ජීවිත 60ක් බේරා ගත් බදුල්ලේ සී.ටී.බී. වීරයා | සිළුමිණ

ජීවිත 60ක් බේරා ගත් බදුල්ලේ සී.ටී.බී. වීරයා

හපුතලේ බෙරගල දී අනතුරට පත් බදුල්ල ඩිපෝවේ බස් රථය සහ රියැදුරු ඩී. එම්. ප්‍රියන්ත කුමාර

දුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් wp-ND 9935 දරන ලංගම බස් රථය හපුතලේ බෙරගල ප්‍රදේශයේදී තිරිංග නොමැතිව ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල අනතුරක් සිය ජීවිතය පරදුවට තබා වළකාගෙන මගී ජීවිත 60ක් බේරාගත්තේ බදුල්ල ඩිපෝවේ රියැදුරු ඩී. එම්. ප්‍රියන්ත කුමාරය. 37 හැවිරිදි ප්‍රියන්ත කුමාර බදුල්ල, කැන්දගොල්ල, වෑකඩ, කොල්ලුවත්ත පදිංචි තිදරු පියෙකි. අහිංසක මගී ජීවිත 60ක් බේරාගෙන බසයට කිසිම හානියක් නොවන අයුරින් බිහිසුණු අනතුරක් වළකා ගත් රියැදුරු ප්‍රියන්ත කුමාර සැබැවින්ම වීරයෙකි. මෙවැනි වීරයන් සිටීම රටට ජාතියට මෙන්ම ශ්‍රී ලංගමටද අතිමහත් ආඩම්බරයකි. සිය බිහිසුණු අත්දැකීම විස්තර කරන රියැදුරු ප්‍රියන්ත කුමාර මෙසේ කීය.

මම බදුල්ල ඩිපෝවේ රියැදුරු රැකියාවට ආවේ 2012 වසරේදී. මීට කලින් මම බදුල්ල කුට්ටියගොල්ල පෞද්ගලික බස්රථයක සේවය කළා. බදුල්ල ඩිපෝවේ අවුරුදු තුනක් පමණ බදුල්ල කොස්ගොල්ල බස්රථයේ සේවය කළා. පසුව බදුල්ල කොළඹ බස්රථයේ රියැදුරු ලෙස දුර ගමන් සේවා වැඩ කරන්න පටන් ගත්තා. මම බදුල්ලෙන් කොළඹ බලා පෙරවරු 9.25ට පිටත්වෙන්නේ. යළි එදිනම රාත්‍රී 10.45ට කොළඹ සිට බදුල්ල බලා පිටත් වෙනවා. මට කොළඹ බදුල්ල පාර හොඳට හුරු පුරුදුයි. සිද්ධිය වූ දින පෙරවරු 9.25ට මම සුපුරුදු පරිදි බදුල්ල සිට කොළඹ බලා යාමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම් පොළේ සිට පිටත් වුණා. එදා මං ධාවනය කළ බස් රථය බදුල්ල යාපනය අතර ධාවනය වන එකක්. ඒ බස් රථය මට කොළඹ යන්න ලැබුණේ. මීට පෙර අවස්ථා දෙකක් මේ බස් රථයේ කොළඹ ගිහින් ආවා. එදා මගෙත් එක්ක කොන්දොස්තර ලෙස තුසිත චමින්ද කටයුතු කළා. බස්රථයේ ආසන ගණනට මගීන් හිටියා. බස් රථය හපුතලේ නගරයට උදේ 11.05 ට පමණ ළඟා වුණා. යළි උදේ 11.10ට හපුතලේ නගරයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කර බස් රථය මම බෙරගල කන්දේ පහළට හෙමින් පදවාගෙන ගියා. බෙරගල විහාරගල ප්‍රදේශයේදී මම බස් රථයේ බ්රේක් පැඩලය පෑගුවත් බ්රේක් පැඩලය ක්‍රියාත්මක වුණේ නැතිව යටට ගියා. මට තේරුණා බස් රථයේ තිරිංග නොමැති බව. කොන්දොස්තර තුසිත චමින්ද බසයේ ඉදිරිපස මා අසල ඉදිරි පා පුවරුවේ හිටියේ. මම ඔහුට බස් එකේ බ්රේක් නෑ කිව්වා. ඉදිරියෙන් ලොකු වංගුවක් තියෙන්නෙ. ඒ අසලම විශාල ගල් පර්වතයක්. ඔහු කීවා පාරේ දකුණු පැත්තට කපලා වේල්ලට අල්ලා බස් එක නවතා ගන්න කියා. 

