මුහුණු පොතේ වාහන හොරු | සිළුමිණ

මුහුණු පොතේ වාහන හොරු

ජනාකීර්ණ ප්‍රදේශවලදී යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නැති වන බවට ලැබෙන පැමිණිලි වැඩි වශයෙන් පොලිස් පොත්වල සටහන් වෙද්දී පොලිස් නිලධාරීන් එහි අග මුල සොයා ගැනීමට දිවා රෑ වෙහෙසෙන්නට විය. මේ සොරකම් වැඩි වශයෙන් එළිමහන් සංගීත සංදර්ශන මූලික කරගෙන සිදු වන බවට විමර්ශන සිදු කරන නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන අතර එය සූක්ෂ්මව සිදු කරන බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සහභාගීත්වයෙන් රාගමදී පැවති සංගීත සංදර්ශනයකදී සොරකම් කරන ලද යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසියේ නිලධාරීන්ට පසුගියදා හැකි විය. ඒ අනුව යතුරුපැදි, ත්‍රිරෝද රථ ජාවාරම් කල්ලියක තොරතුරුද ඒ ඔස්සේ අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වන්නේ ඉන් අනතුරුවය.

'මුහුණු පොතින්' විවිධ ව්‍යාපාර සිදු කරනා අය බොහෝය. ඒ අතර වාහන ගැණුම්කරුවන් මෙන්ම විකුණුම්කරුවන්ද මුණ ගස්වනා එක් තැනක් බවට මුහුණුපොත අද ප්‍රසිද්ධය. එලෙසම මෙවැනි ගනුදෙනුවලදී මිනිසුන් 'වංචාකාරයන්ට' හසුවන අවස්ථා වැඩි අතර අවංකව ව්‍යාපාර සිදු කරනා පුද්ගලයන්ද සිටින බව කිව යුතුය.

රාගම ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී නැති වූ යතුරුපැදියක් කිසියම් අයකු මුහුණුපොත මඟින් විකිණීමට යන බවට රාගම පොලිසියට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් යොදන්නේ ඉන් පසුවය. විමර්ශන සිදු කරනා නිලධාරීන් එම යතුරුපැදිය මිල දී ගන්නා පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ දැඩි පරිශ්‍රමයකිනි. එහෙත් යතුරුපැදිය විකුණූ පුද්ගලයා මුහුණු පොතේ ව්‍යාජ ගිණුමකින් පෙනී සිට ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වන්නේ නැත.

එම ව්‍යාජ ගිණුම පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට 'පොත්' නැති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ විකිණීමට තිබෙන බවට පළ කළ දැන්වීම් කිහිපයක්ම දැක ගන්නට ලැබිණි. මෙහි කුමන හෝ 'හොරයක්' ඇති බවට නිලධාරීන්ට තේරුම් යන්නේ ඉන් පසුවය. කෙසේ වෙතත් මුහුණු පොතේ මේ ව්‍යාජ ගිණුමේ අයිතිකරුවකු සොයා ගන්නේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. මොහු අල්ලා ගැනීමට නම් අලෙවි කරනා යතුරුපැදියක් හෝ ත්‍රිරෝද රථයක් අනිවාර්යයෙන්ම මිල දී ගත යුතුය.

මෙහි 'තිරය පිටුපස' සිටිනා මහ මොළකරු අල්ලා ගැනීමේ සැලසුම සකස් වන්නේ ඉන් පසුවය. ඒ රාගම පොලිසියේ නිලධාරීන් දෙදෙනකු උපාය දූතයන් ලෙස මුහුණු පොතේ එම ව්‍යාජ ගිණුමෙන් යතුරුපැදියක් මිල දී ගැනීමට ඒ අයට ඇමතුමක් දීමට කටයුතු යෙදීමත් සමඟය

එයද එතරම් ලෙහෙසි පහසු වන්නේ නැත. ඒ එකවර විකුණුම්කරුවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. දින කිහිපයක්ම එහි විකිණීමට තිබෙනා යතුරුපැදි ගැන විස්තර ඇසීමෙන් පසු එක් දිනකදී යතුරුපැදිය බැලීමට පැමිණෙන ලෙසට උපාය දූතයන්ට ඇරයුමක්ද ලැබෙන්නේය. ඒ හෝමාගම මීගොඩ ප්‍රදේශයටය. වෙස් වළාගත් පොලිස් නිලධාරීන් දෙදෙනා උදෑසනම මීගොඩ ප්‍රදේශයට යන්නේ යතුරුපැදිය මිල දී ගැනීමට මුදල්ද රැගෙනය. කෙසේ වෙතත් තැන් කිහිපයකටම නිලධාරීන්ට පැමිණෙන්නට කියා අවසානයේ යතුරුපැදිය පැදගෙන එක් අයකු පැමිණෙන්නේ ගනුදෙනුව අවසන් කිරීමටය.

