බේකරි බාස් වළපල්ලට යැවූ මිතුරා වසරකට පසු කොටු වූ හැටි | සිළුමිණ

බේකරි බාස් වළපල්ලට යැවූ මිතුරා වසරකට පසු කොටු වූ හැටි

 

2022 වසරේ අප්‍රේල් 23 වැනිදා අලුයම 1ට පමණ පිහියකින් ඇන එසේ ඝාතනය කර තිබුණේ මයිල්වානගම් ජේකුමාර් නමැත්තෙකි. 38 හැවිරිදි ජේකුමාර් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ, ‘ඉසුරු බේකරිය‘ ඇතුළේදී ඝාතනය කර තිබිණි. මේ සිද්ධියෙන් පසු ඝාතකයා පලා ගියේය. එහෙත් ජේකුමාර්ට සැකකරු විසින් පිහියෙන් අනින ආකාරය ඇසින් දුටු සාක්ෂියක් විය. ඒ සුනිල් නමැත්තෙකි. සුනිල්ගේ පාපෝච්චාරණය අනුව ජේකුමාර්ට පිහියෙන් ඇන පලා ගොස් සිටියේ වේළු නමැත්තෙකි.
 

පොලිස් ස්ථානවලට වාර්තා වන මිනීමැරුම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියා ආදී නොයෙක් අපරාධ අතරින් බොහොමයක් පොලිස් නිලධාරින් විසින් දිවා රෑ නොබලා කැප වී විසඳන්නේ සැකකරුවන් සියලු දෙනා සමඟ ‘නඩු භාණ්ඩ‘ද අත්අඩංගුවට ගනිමිනි. එහෙත් ඇතැම් අපරාධ නොවිසඳුණු අපරාධ ලෙස යට යන්නේ ඒවායේ සැකකරුවන්ට නිදැල්ලේ සැරිසරන්නට අවකාශ සලසමිනි. පොලිස් ස්ථානවල පවතින අධික වැඩ රාජකාරි, නිලධාරින්ගේ හිඟය මෙන්ම තවත් යම් යම් බලවේගද ඊට හේතු වන බව පෙනෙන්නට ඇත. පොලිස් ස්ථානවල ලිපි ගොනු අතර හිරවන ‘නොවිසඳුණු අපරාධ‘ පිළිබඳව සොයා බලන්නට බොහෝ කොට්ඨාසවල අපරාධ විමර්ශන ඒකක මෙන්ම අපරාධ කොට්ඨාසවල නිලධාරින්ද උත්සුක වන්නේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ නියෝග සහ උපදෙස් අනුවය.

එසේ මාස නවයකට ආසන්න කාලයක් නොවිසඳුණු මිනිස් ඝාතනයක සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට පසුගියදා හැකි විය. ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 1 භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්. මුණසිංහ ඇතුළු කණ්ඩායම සිදු කරන ලද සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. මේ කතාව පෙළ ගැසෙන්නේ එම විමර්ශනය අනුවය.

2022 වසරේ අප්‍රේල් 23 වැනිදා අලුයම වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුවත් කළේ ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට උපදෙස් දෙමිනි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකරගේ මෙහෙයවීමෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරාගේ අධීක්ෂණයෙන් එහි ඒකක 1 භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ ඇතුළු කණ්ඩායම ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නේ පසුගිය සතියේය.

2022 වසරේ අප්‍රේල් 23 වැනිදා අලුයම 1ට පමණ පිහියකින් ඇන එසේ ඝාතනය කර තිබුණේ මයිල්වානගම් ජේකුමාර් නමැත්තෙකි. 38 හැවිරිදි ජේකුමාර් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ, ‘ඉසුරු බේකරිය‘ ඇතුළේදී ඝාතනය කර තිබිණි. මේ සිද්ධියෙන් පසු ඝාතකයා පලා ගියේය. එහෙත් ජේකුමාර්ට සැකකරු විසින් පිහියෙන් අනින ආකාරය ඇසින් දුටු සාක්ෂියක් විය. ඒ සුනිල් නමැත්තෙකි. සුනිල්ගේ පාපෝච්චාරණය අනුව ජේකුමාර්ට පිහියෙන් ඇන පලා ගොස් සිටියේ වේළු නමැත්තෙකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ ඇතුළු කණ්ඩායම මේ ගැන විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මූලික අරමුණ වූයේ ඒ වන විට පලා ගොස් සිටි වේළු අත්අඩංගුවට ගැනීමයි. එහිදී සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන දින කීපයක් සිදු කෙරුණේ සැකකරු පලා ගියේ කුමන ඉසව්වකටද සහ ඔහු කුමන පළාතක රැඳි සිටිනවාද යන්න සොයා ගැනීම සඳහාය. ඒ වන විට විමර්ශන නිලධාරින් සිය පෞද්ගලික තොරතුරුකරුවන්ද මේ පිළිබඳව දැනුවත්කර තිබුණේය.

