නවක වදයට තිත තබන ජංගම දුරකතන උපාංගයක් ළඟදීම | සිළුමිණ

නවක වදයට තිත තබන ජංගම දුරකතන උපාංගයක් ළඟදීම

නවක වධය විශ්වවිද්‍යාලවලට අලුත් දෙයක් නොවේ. විටින් විට මේ නවක වධයට විවිධ බලධාරීන් තහංචි දැම්මේ විශ්වවිද්‍යාලවලින් මේ වධය සහමුලින්ම තුරන් කරන්නටය. අමිහිරි අතීතයක් උරුම මේ නවක වධය තවමත් විශ්වවිද්‍යාල තුළ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ නවක සිසුන්ටද අමිහිරි අත්දැකීම් ලබා දෙමිණි. මේ නවක වධය නැත්තටම නැති කරන්නට යළිත් කාලය පැමිණ ඇත්තේය.

මෙවර නවක වධය නැත්තටම නැති කරන්නේ නව තාක්ෂණය ඔස්සේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙන්ම ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව විශ්වවිද්‍යාල නවක වධය තුරන් කිරීමේ අරමුණින් හා විශ්වවිද්‍යාල තුළ සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ අරමුණින් මේ නව වැඩ සටහනට ආරම්භ කර ඇත.

UGC Emergency Safety App මේ නවතම මෙවලමයි. විශ්ව විද්‍යාල සිසුන්ට හා ආචාර්ය මණ්ඩලය ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට පමණක් භාවිතා කළ හැකි පරිදි සකස් කර ඇති මේ නවතම ඇප්එක තම ජංගම දුරකතනයෙන් google play store හෝ apple i store හරහා භාගත හැකි වන්නේය. මේ ඇප්එක භාගත කිරීමෙන් පසුව ලියාපදිංචි විමක් සිදුකරන අතර ලියාපදිංචියේදි ඔහු විශ්වවිද්‍යාල සිසුවෙක්ද, නැතිනම් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ කෙනෙක්ද යන්න නිශ්චය කර ගැනීම සිදුකෙරේ.

යම් සිසුවෙකු විශ්වවිද්‍යාලය තුළදි හෝ ඉන් බාහිර පරිසරයකදි යම්කිසි කරදරයකට පත් වන්නේ නම්, යම් සිසුවකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුගේ කරදරයක් හෝ දුටුවේ නම් හෝ මේ ඇප්එක හරහා සැනෙකින් එම පණිවිඩය අදාළ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට දැනුම් දීමට හැකි වන්නේය. එය නවක වධය දීමක් නැතිනම් සිසුවෙකුගේ අසනීපයක් නැතිනම් යම්කිසි හදිසි කරදරයක් හෝ විය හැකිය. එසේම මේ පණිවිඩ දීම කරදරයට පත්වන පුද්ගලයාටම හෝ වෙනත් අයෙකුට වුවද කළ හැකි වන්නේය.

මේ නවතම ඇප්එක මඟින් පණිවිඩ දැනුම්දීම් දෙයාකාරයකට සිදුකිරීමට පහසුකම් ලබා දී ඇත්තේය. විශ්වවිද්‍යාලය තුළදි සිසුවෙකු නවක වදයෙන් හෝ වෙනත් ආකාරයෙන් කරදරයකට පත්වන්නේ නම් මේ UGC Emergency Safety App හි අඩංගු Emergency නම්වූ බොත්තම තද කළ සැනින් සිසුවා සිටින ස්ථානීය තොරතුර සමඟ අදාළ පණිවිඩය සැනෙකින් පාලනාධිකාරියට යැවෙන්නේය. මෙහි දෙවැනි ක්‍රමය වන Others නම් වූ සේවාව හරහා මේ පණිවිඩය වඩාත් විස්තරාත්මකව යැවීමේ පහසුකම ඇත. යම් සිසුවෙකු නවක වදයට ලක් වන්නේ නම් එය බලා සිටින්නෙකුට ඒ වීඩියෝ පටය හෝ ඡායාරූප හෝ හඬ පටය හෝ කෙටි පණිවිඩය යැවීමට හැකියාව මේ හරහා ලැබෙයි.

මේ සේවාව විශ්වවිද්‍යාල සිසුන්ට හා කාර්ය මණ්ඩලයට නොමිලයේ ලැබෙන සේවාවක් වන අතර මේ වනවිට එහි ආරම්භක පියවර වශයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙයි. ඉදිරියේදී අනිකුත් විශ්වවිද්‍යාලවලටත් මේ ක්‍රමය හඳුන්වා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලාපොරොත්තු වන අතර ජංගම දුරකතනයෙන් නවක වදයට තහංචි වැටෙන කාලය වැඩි ඈතක නොවනු ඇත.

(තොරතුරු - ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

Comments