තෙල් පෙන්නා ලක්ෂ 20කට විද්ද හොර කැප්ටන් | සිළුමිණ

තෙල් පෙන්නා ලක්ෂ 20කට විද්ද හොර කැප්ටන්

ඉකුත් 30 වැනිදා කැබිතිගොල්ලෑව කොට්ඨාස රථවාහන අංශයේ ‘අධිවේගී යතුරුපැදි‘ රාජකාරියේ නිරත නිලධාරින් අටදෙනාගෙන් සිවුදෙනෙකු එදින දහවලේ මහනුවර - යාපනය ඒ9 මාර්ගයේ සුපුරුදු දෛනික රාජකාරියේ නිරතව සිටියේය. එම නිලධාරින් සිවුදෙනාගෙන් සැරයන්වරුන් වන 7478 රන්බණ්ඩා සහ 9662 ධර්මසිරි රාජකාරියේ නිරතව සිටියේ ඒ9 මාර්ගයේ පූනෑව පාසල අසලය. සෙසු දෙදෙනා වන සැරයන් 16102 ධර්මකීර්ති සහ සැරයන් 53406 ජයන්ත ඒ වන විට රාජකාරියේ නිරතව සිටියේ මැදවච්චිය පසුකොට අනුරාධපුරය දෙසට වන්නට පිහිටි ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේය.

වේලාව එදින දහවල් 11.45ට පමණය.

සැරයන්වරුන් වන රන්බණ්ඩා සහ ධර්මකීර්ති රාජකාරියේ නිරත පූනෑව පාසල අසලින් යතුරුපැදියක් මැදවච්චිය දෙසට ගමන් කළේ අධික වේගයෙනි. අධිවේගයෙන් ධාවනය වූ එම යතුරුපැදිය නතර කරන ලෙසට සැරයන් ධර්මසිරි පැදිකරුට අණ කළත් යතුරුපැදිය පැමිණි වේගයෙන්ම පොලිස් නිලධාරින් දෙදෙනා පසුකොට මැදවච්චියට දෙසට ගමන් කළේය. යතුරුපැදියේ හිස් වැසුම් සහිතව ජැකට් පැලඳි දෙදෙනෙක් සිටියහ. සැණින් පොලිස් නිලධාරින් දෙදෙනා මේ යතුරුපැදියේ අංකය සටහන් කරගත්තෝය. ඒ BAT 2021 දරන යතුරුපැදියයි. ඒ වන විට පොලිස් නිලධාරින් රාජකාරි කරමින් සිටියේ සිය 600cc අධිවේගී යතුරුපැදිය ආපදාවකට ලක්වීම හේතුවෙන් සාමාන්‍ය යතුරුපැදියකිනි. එම නිසා අධික වේගයෙන් ගිය යතුරුපැදිය පසුපස හඹා යාමට ඔවුනට නොහැකිය.

එහෙත් පොලිස් නිලධාරින් දෙදෙනා එම මාර්ගයේ මැදවච්චිය, ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ අධිවේගී යතුරුපැදි රාජකාරියේ නිරත සෙසු නිලධාරින් දෙදෙනා ඇමැතීය.

“මචං... බයික් එකක් කඩාගෙන ඔය පැත්තට ආවා... අපි නතර කරන්න කීවට නතර කළේ නෑ... පොඩ්ඩක් බලන්න...“ එක් නිලධරයකු එසේ තම සහෝදර සෙසු නිලධරයාට පැවැසීය. එසේ පවසා විනාඩි කීපයක් ගතවූවා පමණි. පූනෑව දෙස සිට මැදවච්චිය දෙසට ලොරි රථයක්ද අධික වේගයෙන් ගමන් කරන්නට විය. පොලිස් නිලධාරින් දෙදෙනා එම ලොරියටද විධානය කළේ නතර කරන ලෙසටයි. ලොරිය මඳ දුරක් ගොස් නතර කෙරිණි. ඉන් දෙදෙනෙක් කඩිමුඩියේ බැස පොලිස් නිලධාරින් දෙදෙනා හමුවට පැමිණියේය.

“මහත්තයා... අපි මේ හදිසියකට යන්නේ... අපේ සල්ලි වගයක් අරන් දෙන්නෙක් පැනලා ගියා... රුපියල් ලක්ෂ 20ක්... ඒ දෙන්නා බයික් එකකින් පැනලා ගියේ...“ ලොරියේ සිටි දෙදෙනා පොලිස් නිලධරයනට කීවේ එවැනි කතාවකි.

“බයික් එකේ නම්බර් එක දන්නව ද?“ පොලිස් නිලධරයෝ දෙදෙනා ලොරියේ ආ අයගෙන් විමසූහ.