"මල්ලි මේ බයික් එක ඔයාගෙද? නැත්තම් ඔයා බයික් බිස්නස් කරන කෙනෙක්ද?"

"නෑ අයියෙ මං බයින් ඇන්ඩ් සෙලින්..."

පොලිස් නිලධාරීන් කල් මරන්නේ අනෙක් පොලිස් නිලධාරීන් එතැනට පැමිණෙනතුරු බව සැකකරු හීනෙකින්වත් සිතන්ට නැත.

"මල්ලි අන්තිම කීයද? තව ටිකක් ගාන එහා මෙහා කර ගන්න බැරිද?"

"බෑ අයියේ.... අන්තිම තමයි ඔය...."

සැකකරුට කියන්නට හැකි වූයේ එපමණකි. එතැනට වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක් නවතින්නේ දූවිලිද අවුස්සමිනි. එක්වරම සැකකරු කලබල වී පැන දිවීමට උත්සාහ කළද වෙස් වළාගෙන පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා පැන ඔහුව අල්ලාගෙන මාංචු දමන්නේ පැන යෑමට නොහැකි අයුරිනි.

පොලිසියට අවශ්‍යව තිබුණේ මේ හොර ජාවාරමේ කොනක් කෙසේ හෝ සොයා ගැනීමටය. එයද දැන් සාර්ථකය. රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා ඇතුළු නිලධාරීන් සැකකරු ජීප් රියට නංවාගෙන රාගම පොලිසියට රැගෙන එන්නේ මේ ජාවාරමේ සියලු තතු දැන ගැනීමටය.

'මුහුණු පොතේ' ව්‍යාජ ගිණුම් සාදා මෙලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දැන්වීම පළ කර ඇත්තේ මේ සැකකරු විසිනි. මොහු සමඟ මේ ජාවාරම සිදු කළ තවත් අයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වන අතර එහිදී මොවුන් විසින් මෙරට විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කර ඇති බවට අනාවරණය විය. එම යතුරුපැදි සහ ත්‍රිරෝද රථවල චැසි අංක වෙනස් කර ඒවාට ව්‍යාජ පොත් සාදා හෝ පොත් නැති බවට දැන්වීම් පළ කර ඒවා විකුණා තිබේ. මෙලෙස විකිණූ යතුරුපැදි 09ක් සහ ත්‍රිරෝද රථයක් පන්නල, ගිරිඋල්ල, අතුරුගිරිය ප්‍රදේශවලින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ චැසි අංකය වෙනස් කර අබලන් වූ යතුරුපැදියක චැසි අංකයක් කොටා එය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබේ. ඉන් පසුව එය පන්නල ප්‍රදේශයේ පුද්ගලයකු මිල දී ගෙන ඇති අතර පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඔහු විසින් ත්‍රිරෝද රථය භාවිත කිරීමේදීය. සැකකරුවන් මේ ජාවාරම ජයටම කරගෙන ගොස් ඇත්තේ මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් සාදමින් බවට පරීක්ෂණවලදී ඔප්පු වී ඇති අතර ඒ හේතුවෙන් අනන්‍යතාවක් නැති වීමෙන් මොවුන් අත්අඩංගුවට ගැනීම අපහසු කරුණක් වූ බවද පොලිස් නිලධාරීන් පැවසීය.

මොවුන් සොරකම් කරනා වාහනවල චැසි අංක වෙනස් කරනා පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මෙතෙක් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. සැකකරුවන් විසින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කර ඇත්ද යන්න රාගම පොලිසිය මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරන අතර එතෙක් සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි ධනංජය පෙරමුණ, රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක යූ.ඩී. අබේරත්න, සැරයන්වරුන් වන (27090) උපනන්ද, කොස්තාපල්වරුන් වන (78997) පෙරේරා, (79574) සඳුන්, (33275) හෙට්ටිආරච්චි, (16849) කුමාර යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

 

Comments