රට හද­න­වා ­නම් වෙන මොනවා නැතත් වහින වැස්සම සෑහේ | Page 2 | සිළුමිණ

රට හද­න­වා ­නම් වෙන මොනවා නැතත් වහින වැස්සම සෑහේ

යම් රටක ජීවින්ගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ බිමේ පවතින මිරිදිය සම්පතේ ප්‍රමාණය අනුවය. ගොඩබිම සිටින ජීවින්ට මිරිදිය ලැබෙන එකම මාර්ගය වන්නේ වැස්සය. වැස්ස ස්වාභාවික ක්‍රියාවලියකි. ඒනිසා වැස්ස හොඳින් ලැබෙන මොනයම් හෝ රටක් ඉතාමත් වාසනාවන්ත රටක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ බව අප දැන සිටියේ ඈත අතීතයේ සිටය.

ඈත විශ්වයේ සිට අප නිවසන සෞරග්‍රහ මණ්ඩලය වෙත පැමිණෙන කෙනකුට මහපොළව පෙනෙන්නේ අන් හැම ග්‍රහලෝකයකටම වෙනස් අතිශය චමත්කාර දසුනක් ලෙසය. ඒ දසුන නීල වර්ණය හා මුසු වූ ස්වේත වර්ණයෙන් යුත් ටයිල් ඇතිරූ ගෝලයක් මෙනි. ඊට හේතුව මිහිතලයේ මතුපිට වසා ගෙන ඇති මහා සාගරයේ නීල වර්ණය හා සුදු පැහැති වලාකුළු ය. පෘථිවිය අනෙක් ග්‍රහලෝක අතුරින් වෙනස් වන්නේ එහි අන් කිසි ග්‍රහවස්තුවක නොමැති තරම් ජලයෙන් පිරී පවතින නිසාය. පෘථිවිය මත ජීවයේ ආරම්භය ඇති වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේද ‘ජලය’යි. එනිසා ජීවයේ පැවත්ම රැඳී ඇත්තේ ‘ජලය’ මතය. පෘථිවි ගෝලයේ මතුපිට භූමියෙන් 70%ක් පුරා සාගරය පැතිර තිබුණද ජීවයේ පැවැත්මට අවශ්‍යය ජලය හෙවත් මිරිදිය නම් ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි.

විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා සාගර නිසා, මහ පොළවේ ඇති සුලබම ද්‍රව්‍ය ‘ජලය’ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. නමුත් සාගර පිරි තිබෙන්නේ ලවණ රසයෙන් යුත් කරදියෙනි. එහෙත් අපට අවශ්‍ය මිරිදිය (පානීය ජලය) ලැබෙන්නේ ජල උල්පත් (භූගත ජලය) හා අහස් දිය මඟිනි. මිරිදිය සහ කරදිය එකතු වන ගංඟා මෝය හා කලපු වැනි ස්ථානවල ජලය රෑඳුණද ඒවා කිවුල් රසයෙන් යුක්තය. එනිසා ඒවා ප්‍රයෝජනයට ගැනීම අපහසුය. (තාක්ෂණය යොදාගෙන පාවිච්ච්යට ගත හැකි මට්ටමට පත් කළ හැකිය) මෙනිසා ගොඩබිම ජිවත් වන ජීවින්ට තමන්ට අවශ්‍ය වන මිරිදිය සුලබ සම්පතක් ලෙස සැලකිය හැකි නොවේ. ඊට හේතුව වී ඇත්තේ පෘථිවියේ පවතින මුළු මහත් ජල ප්‍රමාණයෙන් 97.5%ක්ම කරදිය වීමයි. මිරිදිය ඇත්තේ 2.5%ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයකි. ඒ අතරිනුත් වැඩි ප්‍රතිශතයක් උත්තර හා දක්‍ෂිණ ධ‍්‍රැවවල අයිස් ලෙස තැම්පත්ව තිබීමත්, භූගත ජලය ලෙස පැවතීමත් නිසා, අපට භාවිතය සඳහා ලබා ගත හැකිව ඇත්තේ 0.5% තරම් සුළු ප්‍රමාණයකි. එසේ පවතින සුළු ප්‍රමාණයද විධාකාරයෙන් විෂ මිශ්‍ර වීම නිසා භාවිතයට නුසුදුසු තත්ත්වයන්ට පත්ව ඇත. මෙනිසා මේ කුඩා ප්‍රතිශතය වුව අපට මුළුමනින්ම භාවිත කළ නොහැකිය. ඒනිසා ලෝකයේ පවතන මුළු මහත් ජල ප්‍රමාණයෙන් අවසානයේ දී අපට ප්‍රයෝජනයට ගත හැකි පිරිසිදු මිරියදිය පවතින්නේ 0.003%ක් තරම් ඉතා අල්ප ප්‍රමාණයකි. මේ අල්ප වූ මිරිදිය ගොඩ බිමට ලැබෙන එකම මාර්ගය වන්නේඅහස් දිය (වැස්ස) යි. මේ නිසා අද වන විට ලොව පුරා මිරිදිය අතිශය දුර්ළභ වු සම්පතක් බවට පත් ව තිබේ.