“මුකුත්ම විස්තරයක් දන්නේ නෑ මහත්තයා... උන් කවුද කියලවත් අපි හරියට දන්නෙ නෑ...“ යැයි ලොරි රථයේ ආ දෙදෙනා පැවැසූහ.

ඒ සමඟම පොලිස් නිලධාරින් දෙදෙනාට සැකයක් ඇති වන්නට වූයේ ඊට පෙර අධික වේගයෙන් ගිය යතුරුපැදිය ගැනය. එම යතුරුපැදිය, ලොරියේ ආ දෙදෙනා කී කතාවට සබඳතාවක් ඇතැයි පොලිස් නිලධාරින්ගේ සැකයට හේතු විය. එසැණින් පොලිස් නිලධාරින් දෙදෙනා මේ රුපියල් ලක්ෂ 20 ගැන කතාව මැදවච්චියේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට දුරකතනයෙන් පැවැසුවේ එම නිලධාරින් ඒ ගැන දැනුවත් කරන්නටය.

“අනිවාර්යයෙන්ම ඔය බයික් එකේ එන අය තමයි ඔය සල්ලි ටික කොල්ලකන්න ඇත්තේ... ඔය දෙන්නා කොහොමහරි නතර කරගන්න...“ යැයි පූනෑවේ සිටි නිලධාරින් දෙදෙනා පැවැසුවේ මැදවච්චියේ නිලධාරින්ටය.

ඒ අතරේ පොලිස් නිලධාරින් දෙපළ ලොරියේ පැමිණි දෙදෙනා දැනුවත් කළේ හැකි ඉක්මනින් ළඟම පොලිස් ස්ථානය වන පූනෑව පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කරන ලෙසය. මන්ද එම පැමිණිල්ල ලද සැණින් මෙරට සියලු පොලිස් ස්ථාන ඒ පිළිබඳව දැනුවත් කරන හෙයිනි. අනතුරුව රන්බණ්ඩා සහ ධර්මසිරි නිලධාරි දෙපළද සිය යතුරුපැදියේ නැඟී මැදවච්චිය දෙසට එය ධාවනය කළේ මේ සිද්ධිය ගැන සොයා බලන්නටය.

ඒ අතරේ මැදවච්චියේ සිටි ධර්මකීර්ති සහ ජයන්ත සැරයන්වරුන් දෙදෙනා ගිනිඅවිද සූදානම්කොට ඉදිරියට එන යතුරුපැදියට පලා යාමට නොහැකි ලෙස සන්නද්ධව සිටියෝය. විනාඩි කීපයක් ගත විය. මැදවච්චියේ රාජකාරියේ නිරත නිලධාරින් දෙදෙනාගෙන් ඇමතුමක් ලැබිණි.

“බයික් එක අපිවත් පහු කරගෙන යන්න ගියා... ඒත් අපි කොහොමහරි අල්ලගත්තා... ඉක්මනට එන්න...“ යැයි මැදවච්චියේ සිටි ධර්මකීර්ති සහ ජයන්ත කීවේය. ඒ වන විට යතුරුපැදිය අදාළ මේ නිලධාරින් දෙදෙනාද පහුකරගෙන අධික වේගයෙන් පලා යාමට තැත් කළත් පොලිස් නිලධාරින් සිය 600cc අධිවේගී යතුරුපැදියේ නැඟී සැකකරුවන් පසුපස හඹා ගියහ. ඒ සමඟ පලා යන යතුරුපැදිය නතර කළේ පොලිසියෙන් බේරී පලා යාමට නොහැකි බව පසක් වූ හෙයිනි.

අනතුරුව එතැනට ආ පූනෑවේ සිටි නිලධාරින් දෙදෙනාද සමඟ පොලිස් නිලධාරින් සිවුදෙනා එක්ව ලොරි රථයේ දෙදෙනා කී කතාව සහ මේ යතුරුපැදියේ සම්බන්ධය ගැන විමසමින් සැක දෙදෙනා පරීක්ෂා කරන ලදී. ලොරියේ ආ දෙදෙනා කී කතාව හරියටම හරිය. සැක දෙදෙනා ළඟ රුපියල් ලක්ෂ 20ක් තිබිණි. ඒ අනුව රුපියල් ලක්ෂ 20ක මුදලක් කොල්ලකා යතුරුපැදියේ ගිය දෙදෙනා අත්අඩංගුවට ගත්තේ කැබිතිගොල්ලෑව කොට්ඨාස රථවාහන අංශයේ අධිවේගී යතුරුපැදි ඒකකයේ සැරයන්වරුන් වන රන්බණ්ඩා, ධර්මසිරි, ධර්මකීර්ති සහ ජයන්ත යන නිලධාරින්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙනි.

