කිඹුලා මැරුණා! උදාරට ඇඬුණා උදාරගේ උදාර ක්‍රියාව අපතේ | සිළුමිණ

කිඹුලා මැරුණා! උදාරට ඇඬුණා උදාරගේ උදාර ක්‍රියාව අපතේ

සතෙකුට මෙන්ම මනුෂ්‍යයෙකුටද මෙලොව ජීවත්වීම සඳහා ඇත්තේ එක හා සමාන අයිතියකි. එය 'උදුරා ගැනීම' කිසිවෙකුට කළ නොහැකි දෙයකි. නමුත් සමහර 'දෙපා සතුන්' විසින් සතුන් දඩයම් කිරීම නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ පුද්ගලයන් මස් පිණිස මෙන්ම තම ආරක්ෂාව සඳහාද සතුන්ට හානි සිදු කිරීමට මෙලෙස පෙලඹි තිබීම සුලබ දසුනකි. දිය ගොඩ වෙසෙන සතුන් අතරින් කිඹුලාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ මාංශ භක්ෂක ජලජ උරග ජීවියකු වන මෙම සත්ත්වයා ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස ද සැලැකේ.

බොල්ගොඩ ගඟ ආශ්‍රිතව කිඹුලන් බහුලව ජීවත් වන බව නොරහසකි. බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් වන 'කවටයාගොඩ' මෙන්ම 'හතර මෝදර' සහ ඉලිප්සිය අතු ගංගාවලටද මේ වන විට කිඹුලන් සංක්‍රමණය වී සිටින්නේ උන්ගේ ගහනය වැඩි වීම නිසාය. මේ වන විට මොරෙන්තුඩුව ප්‍රදේශයෙන් 'කිඹුල් කතාවක්' කරළියට පැමිණ ඇත්තේ කිසිවෙකු විසින් අටවන ලද ඇමක් ගිලින ලද කිඹුලෙකු හමුවීමත් සමඟිනි. ඒ මොරොන්තුඩුව, කවටයාගොඩ පාර, මහගෝනදුව ප්‍රදේශයෙනි.

මෙම කිඹුලා හමු වී ඇත්තේ කවටයාගොඩ පාරේ පදිංචි තිදරු පියෙකු වන උදාර සංජීවටය. ඒ ඔහු ගවයකු ගැට ගැසීමට ඇළ මාර්ගය දෙසට ගිය මොහොතේය. ඔහු රැකියාව කරන ස්ථානය ආසන්නයේ මෙම ඇළ මාර්ගය පිහිටා තිබේ. කිඹුලා හමුවීමේ කතාන්දරය ගැන උදාර කියන කතාව මෙසේය.

“මේක මගෙ ගම. මං වැඩ කරන්නෙ 'අශේන්ගෙ' විලා එකේ කම්කරුවෙක් විදිහට. මෙතන ඉඳල මීටර් තුන්සීයක් විතර එහා පාලමෙන් පහළ තියෙන 'මාවල් ඇළේ‘ තමයි කිඹුලා හිටියෙ. මම එතැනට ගියේ හරකෙක් බඳින්න. එතකොට මම දැක්කා 'පෙද කුට්ටියක්' තැළිල පොඩි වෙලා තියෙනවා. බලනකොට එහා පැත්තෙ තිබුණා අඩි තිහක් විතර දිග කඹයක්. කඹේ අගිස්සෙ තමයි කිඹුලා හිටියෙ 'ඇම ගිලලා' දඟලල 'හැල් කුට්ටියක' පැටලිලා හිරවෙලා. ඌ හිටියෙ කෙටල කුට්ටියක් උඩ. මං ගලක් අරගෙන තට්ටු කළා. ඌ ගඟට බැහැල මං දිහා ටිකක් බලන් හිටල ඔළුව පාත් කර ගත්තා. මං හිතුව මුව බේර ගන්නවා කියලා. මං අශේන්ට මේ ගැන කිව්වම එයා මුලින්ම පොලිසියට දැනුම් දුන්නා. ඊට පස්සෙ තමයි ගමේ කට්ටියත් ඇවිල්ලා එකතු වෙලා කිඹුලා ගොඩට ගත්තෙ. මොරොන්තුඩුවෙ පොලිසියෙ මහත්තුරුත් ගොඩක් මහන්සි වුණා කිඹුලා ගඟෙන් ගොඩ අරගෙන විලා ඒකේ පොකුණකට තමයි කිඹුලව අපි ගෙනත් දැම්මෙ. ඇම අරගත්තෙ මං කටට අත දාලයි. බාල්දි කොක්කක් ඩබ්ලිව් අකුරෙ හැඩේට නමල මුවඅත තියල ඒකට කේබල් එකක් දාල කුකුළු බොකු අමුණලයි ඒ ඇම හදල තිබුණෙ. මං හිතන විදිහට කිඹුල ඇම ගිලල දවස් හතරක් පහක් විතර වෙනවා. මේ පැත්තෙ කිඹුලො ඉන්නවා. ඒත් කාටවත් කරදරයක් වෙලා නෑ. අපි ඉන්නෙ ගොඩ. උන් ඉන්නෙ ගඟේ. ඉතින් අපි කවුරුත් අපේ පාඩුවෙ ඉන්න එක තමයි කරන්න ඕනෑ.