ඊට ස්වාභාවික මෙන්ම මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාවන්ද හේතූ වී තිබේ. මිහිතලයේ උණුසු වීම, කෘෂි රසායනික, ස්වාභාවික ජලාශ හා භූගත ජලය කාර්මික අපද්‍රව්‍ය මගින් දූෂණය කිරීම ඒ අතරින් ප්‍රධානය. මීට අමතරව ධනේශ්වර රටවල ඉතා සුළු තරයකගේ සුඛවිහරණයන් වෙනුවෙන් ජල සම්පත විශාල ලෙස යොදා ගැනීමත්, කර්මාන්තවලින් වැඩි ලාභයක් ලබා ගැනීමට පිරිපහදු නොකළ අපද්‍රව්‍ය ස්වාභාවික පරිසරයට මුදා හැරීමට ජලමාර්ග යොදා ගැනීමත් ජල සම්පත වැනසී යාමට හේතුවි තිබේ.

නිදසුනක් ලෙස අද ලොකයේ වැඩිම ජල ප්‍රමාණයක් භාවිත කරන එක්සත් ජනපදයේ ජල භාවිතයෙන් 30%-50% අතර ප්‍රමාණයක් අපතේ යන බව වාර්තාවලින් පෙන්වා දී ඇත. අපට ජල කළමනාකරණය පිළිබඳව උපදෙස් දෙන්නට එන අයගේ තත්ත්වය මෙය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට අද ලොව පුරා ජනතාවගෙන් කෝටි සියයකට වැඩි පිරිසක් දිනපතා මූලික කෘත්‍යයන් සඳහා අවශ්‍ය ජලය නොමැතිකමින් විශාල ලෙස පීඩාවන්ට හා රෝගී තත්ත්වයන්ට ගොදුරු වී සිටිති. මේ නිසා ඔවුන්ට භාවිතාවට ගැනීමට සිදුව ඇත්තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින දූෂිත වූ ජලයයි. දූෂීත ජලය නිසා ඇතිවන රෝගවලින් වාර්ශිකව ලොව පුරා ළමයින් ලක්ෂ 50කට වඩි ප්‍රමාණයක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලංකාව සම්පත් අතින් ඉතා පොහොසත් රටකි. නමුත් යටත් විජිත සමයේදි මෙන්ම නිදහසින් පසු ව ඇති වූ පාලනයන් හමුවේ සිදු කෙරුණු දුර්වල ජල කළමනාකරණය හේතුවෙන් විවිධ ජල ප්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදු විය. (පසුගිය කාලයේ රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක් දරුණු නියඟයකට මුහුණ දුන්නේ මෙනිසාය. මොරගහකන්ද ජලාශය මීට වසර පහකට ප්‍රථම ඉදිකර අවසන් කිරීමට තිබුණද පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ බලපෑම් මත එය නවතා දමා තිබුණි. එසේ නොවූයේ නම් අද අප මුහුණ දී සිටින සහල් හිඟයපවා ඇති නොවේ.) ලෝක ජල අර්බුදය හමුවේ බහු ජාතික කැනහිලූන්ට නම් අපේ ජල සම්පත රස ගොදුරකි. ඒනිසා අද ජල කළමණාකරනය ලෙස වෙස්වලා ගෙන එන මේ ජල රකුසාගේ සැබෑ ස්වරූපය ගැන අපි ඉතා හොඳින් තෙරුම් ගත යුතු වේ. ස්වාභාවිකව ලබාගත හැකි ජලය මිලදී ගැනීමට සිදුවන දිනයක දී අපිට ගොවිතැන හෙවත් ආහාර නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය තීරණය කරන්නේ ඒ සඳහා අතේ ඇති මුදල් ප්‍රමාණයයි. (මෙය දැනටමත් ආරම්භ වී ඇත) බීමට අවැසි ජලය මිල දී ගැනීමට සිදුවන දිනයක අපේ ආයු කාලය තීරණ කරන්නේද අපේ අතේ ඇති මුදල් ප්‍රමාණය වේ. එය අපිට ජීවත් වීමට මෙතෙක් තිබූ ස්වාභාවික අයිතිය උදුරා ගැනිමකි. ජල සම්පත හා බැදි ඇති අපේ ජීවිතවල අවසානයත් එය විය හැකිය. ඒ බව තේරුම් නොගනෙ කටයුතු නොකළහොත් අපිට හෙට දිනයෙදී අහිමි වන්නේ ජල සම්පත පමණක් නොව අපගේ ජීවිතය.