කෙසේ හෝ ලොරියේ ආ දෙදෙනා පූනෑව පොලිසියට පැමිණිලි කිරීමටත් පළමුව මෙකී පොලිස් නිලධාරින් රාජකාරිය අකුරටම ඉටුකිරීම නිසා රුපියල් ලක්ෂ 20ක් කොල්ලකා පලා ගිය දෙදෙනා විනාඩි 20ක් වැනි කාලයකදී අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිසියට බාර කෙරිණි.

එසේ අත්අඩංගුවට පත් වූයේ ඉබ්බාගමුවේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන 34 හැවිරිදි ජයසිරි සුසන්ත සහ 32 හැවිරිදි ජයන්ත කුමාර යන දෙදෙනාය. ඔවුහු මිතුරෝය. ජයසිරි සුසන්ත යුද හමුදාවේ සේවයේ නියුතුව නිවාඩු සිටියදී මෙකී කොල්ලයට පැමිණ සිටියේය. ඔහු ප්‍රධාන සැකකරුය.

රුපියල් ලක්ෂ 20 කොල්ලය සිදුවී ඇත්තේ මෙලෙසිනි. ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් අයෙක් ව්‍යාපාරිකයෙකි. ඔහු ඉන්ධන ද අලෙවි කළ අයෙකි. පසුගිය 30 වැනිදා පෙරවරුවේ ඔහුට හෝඩුවාවක් ලැබී තිබිණි. ඒ නාවික හමුදාවේ කපිතාන්වරයෙක් යැයි කී පුද්ගලයෙකුගෙනි.

“මුදලාලි... ඔයිලුයි ඩීසලුයි තොගයක් තියෙනවා... පූනෑව අපේ නෙවී කෑම්ප් එකේ තියෙන්නෙ... ටෙන්ඩර්වලට පිටින් සෑහෙන්න අඩුවට ගන්න පුළුවන්... ලක්ෂ 20කට තොගේම දෙන්නම්... මොකද කියන්නෙ...“

එම හෝඩුවාව ලද සැණින් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 20ක්ද රැගෙන කුලී පදනම මත ලොරියක්ද ගෙන ‘බඩු‘ ගෙන යාමට ආවේය. ඔහු එම හෝඩුවාවට අනුව ආවේ පූනෑව නාවික හමුදා කඳවුර අසලටය. එම ස්ථානයට ඔවුන් ආ විගස ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම දුන් නාවික හමුදා කපිතාන්වරයා යැයි කී තැනැත්තා තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියක පැමිණ සිටියේය.

එම පුද්ගලයන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ හැඳුනුම්පත සහ ලොරි රථයේ රියැදුරුගේ, බලපත්‍රය ගෙන නාවික හමුදා කඳවුරේ දොරටුව අසලට ගියේය. අනතුරුව ලොරියට කඳවුර තුළට යාමට අවසර ලබාගත් බවට පවසා රුපියල් ලක්ෂ 20ක මුදල ‘කපිතාන්වරයා‘ ලෙස පෙනී සිටි පුද්ගලයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලාගෙන ඇත.

“මුදලාලි ඔය දෙන්නා අපේ මෝටර් බයික් එක යන පස්සෙන්ම කෑම්ප් එක ඇතුළට එන්න...“ මුදල් ඉල්ලාගත් කපිතන් එලෙස පවසා ඇත.

ලොරිය නාවික හමුදා කඳවුරට හරවනවාත් සමඟම යතුරුපැදිය හරවාගෙන පූනෑව නගරය දෙසට පලා යන්නට වූයේ ලොරියේ සිටි දෙදෙනා අන්දමන්ද කරවමිනි. එසැණින් ලොරියද යතුරුපැදිය පසුපස හඹා ගොස් ඇත්තේ තමන් සොරුන් දෙදෙනෙකුට හසුවූ බවට වූ සැකයෙනි.

එසේ පලා ගිය යතුරුපැදියේ දෙදෙනා කැබිතිගොල්ලෑවේ පොලිස් නිලධාරින්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් කොටු නොවන්නට රුපියල් ලක්ෂ 20ක කොල්ලයේ සැකකරුවන් සොයා මේ වන විටත් විමර්ශන කරනවාට සැක නැත.

එම නිසා පොලිස් නිලධාරින්ට කෙතරම් ‘ගල්මුල්‘ එල්ල වුවද මෙවැනි සිදුවීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බබළවන්නක් බව සඳහන් කළ යුතුමය.

 

Comments