ළමයි අඬද්දී වධයක් මෙන් දැනෙන්නේ ඇයි? | සිළුමිණ

ළමයි අඬද්දී වධයක් මෙන් දැනෙන්නේ ඇයි?

දැවෙන ප්‍රශ්න 01

පොදු ප්‍රවාහන සේවයේ මෙන්ම විශේෂයෙන් සිනමා ශාලාවල කුඩා දරුවන් සිටිද්දී ඔවුන්ගේ හැඬීම බොහෝ දෙනකු ප්‍රිය කරන දෙයක් නොවෙයි. දෙමවුපියන්ට පවා රාත්‍රියේ නින්දක් නැති වන තරමට දරුවන් හඬද්දී කොතරම් මහන්සියක් දැනුණත් නැඟිට ගොස් ඔවුන් නළවන්නේ ආදරයටත් වඩා මොළය විසින් අපිට ලබාදෙන වෙනස් උත්තේජනයක් නිසායි. ජීවයේ නොනැසී පැවතීමට ප්‍රජනනය අත්‍යවශ්‍යයි වගේම එහි ඵලයන් රැකගැනීමද අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කුඩා දරුවන්ට, බොහෝ සතුන්ගේ කුඩා පැටවුන්ට උච්ඡ හඬකින් යුත් කටහඬක් ලැබෙන අතර, එය ඇසෙන විට බාධාකාරී, පීඩාකාරී බවක් දැනෙන සේ වැඩිහිටි මොළය ගොඩනැගී තිබෙනවා. මේ දෙකෙහි එකතුව නිසා කුඩා දරුවන්ට අවධානය ලැබීම හරහා ජීවයේ පැවැත්ම වඩාත් තහවුරු වෙනවා. ඉතා මියුරු හඬකින් දරුවන් ශබ්ද කරමින් හැඬීම සිදු කළා නම් මවුපියන් නැළවෙමින් නිදාගනු ඇති මිස ඔවුන් ගැන කිසිදු අවධානයක් යොමු වන එකක් නැහැ. කුඩා කාලයේදී හැඟීම් දැනීම් නැති බව සහ දරුවන්ට කිසිවක් නොතේරෙන බවට විශ්වාසයක් තිබුණත් හැඬීම යනු බොහෝ විට දුකටත් වඩා ක්‍රෝධය නිසා හටගන්නක්.

මුල් හැඬීම ඔවුන් සැප සේ විසූ ගර්භාශයෙන් මුදාලීම ගැන ඇති වන තරහවත්, පසුව වඩාත් ප්‍රිය කරන ස්තන ක්ෂීරය තමා වෙත නිතර නොලැබීමත් නිසා ඔවුන් තරහ ප්‍රකාශ කිරීමත් තමයි හැඬීම කියන්නේ.

 

Comments