ඉත්තෑපානේ කරුණාවතීගේ මරණයට හේතුව තවමත් අබිරහසක් | සිළුමිණ

ඉත්තෑපානේ කරුණාවතීගේ මරණයට හේතුව තවමත් අබිරහසක්

 

“අනේ ළමයො අවුරුදු අසු දෙකක් වෙනකං මං මේකෙ හිටියෙ නැද්ද? මේ ගමේ කවුද බං මාව මරන්නෙ. උඹ බය නැතුව හිටපං...“

'කරුණාවති මාතාව' ජයසේන පුතුට එසේ පැවසුවේ ඔහු සමඟ යතුරුපැදියේ නැගී යගිරල තම නිවෙසට පැමිණි පසුවය.

“එහෙනං අම්ම පරිස්සමෙන් ඉන්න...“

මව තනිවම එම නිවෙසේ විසීම ගැන පුතුට තිබුණේ තරමක කනස්සල්ලක් වුවත් ඒ බව නොපෙන්වා ඔහු ආපසු හැරුණේ මවගේ ප්‍රවේශම ගැන සිත වෙලා ගත් දහසක් සිතුවිලි අතර සැරිසරමිනි.

හතළිස් නම හැවිරිදි ජයසේන කරුණාවතීගේ බාලම පුතාය. වසර හතළිස් පහකට පමණ පෙර ඇගේ සැමියා ආරියසේන මියගිය පසු දරු තිදෙනා රැක බලාගෙන ඔවුන්ට දිරියක් වෙමින් කටයුතු කළේ කරුණාවති මවය. වැඩිමහල් අක්කා යාපනේ ප්‍රදේශයේත් දෙවැනි අයියා බදුල්ල ප්‍රදේශයේත් පදිංචි වූ අතර ජයසේන විවාහ වී ජීවත් වූවේ බිරියගේ ගම වන උඩුගම, බටේගොඩ කන්ද, ගොරකදූව, යගිරල ප්‍රදේශයේය. දරුවන් විසිර ගිය පසු මහගෙදර බිත්ති හතරට මව කොටු වූවේ ඒ ලෙසය.

“අනේ අම්මෙ, අම්මා තනියම ඔය ගෙදර ඉන්න ඕන නෑ. අපේ ගෙදරත් ඉඩ තියෙනවනෙ...“

ජයසේන නිතරම මවට ඇවිටිලි කළේ තමන් ළඟට පැමිණෙන ලෙසය. එහෙත් කිසි දිනක මව තම අදහස අත් හැරීමට සුදානම් වුවේ නැත.

“මට නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න ඕනෑ. ඔහේ ආවොත් ළමයින්ගෙ කරදරේනෙ බං...“

එලෙස පවසා දිනුම ලබා ගැනීමට ඇයට හැකි විය. ප්‍රියමනාප සිරුරකට උරුමකම් කී කරුණාවති මාතාව පිං දහම් කරමින් බණ භාවනාවල නියැළෙමින් ගත කළේ කිසිවෙකුටත් හිරිහැරයක් කරදරයක් නොමැති ජීවිතයකි.

ජයසේන රැකියාව කළේ අග නගරයේ බැවින් ඉත්තෑපාන පොලිස් බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගොරකදූව ගම්මානයේ සිට ඔහුට උදේ හවස රැකියාවට යාම ඒම කළ නොහැකිය. ඔහු කොළඹ නැවතීමට තීරණය කළේ එහෙයිනි. මව පදිංචිව සිටියේ ජයසේන පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් තුනහමාරක පමණ දුරකිනි. සිකුරාදා දිනට ගමට එන ජයසේන මවට අවශ්‍ය සියලු කළමනා රැගෙන ඇය බැලිමට යාම සිරිතය.

පසුගිය මාසයේ අවසාන සතියේ ඉරු දිනයේද කරුණාවතී මාතාව සිටියේ පුතුගේ දරුවන් සමඟ එම නිවෙසේය. හැන්දැවේ ආපසු යාමට ජයසේන පුතුගේ යතුරුපැදියට ඇය ගොඩ වූවේ මේ යන්නේ තම ජීවිතයේ අවසාන මොහොතට ළඟා වීමට බව නොදැනය. කිසිම බියක් සැකක් නොමැතිව යතුරුපැදියේ පිටුපස වාඩි වී නොයෙක් දේ කතා කරමින් ගිය ඇය ඉන් පසුව ජයසේනට දැක ගැනීමට ලැබුණේ ප්‍රාණය නිරුද්ධව වීම කාගේත් කුතුහලයට තුඩු දෙන කරුණක්ම විය.

එදින ජයසේන සිටියේ තරමක උණ ගතියකින් වීම නිසා රාත්‍රියේ දුරකතන ඇමතුමක් ගත් මව විමසා සිටියේ ඔහුට සනීපදැයි කියාය.

එහෙත් පසු දින ජයසේන ඇයට කතා නොකළේ උණ ගතිය තරමක් වැඩි වී තිබු නිසාය. මවගෙන්ද ඇමතුමක් නොමැති වුවත් ඒ ගැන සිතීම ඔහුට මඟහැරී ගියේ තිබු අසනීප තත්ත්වය හේතුවෙනි. ඊටත් පසුදින රැකියාවට කොළඹ පැමිණි ඔහු කලබල වූවේ මවට ඇමතුම් තිහ හතළිහක් ගත්තද ඇගෙන් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණ තැනය. ජයසේන අසල්වැසි කාන්තාවකට අමතා පවසන්නේ මව ගැන ටිකක් සොයා බලන ලෙසය. ඇගෙන් ලැබෙන තොරතුරෙන් ඔහුගේ සිහි විකල්ව ගියේ එය කිසිසේත්ම ඇසීමට බලාපොරොත්තු වූ පිළිතුර නොවන බැවිනි.

බටේගොඩ කන්ද, ගොරකදූව, යගිරල ලිපිනයේ පදිංචි හේවගේ ඉනෝකා කුමාරි පසුගිය දෙවැනිදා පෙරවරු 7. 45 ට පමණ ඉත්තෑපාන පොලිසියට දුවගෙන එන්නේ පැමිණිල්ලක් සිදු කිරීම සඳහාය. ඒ තම සැමියාගේ මව වන නාකන්දලගේ කරුණාවති නැමති අසු දෙහැවිරිදි මවගේ මරණය සම්බන්ධයෙනි. පොලිසිය මෙම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවය.

ඉත්තෑපාන, අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් දොළහක් පමණ දුර ගෙවාගෙන යගිරල රක්ෂිත වනාන්තරය හරහා කන්දක පිහිටි නිවෙස වෙත පොලිසිය ළඟා වුයේ ඒ අනුවය.

නිවෙසේදි සිදුවූ වියපත් මවගේ මරණය සම්බන්ධයෙන් වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති කැඳවන අතර මෘත ශරිරය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහාය. අධිකරණ වෛද්‍යවරයා මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙන අතර ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමටද කටයුතු කර තිබෙන්නේ ඇගේ මරණයට නිශ්චිත හේතුව කුමක්දැයි පැහැදිලි කර ගැනීම සඳහාය. පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු කිරීමටද කටයුතු කරන්නේ තවදුරටත් ඇගේ මරණය පිළිබඳ පුළුල් ලෙස විමර්ශන ආරම්භ කරමිනි.

කරුණාවති මවගේ මරණය සම්බන්ධයෙන් ජයසේන පුතු පැවසුවේ මෙවැන්නකි.

“අපේ අම්මා හරි කඩිසරයි. කිසිම ලෙඩක් තිබුණෙ නෑ. පෙනඩෝල් පෙත්තක්වත් ගත්තෙ නෑ. තමන්ගෙ වැඩ තනියම කරගෙන හිටියා. අවුරුදු අසු දෙකක් වුණාට ඒ හැටි වයසක් පේන්නෙ නෑ. අම්මා පිනට දහමට හරි කැමතියි. අපේ ගෙදර ඇවිත් නවතින්න කිව්වට කැමති වු‍ණේ නෑ. ළමයි ඉන්න හින්ද හිත නිදහසේ පිරිත් කියල ආගමික වැඩ කරන්න බෑ කියල ගෙදරම ඉන්න ඕනෑ කිව්වා. ඉරිදත් අපේ ගෙදර ඇවිත් දවල් මං බයිසිකලෙන් ගෙදර එක්කගෙන ගියා. අම්මා අහලපහල කිසි ගෙදරකින් තේ එකක්වත් බොන්නෙ නෑ. කාටවත් කරදරයක් කරන්න කැමති නැති නිසා.

අම්මා බල්ලෙක් හදනවා. ඌ ගෙට දාල වහලයි ආවේ. ඇඳ උඩ චූ කරල ඇති. සේරම හෝදල හෙට අව්වට දාන්න ඕනෑ කියලත් යන ගමන් කිව්වා. අම්මට මං ෆෝන් එකක් ගෙනත් දුන්නා. නොම්මර පොතක ලියාගෙන ඒකෙන් බල බල අක්කලට එහෙම කතා කරනවා. ඒ වුණාට මගෙ නොම්මරේ නම් කට පාඩම්. පොත නොබැලුවට මට කතා කරන්න පුළුවන්. එදා රෑත් කෑවද බිව්වද සනීපද පුතේ කියල රෑ අටහමාරට විතර කතා කළා.

පහුවදා උණ නිසා මම කතා කළෙත් නෑ... එයා කතා කළෙත් නෑ. අඟහරුවාද මම වැඩට ගියා කොළඹ. දවසම කෝල් ගත්තා අම්මගෙන් නෑ කිසිම උත්තරයක්. ඒ ගමන තමයි ළඟ ගෙදරක නැන්ද කෙනෙකුට කිව්වෙ පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. දොර ටිකක් බාගෙට වගේ ඇරිල තිබුණලු. අම්මා කතා කරන්නෙ නෑ කියල ඒ නැන්ද කිව්වා. අම්මා නැති වෙලා කියල ඇහුවම මට හිතාගන්න බැරි වුණා. මං යනකොට පොලිසියත් ඇවිල්ල හිටියා. අම්මගෙ කරේ තිබුණා පොඩි මාලයක්. ඒකයි කනේ තිබුණ කරාබු දෙකයි තිබුණෙ නෑ. පොලිසිය හොඳට බලන්න කිව්වම මං ටෝච් එක ගහලත් බැලුවා. මං ඒ බව පොලිසියට කිව්වා. වෙන කිසිම දෙයක් අඩු නෑ. පර්ස් එකේ සල්ලිත් තිබුණා.

කරුණාවති මාතාවගේ අබිරහස් මරණය ඝාතනයක්ද එසේ නැතිනම් වෙනත් හේතුවක්දැයි නිශ්චිතවම දැනගත හැකි වන්නේ රස පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුවය.

ඉත්තෑපාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරේෂ් තරංග මාවතගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු නිලධාරින් මෙහි විමර්ශන කටයුතු සිදු කරන අතර කොස්තාපල් 1852 රාජපක්ෂ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු සිදු කළේය.

 

Comments