ඒ අනුව විමර්ශන කණ්ඩායමේ කොස්තාපල් 76495 ක්‍රිෂාන්තට සැකකරු පිළිබඳ සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වසනීය ඔත්තුවක් ලැබිණි. ඒ ඉකුත් දිනෙකය.

“සර්... ෂුවර් එකටම සර්ලා හොයන හාදයා වෙන්න ඕන... මිනිහෙක් ඉන්නවා... එයා මිරිහානේ කට්ටිය හන්දියේ බේකරියක වැඩ කරන්නෙ...“

තොරතුරුකරු කී පුද්ගලයා ගැන විමර්ශන නිලධාරින් සොයා බලන්නේ ඉන් පසුවය. තොරතුර ‘තිත‘ටම නිවැරැදිය. අනතුරුව පොලිස් නිලධාරින් පසුගිය 19 වැනිදා පෙරවරුවේ එම ස්ථානය වැටලීය. ඒ සමඟම සැකකරු එම ස්ථානයෙන් පලා යාමට තැත් කළේ යාබද දුම්රිය මාර්ගය ඔස්සේ දිව යමිනි. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සැකකරු වැල්ලම්පිටියේ ඉසුරු බේකරියේදී ජේකුමාර් ඝාතනය කළ ආකාරය සුනිල් නමැත්තා සියැසින් දුටු පුද්ගලයාමය. සැකකරු වේළු ජීවරත්නම්ය. බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ආ වේළුගෙන් ජේකුමාර් ඝාතනය ගැන පොලිසිය ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.

“සර්... එදා මාව ඉසුරු බේකරියෙන් අයින් කරන්න හේතු වුණේ... ජේකුමාර්... ඒකා මගේ හොඳම යාළුවා... ඒත් ඌ බොසාට කියලා මාව අයින් කරන්න කියලා... ඉතින් මට ආපු කේන්තියට මම ඌව මරනවම කියලා මූණටම කිව්වා. ඒක නිසා තමයි මේ දේ වුණේ...“ යැයි පවසමින් ඔහු දීර්ඝ පාපෝච්චාරණයක් සිදු කෙළේය. එහිදී මේ ඝාතනයේ සුලමුල හරියටම අනාවරණය විය.

මයිල්වානගම් ජේකුමාර් හෙවත් නිශාන්ත මොනරාගල, කොස්ලන්ද, මාකල්දෙනියවත්තේ පදිංචිකරුවෙකි. ඔහු ඝාතනය වන විට 37 හැවිරිදිය. විවාහකයකු වූ ඔහුට ඒ වන විට වයස අවුරුද්දක සහ අවුරුදු තුනක දරුවන් දෙදෙනෙක්ද සිටියේය. ජේකුමාර් මීට අවුරුදු 12කට 13කට පෙරදී කොළඹට පැමිණියේ රැකියාවක් සඳහායි.

පස්සර, මඩොල්සිම, වට්ටාවත්ත වතු යායේ පදිංචිකරුවකු වන වේළු ජීවරත්නම් 47 හැවිරිදිය. අවිවාහකයෙකු වන වේළු ඔහුට වයස අවුරුදු 14 දී එනම් 1990 වසරේදී කොළඹට පැමිණියේද රැකියාවක් සඳහාය. ඔහු කොළඹට පැමිණි දා සිටම බේකරි රැකියාවට යොමු විය. කල් යද්දී වේළු අතිදක්ෂ ‘බේකරි බාස්‘ කෙනෙකු විය. ඔහු රැකියාවට යන ඕනෑම බේකරියක කැපවීමෙන් සේවය කළ අයෙකි.

මීට වසර 12කට පමණ පෙරදී වේළු වැලිකඩ ‘නන්දා බේකරියේ රැකියාව කරද්දී ජේකුමාර් මුණ ගැසිණි. ඒ වන විට ජේකුමාර්ද රැකියාවක් සඳහා කොළඹට පැමිණ බේකරි රැකියාවට යොමු වී සිටියේය.

ඔහු ඒ් වන විට කොළඹට පැමිණ ගතවී තිබුණේ කෙටි කාලයකි. සිය ගම් පළාතට ආසන්න දක්ෂ ‘බේකරි බාස්‘ කෙනෙකු වන වේළු මුණගැසීම ජේකුමාර් ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. අනතුරුව දෙදෙනා අතිජාත මිතුරන් බවට පත් වූයේ එක බත්පත බෙදාගෙන කමිනි. එසේම එකෙක් කිසියම් ගැටලුවකට රැකියාවෙන් ඉවත් වුවහොත් දෙදෙනාම එම ස්ථානයෙන් ඉවත්ව යන්නේ මිතුරු බැඳීම කියා පාමිනි.

ජේකුමාර් ඝාතනය වන්නට මාස අටකට පමණ පෙරදී වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ ඉසුරු බේකරියේ රැකියාවට ගියේය. බේකරි හිමිකරු වූයේ ඉසුරු සම්පත්ය. ජේකුමාර් එම බේකරියේ ඉතාම හොඳින් රැකියාව කරමින් සිටියේය. ඔහු බේකරියේ හිමිකරුගේ හිත දිනාගත් සේවකයෙක් විය. ඒ අතරේ ජේකුමාර්ගේ මිතුරා වේළුද වෙනත් බේකරියක රැකියාව කරමින් සිටියේය. දෙදෙනා නිතර කතාබහ කළේය. දිනක් ජේකුමාර් වේළුට කතා කළේය.

“වේළු... උඹට ඔතන රස්සාව හොඳ නැත්නම් මං වැඩ කරන තැනටම වරෙන්... මං බොසාට කියලා උඹව ගන්නම්... එතකොට අපි දෙන්නට නිතරම සෙට් වෙන්නත් පුළුවන්...“ යැයි ජේකුමාර් කීවේය. අනතුරුව දිනක් ජේකුමාර් සිය බේකරියේ හිමිකරුට වේළු ගැන කීය.

“මහත්තයා වේළු කියලා හොඳ බාස් කෙනෙක් ඉන්නවා. මිනිහාගේ වැඩ නියමයි... අවුරුදු 30ක් විතර කොළඹම බේකරි රස්සාව කරලා තියෙන්නේ... වේළු මගේ හොඳම යාළුවා... අපි දෙන්නත් අවුරුදු 12ක් විතර එකටමයි වැඩ කළේ... බැරිද මහත්තයා... මිනිහටත් මෙතනම රස්සාවක් දෙන්න...“

ජේකුමාර් එලෙස පැවැසීමත් සමඟ බේකරි හිමිකරු ඊට එකඟ වූයේය. ඒ අනුව වේළුටද ජේකුමාර් රැකියාව කළ මීතොටමුල්ලේ ඉසුරු බේකරියේ ‘බාස් රස්සාව‘ හිමි විය. ඒ 2022 වසරේ ජනවාරි මාසයේදීය. කුළුපග දෙමිතුරෝ ඉතාම සතුටින් සහයෝගයෙන් රැකියාව කරමින් සිටියෝය. දෙදෙනාගේ සේවය ගැන බේකරි හිමිකරුද මහත් තෘප්තියකින් පසු විය. මාස හතරක පමණ කාලයක් ගත විය.

කොරෝනාව සහ ආර්ථික අර්බුදයත් සමඟ බේකරියේ ‘වැඩ‘ අඩු වෙමින් තිබිණි. එසේම වේළුගේ සේවය අනර්ඝ හෙයින් ජේකුමාර්ට යම් යම් ප්‍රශ්න මතු වෙමින් තිබිණි. දිනක් ජේකුමාර් බේකරි හිමිකරු මුණ ගැසිණි.

“බොස්... මං මෙතනින් අයින් වෙලා යනවා... නැත්නම් වේළුව රස්සාවෙන් අයින් කරන්න ඕන...“

එක්වරම ජේකුමාර් පවසන්නේ කුමක්ද යන්න නොවැටහුණු බේකරි හිමිකරු උභතෝකෝටික ගැටලුවකට මුහුණ පෑවේය. ජේකුමාර් පැරැණි සේවකයාය. වේළු දක්ෂ බාස් කෙනෙකි. අනතුරුව ජේකුමාර්ගේ පෙරැත්තය නිසාම වේළු රැකියාවෙන් ඉවත් කරන්නට බේකරි හිමිකරු තීරණය කළේය. 2022 වසරේ අප්‍රේල් අවුරුදු නිවාඩුවට සේවකයන්ට නිවාඩු දෙන දිනය උදා විය.