යම් රටක ජීවින්ගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ බිමේ පවතින මිරිදිය සම්පතේ ප්‍රමාණය අනුවය. ගොඩබිම සිටින ජීවින්ට මිරිදිය ලැබෙන එකම මාර්ගය වන්නේ වැස්සය. වැස්ස ස්වාභාවික ක්‍රියාවලියකි. ඒනිසා වැස්ස හොඳින් ලැබෙන මොනයම් හෝ රටක් ඉතාමත් වාසනාවන්ත රටක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ බව අප දැන සිටියේ ඈත අතීතයේ සිටය. පිරිතේ දී පවා රටකට සියලු සෞභාග්‍ය ළඟා වීමට නම්, කලට වැසි ලැබිම හේතු වන බව පැවසේ. ( ‘‘දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හේතුච . . . .’’) එවන් වාසනාවක් ලැබිමට නම් ඒ රට මූලික වශයෙන් ලෝකයේ එක් මෝසම් කලාපයකටවත් අයත්ව පිහිටා තිබිය යුතු වේ. ඒ අතින් අප රට කෙතරම් වසනාවන්තද යත් නිරිතදිග හා ඊසානදිග මෝසම් කලාප දෙකම අපට හිමිව තිබේ. මේ හේතුවෙන් වසරකට දෙවරක්ම මහා වැසි ලැබීමෙන් විශාල මිරිදිය ප්‍රමාණයක් ඒකරාශී කර ගැනීමට අපට හැකිව තිබේ. සාමාන්‍යෙයන් ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2080ක් පමණ වේ. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 750 ක් පමණ වේ. ඒ හා සසඳා බලන විට ලෝකයේ සාමාන්‍ය වර්ෂාපතනය මෙන් තුන් ගුණයක පමණ වර්ෂාපතනයක් අප රටට ලැබේ. ලෝකයේ අනෙකුත් රටවලට අතිශය දුර්ලභ සම්පතක් වු පිරිසුදු ජල සම්පත සොබාදහම් මව විසින් මේ තරම් නොමසුරු ආකාරයෙන් අපට ලැබීම ඇත්තෙන්ම සෞභාග්‍යයකි.

වර්ග කිලෝ මිටර් 65, 610 තරම් වන මේ භූමියට සොබාදහම් මවගේ ආශීර්වාදයෙන් ලැබෙන වාර්ෂික වැසි ජල ප්‍රමාණය ඝන මිටර් දශ ලක්ෂ 1, 30, 000ක් පමණ වේ. ඒ මැයි සිට සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය හා ඔක්තෝබර් සිට ජනවාරි දක්වා පවතින ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය නිසාය.

මීට අමතරව බොංගාල බොක්ක ඉහළ අහසේ නිතර ඇති වන අඩු පීඩන තත්ත්වය නිසාත් සැලකිය යුතු වැසි ප්‍රමාණයක් ලංකාවට ලැබේ. නමුත් අපි පසුගිය කාලයේ දුටුවේ මේ චක්‍රය කිසියම් ආකාරයකට වෙනස් වී ඇති බවයි. ඊට මුලිකවම හේතු වී ඇත්තේ ලෝක පරිමානව හා මෙරට සිදුවන වන සංහාරයයි. මෙනිසා පාරිසරික සමතුළිත තාවය කිසියම් ආකාරයක වෙනසකට බඳුන් වී තිබේ.

එනිසා පායන විට පොළොව ඉරිතළා යන මට්ටමට පෑවිල්ල පවතින අතර වර්ෂාව ඇති වන විට නායයන මට්ටමට අධිකව වර්ෂාව පතිත වේ. කෙසේ හෝ මෙලෙස ලැබෙන අධික වැසි නිසා ගංඟා 103ක් පොෂණය වී ලංකාව මධ්‍යයේ සිට සියලු කෙත්වතු සරුසාර කරමින් ගලා බසිති. ඒ නිසා ලංකාවේ භූමියෙන් 90%ක් වැසී පවතින්නේ මේ ගංඟාවල ද්‍රෝණිවලිනි. 

Comments