ඇල්පිටියේ වයෝවෘද්ධ කතුන් දෙදෙනා එලොව යැව්වේ කවුද? | සිළුමිණ

ඇල්පිටියේ වයෝවෘද්ධ කතුන් දෙදෙනා එලොව යැව්වේ කවුද?

මල්ලිකා, ඥානවතී සහ ඔවුන් දෙදෙනා මියගොස් සිටි නිවෙස

- මළ සිරුරු තිබුණේ නිවෙස ඇතුළේ
- නූල් පටකින් සහ රෙදි පටියකින් ගෙල සිර කරලා
- පොලිස් පරීක්ෂණ පැති කීපයකින්

ගම දහම ගැන උදේ හවා කොතරම් කතා කළත් අද මේ රටේ බොහෝ දෙනෙකුගේ සාරධර්ම පිරිහී තිබේ. සාර ධර්ම ආරක්ෂා කිරීමට වඩා මුදල් පසුපස හඹා යන සමාජයක් සහ පුරවැසියන් පිරිසක් මේ රටේ බිහි වීමත් සමඟ සාර ධර්ම පිරිහී ඇති අයුරු පෙනෙන්නට ඇත. මීට මාස හතරකට පමණ පෙර රාත්‍රියක අහුන්ගල්ල පොලිස් වසමට අයත් ගාලු පාරේ අංක 226, වැල්ලබඩ, කජ්ජුවත්ත, බළපිටිය ප්‍රදේශයේ නිවෙසක තනිව ජීවත් වූ 76 හැවිරිදි කටපොඩි කංකානම්ගේ පුඤ්ඤවතී නමැති කාන්තාව අබිරහස් ලෙස මරා දමා තිබුණි. 

ඒ උණුසුම මැකී යන්නටත් පෙර ඇල්පිටිය පොලිස් වසමේ නිවෙසක විසූ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු ඉතා අබිරහස් ලෙස ඝාතනය කර තිබුණ බව ඇල්පිටිය පොලිසියට වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා පෙරවරුවේය. මේ ගැන පොලිස් විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

ඇල්පිටිය පොලිස් වසමට අයත් තේනංගොඩ, පහළ ඕමත්ත, ගණේගොඩ ලිපිනයේ 69 හැවිරිදි උහන් ඕවිටගේ මල්ලිකා ජයරත්න මාතාව පදිංචිව සිටියාය. නාකන්දලගේ විල්බට් නමැති ග්‍රාම නිලධාරීයා සමග විවාහ වී සිටි මල්ලිකා මාතාවට දරුවන් දෙදෙනෙකි. ඒ දියණියක් සහ පුතෙකි. ඔවුන් විවාහ වී සිටින අතර දෙදෙනාම වෙන් වෙන්ව වෙනත් ප්‍රදේශවල ජීවත් වූහ. ගුරුවරියක් වූ වැඩිමල් දියණිය සිය පවුල සමඟ ඇල්පිටිය නගරාසන්නයේ නිවසක ජීවත්වන අතර බාල පුතු රත්මලාන ගුවන් තොටුපළේ සේවය කරන නිසා ඔහු ජීවත් වන්නේ එම ප්‍රදේශයේය.

මල්ලිකාගේ සැමියා වන විල්බට් මීට ටික කලකට පෙර මිය පරලොව ගිය අතර මල්ලිකා එම නිවසේ පදිංචිව සිටියේ ඇගේ සැමියාගේ සොයුරියක වූ අසූ හැවිරිදි නාකන්දලගේ ඥානවතී සමඟය. ඇය අවිවාහකය. වයෝවෘද්ධ කාන්තාවක් වූ ඇයට ඇවිදීමේ අපහසුතාවක් තිබුණු අතර ඒ නිසා ඇය ගෙදර දොරේ කටයුතු කරගෙන ගියේ ආධාරක උපකරණයක ආධාරයෙනි.

වටපිට නිවෙස්වල ජීවත් වූයේ එම පවුල්වලම ඥාතීන් නිසා මොවුන්ට පාළුවක් තනිකමක් නොවූ අතර සිය දරුවන් නිතර ඔවුන්ට දුරකතනයෙන් කතා කරමින් දෙදෙනාගේ දුක සැප විමසා බැලීම සිරිතක්ව තිබුණි.

ඉකුත් පළමු වැනිදාද පුරුදු ලෙසින් ඇල්පිටියේ පදිංචි දියණිය සිය ආදරණීය මෑණියන්ගේ සුවදුක් විමසීමට මවගේ ජංගම දුරකතනයට කතා කළාය. එහෙත් මව ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මේ නිසා ඇය අසල පදිංචි ඥාතියෙකුට කතාකර කියා සිටියේ මවගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා ඔවුන් ගැන සොයා බලන ලෙසටය.

ඒ අනුව එම නිවෙසට ගිය ඥාතියා දුටුවේ ඒ වන විටත් නිවෙසේ අය අවදිව නොමැති බවය. මේ වන විට උදේ කාලය ගෙවී යමින් පැවතීම නිසා මෙතරම් වේලාවක් නිවසේ දොරවල් විවෘත නොකර තිබීම ඔහුට ගැටලුවක් විය. ඒ නිසා ජනේලයකින් ගෙතුළ විපරම් කර බැලූ ඔහු දුටුවේ එක් කාන්තාවක් නිදි ඇඳේම මියගොස් සිටින අයුරුය. ඒ අනුව එම ඥාතියා පවුලේ දූදරුවන්ට මේ ගැන වහාම දැනුම් දුන් අතර මේ පණිවිඩය ලත් පුතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශය මඟින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරනු ලැබීය.

එදින දහවල් 1.50ට පමණ ඇල්පිටිය පොලිසියට ලද මේ තොරතුරු ඔස්සේ මේ පිළිබඳව සිය උසස් පොලිස් නිලධාරීන් දැනුවත්කර ලබාගත් උපදෙස් අනුව ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. අනුර විජේසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ අබිරහස් ඝාතන දෙක සම්බන්ධයෙන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩගේ නියෝගය අනුව මළසිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරනු ලැබීය.

ඒ අනුව ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ විසින් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වනු ලැබීය. එක් කාන්තාවකගේ සිරුරේ ගෙල නූලකින් සහ අනෙක් සිරුරේ ගෙල රෙදි පටියකින් සිරකර තිබුණ අතර මෙම මරණ දෙකම ගෙල සිර කිරීමෙන් සිදුවූ ඒවා බවට පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයෙන් නිගමනය කරනු ලැබීය. එසේම මෙම කාන්තාවන් දෙදෙනාට කිසිම ලිංගික අතවරයක් සිදුවී නොමැති බවද පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයෙන් නිගමනය කර තිබුණේය.

මේ අබිරහස් මිනීමැරුම් දෙක සම්බන්ධයෙන් ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්තගේ සහ ඇල්පිටිය පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බස්නායක ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කරනු ලබයි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් වැල්ලගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් ද වැඩිදුර පරීක්ෂණ පවත්වති. ඇල්පිටිය අපරාධ ස්ථානීය පරීක්ෂණගාරයේ (සෝකෝ) නිලධාරීහු විද්‍යාත්මක සාක්ෂි එක් රැස්කිරීමේ පරීක්ෂණ සිදු කරති.

අයි.එම්.වී. චන්ද්‍රසිරි ගුණසේකර 
ඡායාරූප අනුරාධ ප්‍රියදර්ශන - කරන්දෙනිය සමූහ

Comments