“වේළු මෙන්න පඩි සල්ලි ඔක්කොම මෙතන තියෙනවා... ඔයා අවුරුද්දෙන් පස්සේ මෙහේ රස්සාවට එන්න ඕන නෑ...“ යැයි බේකරි හිමිකරු එසේ පවසමින් ජේකුමාර්ගේ බසට අවනත වෙමින් වේළු රැකියාවෙන් ඉවත් කළේය. සිය ස්වාමියාගේ එම ප්‍රකාශයත් සමඟ වේළු අන්ද මන්ද වූයේ හිටිහැටියේම තම ස්වාමියා ගත් තීරණය කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකිවය. කෙසේ හෝ අලුත් අවුරුද්ද අවසන් වූ සැණින් එනම් අප්‍රේල් 17 වැනිදා වේළු නැවත ඉසුරු බේකරියේ රැකියාවට පැමිණියේය.

එදින හිමිකරු කීවේ දින කීපයකින් පිළිතුරක් දෙන තෙක් රැකියාවට නොපැමිණියාට කම් නැතැයි කියාය. ඔය අතර වේළු පැමිණ ගිය දිනට දින දෙකකට පමණ පසු ජේකුමාර් ඉසුරු බේකරියේ රැකියාවට පැමිණියේය.

දිනය අප්‍රේල් 22 වැනිදා දහවල් කාලයයි. එදින නැවත වේළු ඉසුරු බේකරියට පැමිණ හිමිකරු මුණ ගැසිණි.

“වේළු... මං උඹව රස්සාවෙන් අයින් කරන්න නෙවෙයි හිටියේ... ඒත් ජේකුමාර් ඔයාව රස්සාවට ගන්න එපා කිව්වා... මෙතන දැන් වැඩත් අඩුයිනේ... මට පරණ ගෝලයා ජේකුමාර් අයින් කරන්නත් බෑනේ... ඒක නිසා මට තමන් අයින් කරන්න සිද්ධ වෙනවාමයි...“ යැයි බේකරි හිමිකරු ඉසුරු, වේළුට කීවේය.

ඒ වන විට ජේකුමාර් බේකරියේ ‘වැඩ‘ කරමින් සිටියේය. වේළුට යකා ආරූඪ වන්නේ ඒ මොහොතේදීය.

“ඒයි... ජේකුමාර් උඹ යාළුවෙක් නෙවෙයි සතෙක්... උඹ එහෙනම් මගේ රස්සාව නැති කළානේ... හැබැයි උඹ බලා ගනින්... මං උඹටත් ඔය රස්සාව කරන්න දෙන්නෙ නෑ... උඹව මරනවා මරනවාමයි... ඒකෙ දෙකක් නෑ...“ වේළු මරාවේශයෙන් එසේ පවසන ආකාරය බේකරියේ සහායක සේවකයකු වන සුනිල්ටද ඇසිණි.

එසේ පැවසූ වේළු බේකරියෙන් පිටවී ගියේය. ඔහු එදින රාත්‍රියේ මත් වතුර උගුරක්ද තොල ගෑවේය. රාත්‍රී කාලයේ ඉසුරු බේකරියේ තාප්පයේ කැඩුණු ස්ථානයකින් හොර රහසේ බේකරියට ඇතුළු වූ වේළු වැසිකිළිය අසලට වී බේකරියේ වැඩ කරන ජේකුමාර් ගැන ඇස ගසාගෙන සිටියේය. රාත්‍රියේ ජේකුමාර් සහ සුනිල් බේකරියේ පාන්, බනිස් සාදමින් සිටියෝය. පසුදා අලුයම 1ට පමණ පාන්, බනිස් පෝරණුවට දැමු ජේකුමාර් තේ කෝප්පයක් සමඟ පාන් පෙත්තක් රැගෙනවිත් පෝරණුව ආසන්නයේ පුටුවක වාඩි වන්නට සැදුවා පමණී. ඒ අසලම සුනිල්ද පුටුවක වාඩිවී සිටියේය.

එක්වරම පිහියක්ද අතැතිව බේකරිය ඇතුළට දිව ආවේ වේළුය. ඒ සමඟම සුනිල් විලාප තියන්නට වූයේ ‘අන්න වේළු එනවා‘ යැයි කියමිනි. ඒ වන විට සියල්ල ප්‍රමාද වැඩිය. තේ කෝප්පය සහ පාන් පෙත්ත අතැතිව සිටි ජේකුමාර් අසලට පිහියක් අතැතිව දිව ආ වේළු ජේකුමාර්ගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ගෙල ප්‍රදේශයට පිහි පහර කීපයක් ඇන්නේ හිත්පිත් නැත්තෙකු විලසිනි.

ඒ සමඟම අසල සිටි සුනිල් පැන දිව්වේ ඔහුගේ ජීවිතයට තිබූ ආසාව නිසාය. එසැණින් වේළුද පළා ගියේය. අනතුරුව සුනිල්ගේ විලාපයත් සමඟ රැස්වූ පිරිස 1990 සුවසැරිය අමතා පිහි පහරෙන් තුවාල ලබා වැටී සිටි ජේකුමාර් රෝහල්ගත කළත් ඔහු ඒ වන විටත් අවසන් ගමන් ගොස් සිටියේය.

පිහියද රැගෙන දිව ගිය වේළු නතර වූයේ ඔහු ඊට පෙර රැකියාව කළ වැල්ලම්පිටියේ, වෙන්න වත්තේ බේකරියක් වෙත ගොසිනි.

“සර්... මං ඒ බේකරියේ තිබුණ ටොයිලට් වළට පිහිය විසි කළා... පස්සෙ මම එතැනදීම ඇඳගෙන හිටිය ෂර්ට් එක විසි කරලා... ඇඟපත සෝදගෙන වෙන ඇඳුමක් ඇඳගත්තා... ඒ බේකරියේ බොසා මට රුපියල් නවදාස් ගාණක් දෙන්න තිබුණා. මං ඒ වෙලාවේ ඒ සල්ලි ඉල්ලුවා... එයා මට රුපියල් දහදාහක්ම දුන්නා... මං ඒකත් අරන් පැනලා ගියා...“ වේළු එසේ පැවැසීය.

“තමුන් එතැනින් කොහේද ගියේ...?“ විමර්ශන නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“මං ගමට ගියා සර්...“ වේළු එසේ කීවද විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තේ ඔහු කොළඹ ප්‍රදේශයේම තැනින් තැන බේකරි රස්සාව කරමින් සිට ඇති බවය.

අනතුරුව වේළුගේ පාපෝච්චාරණයට අනුව ඔහු අත්අඩංගුවට ගත් දින එනම් පසුගිය 19 වැනිදා ජේකුමාර්ට අනින ලද පිහියද පොලිසිය සොයා ගත්තේය. වේළු කී වැසිකිළි වළේ තිබී පිහිය සොයා ගත්තේ විමර්ශන නිලධාරින් විසින් කොළොන්නාව නගර සභාවේ ‘ගලි බවුසරයක්‘ ගෙන්වා ඒ තුළට කම්කරුවකු බස්සවා සිදුකළ සෝදිසියකින් පසුවය.

වේළු එම පිහිය ජේකුමාර් ඝාතනයටම මිලට ගත් එකක් බව විමර්ශනයේදී හෙළි විය. එහෙත් වේළු පාපෝච්චාරණය කර තිබුණේ එම පිහිය ජේකුමාර් රැකියාව කළ ඉසුරු බේකරිය ඇතුළේ තිබී සොයාගත් බවට බේගලයකි. එසේම ඔහු පවසා ඇත්තේ ජේකුමාර් සමඟ ගුටිබැට හුවමාරුවක් වූ බවත් ඒ මොහොතේ අසල තිබූ පාන් කපන පිහිය ගෙන ජේකුමාර්ගේ ගෙල ප්‍රදේශයට ඇන්න බවට අලි බොරුවකි.

වැළලෙන්නට ගිය මිනිස් ඝාතනයක සුලමුල අනාවරණය කරගනිමින් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකදී මෙසේ අත්අඩංගුවට පත් වේළු වැල්ලම්පිටිය පොලිසියට බාර දීමෙන් පසු ඉකුත් දා කොළඹ, අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

මෙලෙසින්ම මහත් ආන්දෝලනයක් ගෙන දුන් වසර 31කට පෙරදී මොරටුවේදී ඝාතනය වූ පියා සහ පුතු ඝාතනයේ සැකකරුවන්ද දීර්ඝ විමර්ශනයකින් පසු ඉකුත් සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ ඇතුළු කණ්ඩායම විසිනි. එම නිසා අතිදක්ෂ විමර්ශන නිලධාරින්ගෙන් කිසිදාක අපරාධකාරයන්ට වසන් වී සිටිය නොහැකි බව මෙවැනි වැළලෙන්නට ගිය අපරාධ සිද්ධිවලින් ගම්‍ය වෙයි.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි චන්දන ගමගේ සහ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ අධීක්ෂණයෙන්, ඒකක 1 භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්. මුණසිංහ, සැරයන්වරුන් වන 51087 හේරත්, 61247 ලංකා, 71647 තුෂාර, කොස්තාපල්වරුන් වන 76495 ක්‍රිෂාන්ත, 104727 රණසිංහ, 104888 පිගේරා සහ කොස්තාපල් රියැදුරු 181180 තිලකසිරි යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.

ඡායාරූප - බණ්ඩාරගම බිමල් ජයසිංහ

Comments