කහවත්තේ මැණික් පතල පතුලේ සැඟවුණු මිණිකැට කඳුළින් තෙමුණේ | සිළුමිණ

කහවත්තේ මැණික් පතල පතුලේ සැඟවුණු මිණිකැට කඳුළින් තෙමුණේ

 

 

මැණික් කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ විදේශීය විනිමය උපයන ප්‍රධාන මාර්ග වලින් එකකි. වසරකට අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයකට වැඩි මැණික් ආදායමක් අප රටේ මැණික් කර්මාන්තය හරහා උපයයි. රත්නපුර කහවත්ත බලංගොඩ ඇහැළියගොඩ කුරුවිට නිවිතිගල මින් ප්‍රධාන තැනක් උසුලන නගරවේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අවම වශයෙන් නීත්‍යානුකූල මැණික් පතල් තුන්දහසක ට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකයි. මින් බලපත්‍ර එකසිය විසිපහක් යාන්ත්‍රික පතල් වන අතර සෙසු ඒවා සම්ප්‍රදායික පතල් වේ. මෙමඟින් සෘජු රැකියා අවස්ථා හතළිස් දහසක් හා වක්‍ර රැකියා අවස්ථා අවම වශයෙන් ලක්ෂයකට අධික වෙයි.

මැණික් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයකි. එහිදී විවිධ අනතුරුවලට මුහුණ දීම් ජීවිත හානි ද අසන්නට ලැබෙයි. මේ වර්ෂයේ බරපතළ මැණික් පතල් අනතුර පසුගිය දා කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ දී සිදුවිය. මෙයින් එක් අයෙකුට ජීවිතය අහිමි විය. තවත් පතල් සේවකයෙකු බරපතළ තුවාල සිදුව තිබේ.

මැණික් වාසනාව සොයා අඩි හතළිහක් පොළොව යටට ගිය පතල් සේවකයෙකු අනතුර හේතුවෙන් ගොඩට ගනු ලැබුවේ එක් පාදයක් පතල් වළ තුළ තිබිය දීය.

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ යාන්ත්‍රික මැණික් පතලය සීල් ෆයිල් ක්‍රමයට පවත්වා ගෙන ගොස් ඇති අතර එහි ගැඹුර අඩි හතළිහකට අධිකය. පතල් කැණීමට භාවිතා කර තිබූ විශාල ප්‍රමාණයේ යකඩ සැකිල්ලත් වල ගැඹුරේ ආරක්ෂාවට යොදා තිබූ යකඩ ප්ලේට් ඇඹරීගෙන පසුගිය විසි හතර වැනිදා දහවල් පතලය කඩා වැටුණි. එම අවස්ථාවේ පතුලේ වැඩ කරමින් සිටි සේවකයින් දෙදෙනෙකු එම යකඩ පතුරු වලට සිරවිය. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා ගේ එක් පාදයක් යකඩ ප්ලේට් අතර සිරවිය.

සිර වූ පතල් සේවකයා මරහඬ දී කෑ ගැසුවේ තමන්ගේ කකුල කපා ⁣ඉක්මනින් ගොඩට ගන්නා ලෙසයි. කර කියා ගත දෙයක් නොවූ හෙයින් අවසානයේ චේන්ෂෝවකින් පාදය කපා ගොඩ ගනු ලැබූ පතල් සේවකයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කෙරිණි. එහෙත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි මට්ටමක නොසිටි බව කහවත්ත මූලික රෝහලේ වෛද්‍යවරු පැවසීය.මෙසේ මියගියේ කහවත්ත උතුරු පනාපිටිය පදිංචි රත්නායක ලියනගේ මුතුකුමාරසිංහ නැමති එක්දරු පියෙකි.

