පේරාදෙණි ගුරු පියා මඟ මරු අරන් ගියා | සිළුමිණ

පේරාදෙණි ගුරු පියා මඟ මරු අරන් ගියා

 

මරණයේ වේදනාව ඇත්තේ මියගිය අයට නොව ජීවත් වන අයට යැයි කියමනක් ඇත. සුවහසක් සිසු සිසුවියන්ගේ ගෞරවයට පාත්‍ර වු 'ගුරු පියෙක්' ඉකුත් දා දැයෙන් සමුගත්තේ මුළු ප්‍රදේශයක්ම කම්පාවට පත් කරමිනි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගණිත සහ විද්‍යා පීඨ අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ලෙසට කටයුතු කරමින් සිටි 'ජිල්මී ආබ්දීන් සිල්මින් ජුම්මාන්' ය. 42 හැවිරිදි ඔහු මහනුවර, අමුණුගම, බොල්ලෑපාන, යග්ගහාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියණියකගේ සහ පුතුන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ දයාබර බිරිය ගෘහනියකි. දරු තිදෙනා බිරිය රැක බලා ගන්නා හෙයින් ජුම්මාන් තම වෘත්තියේ නියැළෙන්නේ ඉමහත් සැහැල්ලුවෙනි. ඔහු විවාහයෙන් පසුව මහනුවර පදිංචියට ගිය නමුත් ඔහු උපන්නේ ගල්ගමුව, ගල්ලෑව ප්‍රදේශයේය.

මිතුරෙකුගේ දියණිකගේ මංගල උත්සවයකටත්, මීට පෙර මියගිය තම කිරි අත්තාගේ දානමය කටයුත්තකටත් සහභාගිවන ලෙසට ඔහුට මීට පෙර ඇරයුම් ලැබී තිබුණි. එහෙත් එදින උදේ එහි යාමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට ඔහුට නොහැකි වුණි. 'පොල්පිතිගම පැත්තට' කතා කර පෙට්‍රල් සෙවු නමුත් එම ඉන්ධන හලේ ද තෙල් නැත. මේ නිසා නිවසේ තිබෙන කැබ් රථය සහ කාරය එහි තබා පහසුවෙන් යා හැකි ස්කුටි වර්ගයේ යතුරුපැදියෙන් මංගල උත්සවයට යාමට ඔහු අදිටන් කර ගත්තේ තෙල් අර්බුදයට විසඳුමක් ලෙසටය.

ව්‍යාපාරිකයෙකු ලෙසට කටයුතු කළ ඔහුගේ පියා මේ වන විට ජීවතුන් අතර නැත. පුතුන් හතර දෙනෙකුගෙන් යුත් එම පවුලේ තෙවැන්නා ජුම්මාන්ය. ඔහුගේ සහෝදරයන් තිදෙනාම විදෙස් රටවල ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියාවල නියැළෙති. මව පමණක් උපන් ගම් පියසේ වාසය කරන්නීය. ඇය විශ්‍රාමික විද්‍යා ගුරුවරියකි. මෙදින මෙරට සිටින එකම පුතා ගෙදරට එන තුරු ඇය ඇඟිලි ගනිමින් සිටියාය. ඒ අනුව අම්මාට දුරකතනයෙන් කතා කළ ජුම්මාන් තමන් එන බව පවසා බිරිය සහ දරු තිදෙනා‍ට ‘මම ගිහින් එන්නම්‘ කියා යතුරුපැදියට ගොඩ වූයේය.

ඔහු නිවසින් පිටත්ව ඉබ්බාගමුව, මඩගල්ල මාර්ගය ඔස්සේ ගමන් කරනා අතරවාරයේ දී 'මා එළිය බන්ට්' හංදියේ දී යතුරුපැදියට ඉදිරියෙන් යන තවත් වාහනයක් පසු කර යාමට ඉස්සර කරනවාත් සමඟින් පොල්පිතිගම සිට කුරුණෑගල බලා ගමන් ගත් ලංගම බසයක යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් ඉකුත් 21 දා පෙරවරු 11.20 පමණ සිදු වු අනතුරකින් ඔහු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් වුණි.

ඔහුගේ මෘතදේහය පොල්පිතිගම මූලික රෝහලට ගෙන යන්නේ ඉන් අනතුරුවය. පොල්පිතිගම පොලිසිය අනතුර සිදු වූ ස්ථානය පරීක්ෂාවට ලක් කළේය. කථිකාචාර්යවරයා පැද වූ යතුරුපැදියට ද දැඩි ලෙසට හානි සිදු වී තිබුණි.

''මහත්තයා ගෙදරින් මඟට ඇවිත් ආපහු ගෙදර ආවා. ලයිසන් එක බැරි වුණා. ඒක කැබ් රථයේ කියලා නැවත ඒක අරගෙන යන්න හදනකොට ‘ඒක බාධාවක් යන්න එපා‘ කියලා මං කිව්වා. අම්මා බලාගෙන ඉන්නවානේ. මං යන්නම් කියලා ආව මහත්තයාට මේ වෙච්ච විපැත්තිය මට අදහාගන්න බැහැ යැයි '' ජුම්මාන්ගේ බිරිය රෝහලේ තබා ඇති සැමියාගේ දේහය අසල වැතිර විලාප නැඟුවාය. එය දුටුවන්ගේ නෙතට කඳුළක් මුසු කළ දසුනක් ගෙන දුනි.

පවුලේ තෙවැන්නා වු ජුම්මාන් මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ ගල්ගමුව ගල්ලෑව විදුහලෙන්ය. පසුව ඔහු මහනුවර මඩවල මදීනා විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ බවත්, එහි දී ලද දැනුම් සම්බාරය කැටි කොට පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරයෙකු ලෙසටත් පසුව ‍එහි ජ්‍යේෂ්ඨතම කථිකාචාර්යවරයා ලෙසටත් කටයුතු කරමින් සිටියේය. ඔහුට විශ්වවිද්‍යාලය මඟින් නිල රථයක් ලබා දීමට සියල්ල සූදානම් කර තිබියදී එය ලැබෙන්න්ට මත්තෙන් නොසිතූ අයුරින් මිය පරලොව ගියේය. ජුම්මාන්ගේ අවසන් කටයුතු බිරිය දරුවන් මව ඥාතින් සරසවි ඇදුරන් සහ සිසු සිසුවියන්ගේ සෝ සුසුම් මැද පසුගියදා ගල්ගමුව, ගල්ලෑව දී ඉස්ලාම් චාරිත්‍රවලට අනුව සිදු කෙරුණි.

බසය පැද වූ ලංගම බස් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. නිකවැරටිය කොට්ඨාස භර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන සහ මහව සහකාර පොලිස් අධිකාරි එම්.ආර්.එස්.සී. බණ්ඩාර යන නිලධාරින්ගේ උපදෙස් මත පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රබුද්ධ කුලතුංග, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්. පුංචි බණ්ඩාර, සැරයන් 35321 හේරත් යන අය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments