කොණ්ඩෙයි රැවුලයි කපන්න කියූ නිසා පුතුන් දෙදෙනා මවටයි - පියාටයි බිම දාගෙන ගහලා | සිළුමිණ

කොණ්ඩෙයි රැවුලයි කපන්න කියූ නිසා පුතුන් දෙදෙනා මවටයි - පියාටයි බිම දාගෙන ගහලා

 

දෙදෙනාම රෝහලේ

 පුතුන් දෙදෙනා පලා ගිහින්

අපට ගැහුව ‘දරුවන් දෙදෙනා හිරේ දාන්න එපා‘ පියා පොලිසියෙන් ඉල්ලයි

 

මව්පියන්ට දරුවෙකු තරම් වටිනා වෙනත් වස්තුවක් මේ මිහිපිට නැත. පවුලකට කුලුඳුලේ ලැබෙන දරුවා එම පවුලේ සෞභාග්‍යය උදාකරන බවට පවතින මතය තවත් වැඩි වන්නේ එම කුලුඳුල් දරුවා පිරිමි ළමයෙකු වීම සුවිශේෂි නිසාය.

පවුලේ වැඩිමලා පිරිමි දරුවෙකු වීමෙන් එම පවුලේ වගකීම බාර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් ලැබෙන අතර එය පියාටද යෝධ ශක්තියක් වනු නොඅනුමානය. එසේ තිබියදී දෙවැනි දරුවාද පිරිමි දරුවෙකු වීම පවුලේ ශක්තිය තවත් වැඩි වනු ඇත.

එවැනි තත්ත්වයක් තුළ මව්පියන් උත්සාහ කරන්නේ තම දරුවන් රටට සමාජයට මෙන්ම තම පවුලට ශක්තියක් සහ වටිනාකමක් ඇති අය බවට පත්කිරීමටය. තම දරුවන්ගෙන් මව්පියන් එසේ බලාපොරොත්තු වන්නේ තමන්ට බැරි වූ දිනක අවසන් මොහොත දක්වා තමන් රැක බලාගැනීමයි.

එවැනි බලාපොරොත්තු රැසක් සිතේ සඟවාගෙන සිටින මව්පියන් කිසිම විටෙක තම දරුවන්ගෙන් හිරිහැර දුක් ගැහැට විඳීමට තුන් සිතකින්වත් බලාපොරොත්තු නොවේ.

එවැනි තත්ත්වයක් තුළ පසුගිය දිනක වැලිපැන්න පොලිසියෙන් වාර්තා වුයේ අනූවේදනීය සිදුවීමකි.

පසුගිය ජුලි මස 26 වන දින වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වාගේ නිල ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකි. ඊට පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයාට ඇසුණේ දුරකථනයෙන් තමා අමතන පුද්ගලයා භීතියකින් සහ දැඩි දුකකින් කතා කරන බවය.

“අනේ සර්! මම ඉඳිගස්තුඩුවෙන් කතා කරන්නේ. අපේ පුතාලා දෙන්නා මටයි මගේ නෝනටයි බිම දාගෙන හොඳටම ගැහුවා. අපිට හොඳටම තුවාල වෙලා ඉන්නේ. අනේ අපිට උදව් කරන්න කියා“ය.

ඒ වනවිට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ රාජකාරියට පොලිස් නිලධාරීන් සමඟ ජීප් රථය යවා ඇති නිසා 1990 සුවසැරිය ගිලන්රථ සේවයට කතාකොට එම ස්ථානයට යවා එම මව්පියන් නාගොඩ මහ රෝහලට යැවීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ අවස්ථාවේ හැටියට කළ යුතු හොඳම දේ එය වන නිසාය.

මෙම පණිවිඩයෙන් ‘සංවේදී‘ වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා පසුදින උදැසන තවත් නිලධාරියෙකු සමග නාගොඩ රෝහලට ගියේ මෙම සිදුවීමේ සැබෑ තතු දැනගැනීමට සහ පැමිණිල්ල සටහන් කරගැනීමටයි.

එහිදී ගිලන් ඇඳේ සිට හඬා වැළපෙමින් එම අසරණ පියා පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේ මෙවැනි කතාවකි.

“සර් මගේ වයස අවුරුදු 50 යි. මගේ නෝනගේ වයස අවුරුදු 47 යි. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 21 යි. පොඩි පුතාට අවුරුදු 17 යි. මම මේ දරුවෝ දෙන්නා හදාගත්තේ කුලී වැඩ කරලා. ඒ දෙන්නා ඇවිදින්න යන්න... රස්තියාදු ගහන්න පුරුදු වලා ඉන්නේ. රස්සාවක් කරන්නෙත් නැහැ. අදටත් එයාලගේ වියදම් දරන්නේ මම.

දැන් ටික කාලෙක ඉඳලා පුතාලා දෙන්නා අරක්කු බොන්න පුරුදු වෙලා. හවසට ගෙදර එන්නෙත් බීලා. පොඩි පුතා මේ දවස්වල ඉන්නේ රැවුලයි කොණ්ඩෙයි වවාගෙන. එහෙම ඉන්නකොට මට දරුවාගේ මුහුණ බලන්න දුකයි. ඒ නිසා මම පොඩි පුතා අතට රුපියල් 1000 ක් දීලා කිව්වා පුතේ මේ සල්ලිවලින් රැවුලයි කොණ්ඩෙයි කපාගෙන එන්න කියලා.

