විදුලි කාර්මික පාඨමාලාවෙන් ජීවිතය දිනන්න | සිළුමිණ

විදුලි කාර්මික පාඨමාලාවෙන් ජීවිතය දිනන්න

තරුණ තරුණියන් වෙනුවෙන් කාර්මික අධ්‍යාපන පුහුණු ආයතන රජය විසින් පවත්වාගෙන යනු ලබන්නේ පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වූ හෝ පාසල් අධ්‍යාපනය හැරගිය තරුණ පිරිස වෙනුවෙනි.

මෙහිදී නොමිලයේ පවත්වනු ලබන පාඨමාලා සංඛ්‍යාව දෙසීයයකට වැඩිය. අද අප අවධානය යොමු කරන විදුලිය සම්බන්ධ ගෘහස්ථ සහ කර්මාන්ත විදුලි කාර්මික පාඨමාලාවන්ද පවත්වන්නේ ඒ ආකාරයෙනි. ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරිමේ අධිකාරිය, ශ්‍රී ලංකාවේ කාර්මික විද්‍යාල, ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, මෙන්ම පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතනවලද මේ පාඨමාලා පවත්වනු ලබන්නේය.

ගෟහස්ත සහ කර්මාන්ත වශ‍යෙන් ‍සමන්විත මේ වෘත්තීය පුහුණුව ඕනෑම නගරයක පවත්වාගෙන යනු ලබන කාර්මික අධ්‍යපන පුහුණු ආයතනයකින් නොමිලයේ ලබා ගතහැකිය. ජාතික නිපුණතා සහතිකයේ තුන්වෙනි මට්ටම හෝ හතරවෙනි මට්ටමත් ඉන් අනතුරුව

හත්වෙනි මට්ටම වන පරිපාලන හෙවත් උපාධි මට්ටමක් දක්වා තම නිපුණතාව ගොඩ නගා ගත හැකිය. වසරකට දෙවරක් සිසුන් බඳවා ගන්නා අතර මාස හයක කාලයක් පුහුණු මධ්‍යස්ථානයකදීත් තවත් මාස හයක් කර්මාන්ත ආයතන ආශ්‍රිතවද පුහුණුව ලබා දේ. කර්මාන්ත ආශ්‍රීතව පුහුණුවේ දී දෛනික දීමනාවක් මාසිකව ලැබෙන්නේය. තරුණ ඔබට එය තවත් වාසියකි.

මෙහිදී විදුලිය පිළිබඳව මුලික න්‍යායන් හැදැරිය යුතු වන්නේය. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට ඇතුළු වූ පසු ඒ පිළිබඳව නැවත නැවත මතක් කර දෙනු ලබන්නේය. ආරක්ෂාකාරි පිළිවෙත් අනුගමනය කරමින් දේශීයව රැකියා මෙන්ම විදේශීය රැකියා අවස්ථාවන් සඳහා පාසල් හැරගිය ඔබට මහඟු අවස්ථාවකි. දේශිය මෙන්ම විදේශිය රටවල රැකියාඅවස්ථාවන් සදහා ජාතික නිපුණතා සහතිකය (National Vocational Qualification - level 4) තිබිය යුතු වන්නේය.

එය අවම වශයෙන් හතරවෙනි මට්ටම වත් විය යුතුය. විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ ‍විදුලි කාර්මික ශිල්පී පුරප්පාඩු ඇත්තේය. විදේශ රටවලටත් එසේමය. මැද‍පෙරදිග මෙන්ම යුරෝපීය රටවලත්, ඕස්ට්‍රෙලියාව නවසීලන්තය වැනි රටවලත් විශාල රැකියා ඉල්ලුමක් පවතී. තරුණයන් මෙන්ම තරුණියන්ටත් මේ පාඨමාලාව විවෘතය.

නාරහේන්පිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා වසන්තා හේරත් මහත්මිය තම පුහුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව පිළිබදව විස්තර ලබා දීමට ඉදිරිපත් වූවාය.

“ විදුලි කාර්මික ශිල්පය වෘත්තීය පුහුණුවක් ලෙස පිළිගැනෙන්නේ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් හෝ ආයතනික අවශ්‍යතාවක් ලෙස සේවා සපයන්නෙකු ලෙසය. මේ වෘත්තියට අදාළව ගෘහස්ථ මෙන්ම කර්මාන්ත ශාලා වෙනුවෙන් රැකියා අවස්ථා විශාල ලෙස පවතිනවා. මේ වෙනුවෙන් ආධුනිකයින් පුහුණු කිරිමේ පුහුණු ආයතන සම්මතයකට අනුකූලව පාඨමාලා පවත්වනවා. ජාත්‍යන්තර මට්ටමක් සහ සම්මතයක් නිසා ජාතික නිපුණතා පාදක පුහුණුව (National Vocational Qualification) මේ පාඨමාලාවටත් වලංගුයි. මේ අනුව විදුලියේ මුලධර්ම එකලා, තෙකලා විදුලිය, රැහැන් වර්ග සහ ඒවා සුදුසු භාවිතය, විදුලි ධාරවන් අනුව උපාංග තෝරාගැනීම සහ සුදුසු බව පරික්ෂා කිරීම විදුලිය ධාරාවන් පරීක්ෂා කරන මෙවලම් ක්‍රියාකාරිත්වය සහ භාවිතාව, ආරක්ෂක ක්‍රමවේද, විදුලි පරිපථ කියවීම, ඒවා සැලසුම් කිරීම, ඉහළ ස්ථානවල වැඩ කිරීම සහ ආරක්ෂක බඳපටි භාවිතය වැනි විශාල පරාසයක් මේ පාඨමාලාවට අඩංගු වනවා. මේ වෘත්තියේ වැදගත්ම දේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට අනුව සේවාවන් සඳහා මිල ගණන් කතා කිරීමට අවශ්‍ය සැලසුම් සැකැස්ම පිළිබඳ අවබෝධයක් ලබා දීමයි.

Comments