තැනකින් අතුරුදන්ව තව තැනකට යන්න පුළුවන්ද? | සිළුමිණ

තැනකින් අතුරුදන්ව තව තැනකට යන්න පුළුවන්ද?

ලෝකය ගෝලාකාර වුණාට එහි ඕනෑම කෙළවරක සිටින කෙනෙකුගෙ කටහඬ මේ මොහොතේම අපිට අහන්න පුළුවන්. හොඳයි. අපි හිතමු ලෝකයේ අනික් කෙළවරේ ඉන්න පුද්ගලයකු අපත් සමග කතා කරමින් ඉන්නවා කියලා. අපට ඔහුත් සමග ඇති තරම් කතා කරන්න පුළුවන්. නමුත් අපට එකවරම මෙතැනින් අතුරුදන්ව ගොස් ඒ පුද්ගලයා ළඟට යන්න පුළුවන් ද? වාහනයක නැගිලා අපට අවශ්‍ය තැනට යන්නට පුළුවන්. නමුත් ඒකට බොහොම කාලයක් ගත වෙනවා. උදේට නැගිටලා ඔෆිස් යන්න ඕන කියලා කල්පනා වුණත් මඟදි අහුවෙන ට්‍රැෆික්එක මතක් වෙද්දි නිවාඩු දාන්න හිතෙන්නෙත් මේ අපිට එක්වරම අවශ්‍ය තැනට යන්නට නොහැකි නිසයි.

අපි සීගිරියට යමු. අපේ මතකයන් තුළින් හෝ අඩු තරමේ දැක තිබෙන ඡායාරූප ආදිය අනුව ඒ නම දුටු වහා ඔබට එහි ගියාක් මෙන් දැනෙනවා ඇති. ඉතින් හිතට එතරම් වේගයෙන් ගමන් කරන්නට පුළුවන් නම් මේ කයත් කොහොමහරි තවත් තැනක පහළ කරන්නට පුළුවන් නම්, ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේවත්, තෙල් ගැටලු ලෝකයට බලපාන්නේ වත් නැහැ. හැබැයි ඩ්‍රයිවර් මහත්තුරු නම් මේ අදහසට විරුද්ධ වනවා සිකුරුයි. නමුත් තැපැල් සේවය අභාවයට යවමින් දුරකතනය, අන්තර්ජාලය බිහිවූවාක් මෙන් දිනෙක රථවාහනවලටත් සමුදී, රැකියා විශාල ප්‍රමාණයකට මළගම සලසමින් ටෙලිවිෂන්, ටෙලිෆෝන් වගේ ‘ටෙලිපෝට්’ හෙවත් 'දුරගමනය' නමැති තාක්ෂණයකුත් එන බව ක්වන්ටම් විද්‍යාව පසක් කරලනවා.

නි‍ෙවසේ තිබෙන රූපවාහිනියට ලොව කොහි හෝ සිදුවන දෙයක් එලෙසින්ම අපේ දෑසට යොමු කරවන්නට පුළුවන්. ෆේස්බුක් ලයිව් වීඩියෝවක් මිතුරකු පළ කළාම අපිට සජීවීවම ඔවුන් කරන දේවල් බලන්නට පුළුවන්. ස්කයිප් වැනි වීඩියෝ කෝල් එකකදී ඔවුන්ව දකින අතරේ කතා කරන්නටත් අවස්ථාව ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ කැමරාව විසින් රූපය හඳුනාගෙන එය අංකිත (ඩිජිටල්) කේත බවට පත්කර විදුලි වේගයෙන් අනෙක් පසට යවා එහි තිරය මත නැවතත් එම රූපය ගොඩනැගීමයි. දුරකතනයේ සිදුවන්නේත් මයික්‍රොෆෝනය හරහා කටහඬ යළි ගොඩනැගිය හැකි ආකාරයට පත් කිරීමයි. නමුත් තවමත් ගඳ, සුවඳ වැනි දේ යවන්නට තාක්ෂණයක් ගොඩ නැගී නැතත් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මෙහි මූලධර්මය අනුව, කෙනෙකුව කුටියකට යවා ඔහුව පරිලෝකනය (ස්කෑන්) කර සියලු තත්ත්වයන් හඳුනාගත්තාට පසුව එම දත්ත අනෙක් පසට සංසරණය කරනවා. ඉන්පසු එම දත්ත භාවිතයෙන් එහි ඇති කුටීරය තුළ එම පුද්ගලයාව ගොඩ නගනවා. එතකොට පෙර සිටි කෙනාගේ කොපියක් නොවේ ද අනෙක් කුටීරයේ ගොඩ නැගෙන්නේ? එවිට එකම පුද්ගලයන් දෙදෙනෙක් බිහි වෙනවා ද? මෙහිදී ඇත්තටම අදාළ වස්තුව එලෙසින්ම යැවීමක් නොව, එය ඇති තැන සිට හඳුනාගෙන අනෙක් තැන නැවත ගොඩනැගීමයි සිදුවන්නේ. එනිසායි කැමරාවකින් ගත් ඡායාරූපයක් යවනවාට වඩා දුරගමනය වෙනස් වන්නේ. ඇතැම්විට අතීත බුදුවරුන්, රහතන් වහන්සේලා අනුගමනය කළේත් මෙවන් ක්‍රමවේදයක් විය හැකියි.