මම කලබල වුණේ නෑ. ගියරය මාරු කරන විට තෙවන ගියරය වැටී පල්ලමේ යන බස් රථයේ වේගය තරමක් අඩු වුණා. ඉදිරියෙන් ත්‍රිරෝද රථයක් ආවා. මම බස් රථයේ ප්‍රධාන පහන් දල්වා අනතුරු බව හඟවා ත්‍රිරෝද රථය අයින් කර ගන්න කීවා. මගෙ බස් රථය පිටුපසින් මෝටර් රථයක් ඉස්සර කරන්න උත්සහ කළා. මම අත දාලා එපා කිව්වා. බස් එක ඇතුළේ හිටිය මගීන්ට හයියෙන් අල්ලාගන්න කියා කෑගසමින් කීවා. ඔවුන් හිතුවෙ මම රේස් යන්න හදනවා කියලා. මගීන් කලබල වුණේ නෑ. මට මේ වෙලාවේ මගෙ මියගිය පියා එක්වරම සිහිපත් වුණා. වෙන කවුරුත් මතක් වුණේ නෑ. මම කලබල වුණානම් බසයේ සිටි මගින් කලබල වෙනවා. නැත්තම් බ්රේක් නෑ කීවානම් ඔවුන් කලබල වෙලා බස් එකෙන් එළියට පැනලා විශාල අනතුරක් වෙනවා. දැන් මගෙ ඉදිරියෙන් විශාල අනතුරක් පෙනී පෙනී මම ඉවසීමෙන් කලබල නොවී පල්ලමේ බ්රේක් නැතිව යන බස් එක පාරේ දකුණු පැත්තට කපලා වේල්ල දෙසට ධාවනය කළා. ඒ සමඟම බස්රථයේ ඉදිරි රෝදය කානුවට වැටුණා. කානුව දිගේ මීටර් 50ක් පමණ ඇදී ගොස් පිටුපස රෝද දෙක කාණුවට වැටි බස්රථය නැවතුණා. මට මොනවත් හිතා ගන්න බෑ. පස්සේ බලනකොට හීනයක් වගෙ. තව ටිකක් ඉස්සරහට බස් රථය ඇවිත් නතර වුණානම් පාර අයිනේ තියෙන විශාල ගල් පර්වතයක ගැටී ලොකු අනතුරක් වෙන්න තිබුණා. නැත්තම් බ්රේක් නැතිව පල්ලමේ අඩි 5000ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් විශාල අනතුරක් වෙන්න ඉඩ තිබුණා. මේක පුදුම වාසනාවක්. බස් එකේ බ්රේක් නැතිව ගිය ගමන් මට එක පාරටම මතක් වුණේ මීට මාස කීපයකට කලින් මියගිය මගෙ පියා. පියාගේ ආශිර්වාදය නිසා තමයි මගේ ජීවිතෙත් බේරාගෙන අහිංසක මිනිස් ජීවිත 60ක් කිසිම කරදරයක් නොවී බේරාගන්න ලැබුණේ.

මම ගෙදර ආපු ගමන් එදා රෑ තාත්තාගේ ඡායාරූපයට වැඳලා තමයි මගෙ දරුවන් තිදෙනාගේ බිරිඳගේ මූණ බැලුවෙ. මගෙ පියා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළේ. පියාගේ මරණින් පසුව මට පිය පුතු උරුමය යටතේ විදුලි බල මණ්ඩලයේ රැකියාව ලැබුණත් මම ගියේ නෑ. බස්රථ රියැදුරු රැකියාවට මම ආසා කළේ. මේ රියැදුරු රැකියාවට මම හරිම ආදරේයි. මම බොහොම වගකීමක් ඇතිව රැකියාව කරන්නේ. මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන්න බැහැ.