“ නාවලකන්ද ප්‍රදේශයේ පතලයක් කඩා වැටී ඒ තුළ මිනිස්සුන් සිරවී ඇති බවට පසුගිය විසි හතරවැනිදා පස්වරු 2.25 ට ඇන්දාන පොලීසියට දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ සැණින් ම මගේ නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ගියා. ඒ වන විට එක් පුද්ගලයෙකු රෝහලට රැගෙන ගොස් තිබුණා. අනෙක් පුද්ගලයාත් ගොඩට ගැනීම සඳහා පොලීසිය,ගම්වාසීන් හා පතල් සේවක පිරිස දැඩි වෙහෙසක් ගත්තා. පාදයක් අහිමි ව ගොඩ ගත්තේ උතුරු පනාපිටිය වසමේ පදිංචි රත්නායක ලියනගේ මුතුකුමාරසිංහ නැමති 34 හැවිරිදි එක් දරු පියෙකු මියගියා. ඔහුගේ කකුල කැපීම පිළිබඳවත් කරුණු සොයා බැලූ අතර එය ඔහුගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් වන අතර සාපරාධී ක්‍රියාවක් නොවන බවට අනාවරණය වුණා. අනෙක් පතල් සේවකයා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම මැණික් පතලය පුද්ගලික බලපත්‍රයක් සහිතව නීත්‍යනුකූලව පවත්වා ගෙන ගොස් ඇති බවට අදාළ සියලු ලිපි ලේඛන පරීක්ෂාවට ලක් කළා. සේවකයින් නව දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කර ගෙන තිබෙනවා. රත්නපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරී සේනක වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරී lV උදය කුමාරගේ උපදෙස් පරිදි මාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක අනුර පොලිස් සැරයන් 558 විතාන සහ 61055 සුනිල් ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.“ ඒ ඇන්දාන පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිර ප්‍රභාත් සෝමරත්නය.

“ අදාළ භූමියේ පවතින තත්ත්වය මත සාම්ප්‍රදායික පතල් කැණීම් කිරීම අසීරු හෙයින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉංජිනේරුවන්ගේ උපදෙස් මත යාන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් " සීට් ෆයිල් " කැමති ක්‍රමවේදයක් මීට භාවිතා කළා. අදාළ මැණික් ඉඩම ජලය සහ රොන් මඩ සහිත වීම මීට හේතුවයි. නියමිත තාක්ෂණික උපදෙස් මත තලය පවත්වා ගෙන ගිය ද පොළොව ගැඹරේ බාහිරින් ඇතිවූ පීඩන තත්ත්වයක් මත මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

ලංකාවට මැණික් කියන්නෙ විශාල විදේශ විනිමයක් ගෙන දෙන කර්මාන්තයක්. දැනට ලංකාවේ මැණික් පතල් බලපත්‍ර පන්දාහක් පමණ ක්‍රියාත්මකයි. මෙවැනි සීට් ෆයිල් ක්‍රමය ට කරගෙක යන පතල් බලපත්‍ර දෙකක් නිකුත් කර තිබෙනවා. නමුත් දැනට ක්‍රියාත්මක මෙම පතලය පමණයි. මෙම අනතුරින් මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හත්ලක්ෂ පනස්දහසක රක්ෂණ ප්‍රතිලාභයක් ගෙවීමට කටයුතු කරනවා .අනෙක් පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ තත්ත්වය මත මූල්‍ය පරිත්‍යාගයක් ලබා දෙනවා. මෙවැනි අනතුරුදායක පතල් පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉඩම් කැණීම් පරිසර අධ්‍යක්ෂ ජී.ඩබ්.අමරසිරි මහතාගේ අධීක්ෂණය යටතේ ලබා දෙනවා. .“ ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහය.

“ රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් පතල් තුන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා.මේ අතරින් සීට් ෆයිල් ක්‍රමය ට කරන එකම පතලය මෙයයි. ඇත්තටම මැණික් පතල් වල මෙවැනි අනතුරක් සිදු වන්නේ ඉතා ම කලාතුරකින්. “ ඒ ලංකා මැණික් හා පතල් කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් ය.