රුපියල් 1000ත් අරගෙන ගෙදරින් පිටවුණු පුතාලා දෙන්නා සවස ගෙදර ආවේ හොඳටම බීගෙන. රැවුලවත් කොන්ඩේවත් කපලා තිබුණේ නැහැ. මම ඇහුවා ‘ඇයි පොඩි පුතේ මම දීපු සල්ලිවලින් කොන්ඩෙයි රැවුලයි කැපුවේ නැත්තේ‘ කියලා. මමයි නෝනයි එයාලට අවවාද කරන්න ගියාම පුතාලා දෙන්නා මටයි නෝනටයි හොඳටම බැන්නා.

ඊට පස්සේ සර් අපේ පුතාලා දෙන්නා මට හොඳටම ගැහුවා. එයාලා ගහනකොට මාව බිම වැටුණා. එතකොට මගේ නෝනා එතනට ඇවිත් කිව්වා අනේ දරුවෝ තාත්තට ගහන්න එපා කියලා. එයාල දෙන්නා මගේ නෝනට (එයාලගේ අම්මා) හොඳටම ගැහුවා සර්. අනේ සර් මගේ නෝනගේ බඩේ ගෙඩියක් හැදිලා ඉන්නේ. ඒක පිළිකාවක් කියලයි කියන්නේ. ඒක නිසා එයා නිතරම බඩේ වේදනාවෙන් ඉන්නේ. ඒක ඔපරේෂන් කරන්න ඉන්නේ.

සර් අපි කෑගහද්දී අම්මවයි මාවයි අපේ පුතාලා දෙන්නා බිම දිගේ ඇදගෙන ගිහින් ගෙයින් එළියට දැම්මා. මම වැඳලා කිව්වා ‘අනේ මට ගැහුවට කමක් නැහැ... පුතේ අසනීපෙන් ඉන්න අම්මට ගහන්න එපා‘ කියලා. මම එහෙම කිව්වම අපේ පුතාලා දෙන්නා මාව මිදුලේ ඇදගෙන ගිහින් මිදුලේ තියෙන ගලක මගේ ඔළුව ගැහුවා. මගේ ඔළුව හිරිවැටිලා ලේ ගලනවා මට තේරුණා. පුතාලා දෙන්නා අපි දෙන්නව මිදුලේ දාලා කොහෙද ගියා.

මම මගේ අමාරුව බලන්නේ නැතිව නෝනව බලනකොට එයා මිදුල මැද බඩ අල්ලාගෙන වේදනාවෙන් කෑ ගහනවා. මේක පවුලේ ප්‍රශ්නයක් නිසාද කොහෙද වටපිට කවුරුත් ආවේ නැහැ. පස්සෙ මම වේදනාව ඉවසගෙන ගෙට ගිහින් මගේ ෆෝන් එකෙන් සර්ට කතාකරලා උදව් ඉල්ලුවේ.

ටික වෙලාවකින් එම්බියුලන්ස් එකක් ඇවිත් අපි දෙන්නව නාගොඩ රෝහලට අරගෙන ආවා. මගේ ඔළුව පැලිලා ගලේ ගහපු පාර, බිම දාගෙන ඇදගෙන ගිය නිසා මගෙත් නෝනගෙත් පිට සහ කොන්ද තුවාල වෙලා.“

මෙහිදී මෙම පියාගේ කටඋත්තරය අනුව පහර දීම සහ තුවාල සිදුකිරීමේ වරදට පුතුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසියේ රාජකාරිය වුවත් මෙම පියා විසින් වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වාගෙන් මෙලෙස ඉල්ලීමක් කළේය.

“සර් අනේ අපේ දරුවන්ව අල්ලලා හිරේ දාන්න එපා. එයාල අපිට මොනවා කළත් මේ අම්මයි මමයි එයාල දෙන්නව හැදුවේ ඇස් දෙක වගේ. අපි ගොඩක් උත්සාහ කළා එයාල දෙන්නව රස්සාවකට දාලා යහපත් අය කරන්න. එත් සර් අපිට ඒක කරන්න බැරිවුණා. එයාල ‘නරක සමාජයත්‘ එක්ක එකතුවෙලා විනාශ වෙනවා.

අනේ සර් එයාලට අවවාද කරලා හොඳ මිනිස්සු කරලා දෙන්න. එයාලට පුළුවන්නම් රස්සාවක් හොයලා දෙන්න. අපිට බැලුවේ නැතිවුණාට කමක් නැහැ. එයාලා කොහේහරි හොඳට ඉන්නවනම් අපිට ඒ ඇති. සර්ට වැඳලා කියන්නේ සර්ට බුදු බව ලැබේවි අපේ දරුවෝ දෙන්නා හොඳ මිනිස්සු කරලා දෙන්න සර්.“

මේ පිළිබඳව වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා පැවසුවේ මෙවැනි කතාවකි.

“මෙම සිදුවීම කිසිසේත්ම නොවිය යුතු දෙයක්. ඒ තාත්තා දෙන කටඋත්තරයේම කියනවා පුතාලා දෙන්නට එරෙහිව නීතියෙන් කටයුතු කරන්න එපා කියලා. ඒ නිසා අප මේ වන විට එම තරුණයන් දෙන්නව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගිහින් ඉන්නේ.

ඔවුන් සොයාගෙන අවවාද කර මව්පියන්ගේ ඉල්ලීමට අනුව කුමක් හෝ රැකියාවක් සොයා දීමට උත්සාහ කරනවා. ඒ වගේම නැවත මෙවන් අමානුෂික සිදුවීමක් නොවීමටත්, එම ක්‍රියාවේ අමානුෂික සහ නීතිමය තත්ත්වය ඔවුන් දෙදෙනාට පැහැදිලි කර දීමටත් බලාපොරොත්තු වෙනවා.

Comments