මිට වසර කීපයකට ඉහතදී බෙරගල විහාරගල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් බ්රේක් නැතිව ගිහින් වේල්ලක ගැටීමෙන් විශාල අනතුරක් සිදු වුණා. එහි බස් රථයේ රියැදුරු මියගියා මගී ජීවිත රැසක් බේරාගෙන. මගේ මේ බස් රථය තුළ අත දරුවන් කුඩා දරුවන් 15ක් පමණ හිටියා. හපුතලේ වෛද්‍යවරයකුගේ මව පියා හිටියා. ඔවුන් කොළඹ යන්න හපුතලේ නගරයේ සිට බස්රථයට ගොඩවෙල විනාඩි 10 ක් පමණ ගියා විතරයි මෙම අනතුර වුණේ. ඒ වෙලාවේම ඒ වෛද්‍යවරයා බස් එක ළඟට ආවා. මගේ කකුලේ දනිස ළඟ පොඩ්ඩක් තුවාල වුණා බස් රථයේ සුක්කානමට හිරවෙලා. මට ඒ වෙලාවේම ප්‍රතිකාර කළා. මට බස් රථය තුළ සිටිය සියලුම දෙනා ස්තුතිය පුද කළා මහ අනතුරකින් ජීවිත ආරක්ෂා කර දුන්නාට.“

මගීන්ගේ දිවි බේරාගත් වීරයා වන ප්‍රියන්ත කුමාර තිදරු පියෙකි. ඔහුට 15 හැවිරිදි දිල්ශි නිපුල්සරා, 10 හැවිරිදි තිනුශි මෙත්සරා සහ වයස අවුරුදු තුනහමාරක් වන හසිදි නෙත්සරා නමැති දියණන් තිදෙනකු සිටී. බිරිය ඩී. එම්. අනූෂා චතුරමාලීය. දියණියන් තිදෙනාත් බිරියත් මෙම සිද්ධියෙන් තරමක් කම්පනයට පත් වූ අතර වටිනා අහිංසක මිනිස් ජීවිත 60ක් කිසිදු තුවාලයක් නොලබා බේරා ගැනීම ගැන ඔවුන්ද සතුටට පත්ව සිටිති.

ප්‍රියන්තගේ දයාබර බිරිය අනූෂා චතුරමාලී මෙසේ පැවසුවාය.

“මගෙ සැමියා පුදුම ආදරෙන් වගකීමක් ඇතිවයි රියැදුරු රැකියාව කරන්නෙ. මෙයාට බදුල්ල සිට කොළඹ යන්න බස් රථය බස්රථ නැවතුම් පොළට උදේ 9.10 ගෙනියන්න තියෙන්නෙ. 9.25 ට පිටත් වෙන්නේ. නමුත් උදේ 6.30 වෙනකොට සැමියා ගෙදරින් පිටත් වෙනවා. ඒ ගිහින් බස් රථය හෝදලා අඩුපාඩු බලනවා. මම ඒත් එයාට බනිනවා ඔයා ඇයි බස් එක හෝදන්නේ. බස් හෝදන්න කට්ටිය ඉන්නවනෙ කියලා.

එදා උදේ මහත්තයා වැඩට ගියා පුරුදු විදිහට. පස්සෙ දවල් මහත්තයා කතා කරලා කිව්වා බස් එක කාණුවට පොඩ්ඩක් වැටුණා. කිසිම කරදරයක් නෑ කියලා. වෙන මොනාවත් කීවේ නෑ. මමත් දරුවන් තුන්දෙනත් හරි බයෙන් හිටියේ විස්තර දැනගැනීමට නැතිව. පසුව අපේ තාත්තා දවල් කොළඹ යන ගමන් බලලා මට විස්තර කිවුවා. ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා අහිංසක ජිවිත 60ක් බේරාගෙන මහත්තයා ආරක්ෂා වෙලා බස් රථයත් ආරක්ෂා කර ගැනීම ගැන.

Comments