 “මෙම යාන්ත්‍රික මැණික් පතලය පිහිටා තිබෙන්නෙ මගේ කොට්ඨාසය තුළයි. පතලය ආරම්භ කරන අවධියේ ප්‍රදේශයේ ජනතාවගෙන් කිසියම් විරෝධතාවයක් මතු වුණා. අදාළ පරීක්ෂණ සියල්ල අවසන් කර ලැබුණු වාර්තා අනුව එහි බලපෑමක් නොවන බව අනාවරණය වුණා.“ කහවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිස්ස සමරවීරය.

“ අපි මෙම පතලය නියමානුකූල බලපත්‍ර මත ක්‍රියාත්මක ⁣කරගෙන යනවා. තාක්ෂණික උපදෙස් අනුව ඉකා පළපුරුදු ඉංජිනේරු ආයතනයක් වන FUMIHIKO ආයතනය තමයි ආරක්ෂිතව පතල් කැණීම් සිදු කළේ. මෙම අනතුර සිතාමතා සිදුවූවක් නොවන අතර, ඒ පිළිබඳව අප දැඩි කනගාටුවට පත් වෙනවා. “අනතුර ට පත් මැණික් පතලයේ කළමනාකරු - රුවන් පාලිත පියතිස්සය.

“ මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මිය ගියේ මගේ වැඩිමහල් දරුවා. කොරෝනා වසංගතයෙන් එයා ට රැකියාව අහිමි වුනාට පස්සෙ තමයි පතල් ගියේ. මාස දෙක හමාරක් විතරක් විතර ඒකෙ වැඩ කළේ. අපේ පවුලම නඩත්තු කලේ මියගිය ලොකු පුතා. දැන් එයාගේ එකම දරුවයි බිරිඳයි අම්මයි අන්තයටම අසරණ වුණා.“ ඒ මියගිය මුතුකුමාරසිංහ මහතාගේ පියා වන රත්නායක ලියනගේ පොඩිමහත්මයාය.

ජීවිතය පරදුවට තබා අඩි හතළිහක් ගැඹුර ට බැස කඩා වැටෙමින් තිබූ පතලේ සිරවූවන් ගොඩට ගෙනා උතුරු පනාපිටිය පදිංචි බතලවත්තේ දයාරත්න (43 ) සිය බිහිසුණු අත්දැකීම විස්තර කළේ මෙලෙසයි.

“ මම පතලයට අඩි විස්සක් විතර දුරින් හිටියේ. දර මිටියක් බිම දැම්මා වගේ " චරාස් " කියා සද්දයක් ඇහුණා. කට්ටිය කෑ ගහගෙන කූඹීරැලක් වගේ වලේ ඉඳලා උඩට ආවා. මම ඇවිත් බලද්දි " අනේ දයාරත්න මාමේ මාව බේරගන්න.ඉක්මනින් එන්න. අනේ මාමේ ඉක්මනට මාව උඩට ගන්න" එන්න කියලා මුතුකුමාරසිංහ මරහඬ දී ගෙන කෑගැහුවා. ඒ වෙලාවෙ වළේ වතුරත් පිරෙමින් තිබුණා. මැෂින් තුනකින් වතුර හිස්කළා. ඒ අතර මම වළට බැස්සා. මුතුකුමාරසිංහ පුතා විශාල යකඩ වලට හිරවෙලා කකුල බ්ලේඩ් එකක් තරමට ඇකිලිලා තිබුණේ. මට බයක් දැණුනේ නෑ. ජීවිතයක් බේරගන්න ඕන නිසා මගේ ජීවිතය ගැන හිතුවෙ නෑ. හිරවෙලා හිටිය දෙන්නම බේර ගන්න පැය දෙකක් විතර ගියා.“

මැණික් කොපමණ වටිනාකමක් තිබුණ ද මැණික් සොයා ගැනීම නම් එතරම් පහසු සුන්දර කාර්යක් නොවෙයි. කොතෙක් භයානක වූවත් සිය ජීවිකාව ගෙන යාමේ සටන අත් හැරීමට මිනිස්සු කිසිසේත්ම සූදානමක් නැත.

 

Comments