කිඹුලා මැරුණ කියල පස්සෙ ආරංචි වුණා. ඒ ගැනනං හිතට දැනෙන්නෙ ලොකු දුකක්. මං මීට කලිනුත් කිඹුලෙක් බේරගෙන තියෙනවා.“ කිඹුලා බේරා ගැනීමට උත්සාහ කළ උදාර එලෙස පවසන අතර 'අශේන්' පවසන්නේ මෙවැන්නකි.

“මෙතනින් ගලාගෙන යන්නෙ බොල්ගොඩ ගඟේ පොඩි අතු ඇළක්. මං මෙතන බෝට්ටු අංගණයක් කරනවා. මේක පටන් අරගෙන තවම මාස දෙකයි. මේ කාලය තුළ මේ පැත්තෙ ජයටම තිබුණ කසිප්පු ජාවාරම නැවතුණා. ඉස්සර හරක් පවා නැති වුණා. ඇළේ කිඹුල්ලු ඉන්නවා. සමහරු ජාවාරමක් විදියට කිඹුලන් මරල විකුණනවා. අපි කියන්නෙ මේවත් නැති වෙන්නයි ඕනෑ. පොලිසියට වනජීවි එකට කිව්වා. තාම අහුවුණ කෙනෙක්නං නෑ. මෙතන දහයක් පහළොවක් වැඩ කරනවා. ඒ අයගෙ පවුල් යැපෙන්නෙ ඒ මත. මේ වගෙ දුර්ලභ සත්තු ඉන්නවනං ගෙස්ට්ලට හොඳයි. එත් ඒ සත්තු ආරක්ෂා වෙන්නත් ඕනෑ. ඇම ගිලපු සතා නැති වෙලා. අපිට වුවමනා මේ සත්තු ආරක්ෂා කරගන්න මිසක් විනාශ කරන්න නෙමෙයි. මමයි කිඹුල අල්ල ගත්තෙ කියල කවුරුහරි 119 ගහලත් තියෙනවා.“

කිඹුලා මියගියේ කුමනාකාරයෙන්ද යන්න පොලිසිය විමර්ශනයක් සිදුකරන බව මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති තුෂාර ද සිල්වා පැවැසීය. “මේ කිඹුලා අඩි 13 ක් විතර දිග සතෙක්. ගොඩ ගන්නකොට මැරිලා නෑ. ටික වේලාවකින් මැරිලා. ඇම වහරට දාල කෙසෙල් කඳක ගැටගහලයි තිබුණෙ. ගඟේ එහා පැත්තෙ කරපු එකක් ඇදි ඇදී මෙහාට ආවද කියන්න බෑ. කොහොම වුණත් අපි බුද්ධි අංශ යොදවල කිඹුල මැරුවෙ කවුද කියල තොරතුරු හොයනවා..“

කිඹුලාගේ මරණය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගවලට යන බව අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුහද ජයවර්ධන පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් කීවේ, “අපි ගෙනාවෙ පණ තියෙන කිඹුලෙක් නෙමෙයි මැරුණු සතෙක්. යොතේ දාල ඇදල කිඹුල මරලයි තියෙන්නෙ. ඒ අයට විරුද්ධව උසාවි ක්‍රියාමාර්ගයකට යන්නයි බලාපොරොත්තු වෙන්නෙ...“

කඹුලාගේ කතාව දැන් දැන් කරළියට පිවිස ඇත්තේ ඒ ආකාරයටය. හෙට දිනයේ මෙය තවත් වෙනස් විය හැකි නොවේද?

 

Comments