගත් ගැබ්බර කාන්තාව නොවේද? මගේ ඉහමොළ රත් වුණා.

“අනේ මම මේ පොලිසියෙ මහත්තුරුන්ට වැඳලා කියන්නම්..”

“හරි..හරි.. අම්මේ.. සරත් තවම සැකකරුවෙක් විතරයි..ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ... අම්මා තානායමට ආපු එක හොඳයි. දැන් අපිට මැනේජර් මහත්තයාගේ කටඋත්තරේ ගන්නකොටම මේ අම්මාගෙ ප්‍රකාශයත් මෙහේදීම ලියාගන්න පුළුවන් පොලිසියට ගෙන්වන්නෙ නැතිවම..” පොලිස් නිලධාරියා සන්සුන් හඬින් කීවා. මමත් සරත්ගේ බිරියත් පොලිසියට ප්‍රකශ ලබාදීම ඇරඹුවා.

“ඉස්සර වෙලාම අම්මා කියන්න.. නම ගම උපන් දිනය සරත් සමඟ විවාහ වූ දිනය ආදී මූලික විස්තර..” සරත්ගේ බිරිය පිළිතුරු දෙනු වෙනුවට වැළහින්නක මෙන් හඬා වැටුණා. නදීරා ඇයව සනසන්නට මැදිහත් වුණා.

ඇය ඉකි ගසද්දී උඩ පහත සෙලවෙනා දරු ගැබ දෙස මම මොහොතක් බලා සිටියා. ඒ කම්පනයෙන් එසේ සැලෙන්නේ මෙලොව එළිය නොදුටු දරුවෙකු නොවේද?

“ස්ටාෆ් එකේ අනික් අයත් ඉදිරියේ අපි සරත්ගේ ලොකර් එක ඉස්සර වෙලාම ඇරලා බැලුවා... ඇඳුම් පැළඳුම්වලට අමතරව ඒකේ තිබුණේ මෙන්න මේ සෙල්ලම් කාර් එක විතරයි...” පොලිස් කණ්ඩායමේ නිලධාරියකු කුඩා සෙල්ලම් කාර් එකක් අතැතිව අප අසලට පැමිණ කීවා.

“අනේ මේ ඒ සෙල්ලම් කාර් එක වෙන්න ඇති.. ලබන සතියේ සරත්ගෙ අක්කගෙ පුතාගෙ තුන්වැනි උපන් දිනේ.. සරත් කීවා කාර් පොඩ්ඩක් ගත්තය.. මේ සැරේ නිවාඩු එද්දි ගේන්න ඒක අමතක වුණාය කියලා..” සරත්ගේ බිරිය නැවතත් විලාප නඟන්නට වුණා. මගේ පපුව හෝස් ගා ඇවිළී ගියා.

එම සෙල්ලම් කාර් එක නඩු භාණ්ඩයක් ද නැතහොත් සංවේදී උපන් දින තිළිණයක්දැයි විනිශ්චය කරගැනීමටදෝ පොලිස් කණ්ඩායමත් මොහොතක් නිහඬව සිටියා.

 

Comments