ක්වන්ටම් විද්‍යාවේදී අංශුවක ස්ථානය හෙවත් ක්වන්ටම් තත්ත්වය නිර්ණය කරන්නට සාධක තුනක් යොදාගන්නවා. පිහිටීම, ගම්‍යතාව සහ අන්තරස්ථ භ්‍රමණය යනු එම සාධකයි. අංශු දෙකක මේ සාධක සමාන වන විට ඒවා එකිනෙකට සමාන අංශු දෙකක් ලෙස සැලකෙනවා. මේ දත්තයන් එක් භෞතික වස්තුවක ඇති අංශූන්ගෙන් හඳුනාගෙන තවත් ස්ථානයකට එම දත්ත යැවූවිට එම ස්ථානයේදී මේ තත්ත්වයන් නැවත එහි ඇති අංශූන්ට ලබාදීමෙන් එතැන අර පෙර තිබූ වස්තුව නැවත ගොඩනගන්නට පුළුවන්. නමුත් ක්වන්ටම් විද්‍යාවේ අංශු හඳුනාගැනීම්වලදී ගැටලුවකට මුහුණ පානවා. ඒ, කිසියම් අංශුවක ඉහත කී සාධකවලින් පිහිටීම සහ ගම්‍යතාව එකවරම මැනගන්නට නොහැකි වීමයි. එය මෙලෙස පැහැදිලි කරන්නට පුළුවන්. අප හාත්පස ඇති වස්තූන් දකින්නේ එහි ආලෝකයන් ගැටී නැවත ඇසට පරාවර්තනය වීම නිසයි. එවිට එම පරාවර්තන දත්ත අනුව මොළයෙන් එම දත්ත විශ්ලේෂණය කර එය අපට පෙන්වනවා. අංශුවක් පිළිබඳව අධ්‍යයනයේදීත් එය හඳුනාගන්නට නම් එය දෙස බලන්නට සිදු වනවා. ඒ සඳහා ෆෝටෝන යැවූ විට ඒවා අංශුවේ ගැටුණු විට එම අංශුවේ ස්වභාවය ගැන දත්ත අපට ලැබෙනවාත් සමඟ ෆෝටෝනයේ ගැටීම නිසා එහි තත්ත්වය වෙනස් වෙනවා. මේ නිසයි එක් කුටියකට දැමූ කෙනෙකුගේ පිටපතක් නොලැබී ඔහු ගමන් කළාක් මෙන් දිනෙක පෙනෙනු ඇත්තේ. එක් අතකින් එය වාසියක්. නමුත් ලබාගත් තොරතුරු නිරවද්‍ය නොවුණහොත් අනෙක් කෙළවරෙන් අපි බලාපොරොත්තු වූ භාණ්ඩය හෝ පුද්ගලයා නොලැබීමේ ඉඩකඩ බොහොම වැඩියි.

තාක්ෂණයේ ආනගත දියුණුව වෙත එම අඩුපාඩු සැකසීම බාරවන නමුත්, දැනට සාර්ථකව අංශුවක් එක් තැනක සිට තවත් තැනකට යැවීම සොයාගෙන අවසන්. ක්වන්ටම් පරිගණක බිහිකිරීමේදීත් මේ තාක්ෂණය යොදාගෙන අනන්‍යතා තහවුරු කිරීම් කරමින් පරිගණක දත්තවල ආරක්ෂාව තවත් තහවුරු කරන්නට අපට අවස්ථාව සැලසෙනවා. වස්තුවක් හෝ පුද්ගලයකු යවන්නට හැකිතෙක් මෙය ගොඩනැගුණු දිනෙක අන්තර්ජාලයෙන් ඔබ මිලදීගත් භාණ්ඩ තැපෑලෙන් නිවසට එනතෙක් බලාගෙන ඉන්නට වෙන එකක් නැහැ වගේම ඔබේ ප්‍රියතමයින්ට සැණින් ඔබ වෙත පැමිණ නැවත යන්නත් පුළුවන්. දැන් කාලයේ තරුණ පරපුරට දුරකතනය තහනම් වනවාක් වගේ එවන් කාලයක විශේෂයෙන් ගැහැනු ළමයින්ට දුරගමන යන්ත්‍රය ද තහනම් වන බව නම් නිසැකයි.

අදහස්