තිස්ස රජු මිහි­න්තලේ ගියේ මුව දඩ­ය­ම­ට­මද? | සිළුමිණ

තිස්ස රජු මිහි­න්තලේ ගියේ මුව දඩ­ය­ම­ට­මද?

තිස්ස රජු පොසොන් පෝයදා ජනතාවට දියකෙළි නියම කොට රජු හතළිස් දහසක් පිරිවර රැගෙන මුව දඩයමේ ගිය හැටි මහාවංශයට විස්තර කරයි. සැබැවින් ම දඩ කෙළියට යන රජෙකුට එතරම් පිරිසක් රැගෙන යෑමේ අවශ්‍යතාවක් නැත. පොසොන් පෝය දා මිහින්තලාවේ මිස්සක පබ්බතයට මිහිඳු හිමි හා ධර්මදූත පිරිස පැමිණෙන බව කලින් පණිවිඩ මඟින් දැන සිටි රජු මිහිඳු හිමි පිළිගැනීමට තම පිරිස පිරිවරාගෙන මිහින්තලාවට ගිය ලෙස සිතීම සාධාරණ ය.

අ‍පේ වංශ කතා මිහිඳු මාහිමි පෑතිස් රජු හමුව රජු මිහින්තලයට මුව දඩයමේ ගිය විට සිදුවූ අහඹු සහසිදුවක් ලෙස වාර්තා කරයි. මෙය කොතෙක් දුර සත්‍ය ද යන්න ඓතිහාසික ලෙස විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

ක්‍රි.පූ. තුන්වැනි සියවස දඹදිව ඇති වූ මෞර්ය අධිරාජ්‍යය මුළු දඹදිවම තම ආධිපත්‍යයට යටත් කරගත් අතර කාලිංග රට ඇඳා ගැනීමෙන් එහි බලයේ උපරිමයට පැමිණියේ ධර්මාශෝක රජු කලය. එහෙත් කාලිංග යුද්ධයේදී ඇති වූ ලේ වැගිරිම් සියැසින් දුටු රජු සිත බෙහෙවින් සසල විය. යුද්ධයෙන් රටවල් ජය ගැනීම සමඟ ඇතිවූ රුධිර ගංගා දැක රජුගේ අවුල් වූ සිත සන්සුන් වූයේ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන්ගෙන් බණ අසා බෞද්ධයෙකු වීමෙනි. ඉන්පසු රජු තෙවැනි ධර්ම සංගායනාව පවත්වා එහි මූලිකත්වය මොග්ගලීපුත්තතිස්ස මහ රහත් හිමිට පවරා පිරිසුදු වූ ථේරවාද බුදු දහම රටවල් නවයකට පිටත් කරවීය.

මෙසේ දික්විජය වෙනුවට ධර්මවිජය ප්‍රතිපත්තියෙන් ධර්මාශෝක රජු මහා බෞද්ධ අධිරාජ්‍යයක් නිර්මාණය කළේය.

මේ අතුරින් ලක්දිවට සිදු වූ ධර්මදූත ආගමනය සලකන කල්හි මහලු මුටසීව රජුගේ රාජ්‍ය කාලය නිම වන තුරු දූතයන් ගමන ප්‍රමාද කර ඇති බැව් දැක්වේ. ඒ මහලු රජකුගෙන් අලුත් දහමට අනුග්‍රහය සීමා සහිත වේයැයි සිතූ බැවින් විය යුතුය. කෙසේ වෙතත් තිස්ස කුමරු රජ වන තෙක්ම දූත පිරිස පැමිණියේ නැත. ධර්මාශෝක රජු තිස්ස රජුට අභිෂේක මංගල්‍යයට අවශ්‍ය සියලු උපකරණ එවූ බව වංශකතා කියයි. ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් තිස්ස රජුගේ අභිෂේකය සිදුකිරීමෙන් දේශපාලන පරමාර්ථ දෙකක් ඉටුවිය. පළමුවැන්න: ධර්මෝශෝක රජුගේ ධර්මවිජය ප්‍රතිපත්තියට අවනත රජකු ලංකාවේ රජ වීමයි. දෙවනුව: පෑතිස් රජු දඹදිව රජුගෙන් අභිෂේකය ලැබීමෙන් පසු ලංකාවේ පසල් දනව්ව විසිරී සිටි ප්‍රාදේශීය ප්‍රධානත්වය ඉබේම පෑතිස් රජුට ලැබීමයි.

මෙසේ තිස්ස කුමරු රජු වන තුරු මිහිඳු හිමි හා පිරිවර දක්ෂිණ ඉන්දියාවට වැඩ මිහිඳු හිමිගේ මව වූ වේදිස දේවියගේ උපස්ථාන ලබමින් මාස කිහිපයක් වේදිස නුවර කල් ගත කර බැව් ද මූලාශ්‍රයන්හි සඳහන් වේ. මෙසේ දක්ෂිණ ඉන්දියාවේ සිටියදී මිහිඳු හිමි හා දූත පිරිස තම ලංකා දූත ගමන ගැන මැනවින් සැලසුම් කළ බව පෙනී යයි. මිහිඳු හිමි හා පිරිස ලංකාවට වැඩීමට පෙර එදා ලංකාවේ භාවිතා වූ සිංහල ප්‍රකෘත භාෂාව හොඳින් හැදෑරූ බව සිතා ගත හැකිය. එයට හේතුව ධර්ම දූතයන් ලාංකික භාෂාවෙන් ධර්ම දේශනා කරන විට එය වටහා ගැනීම පොතපත ලිවීම පහසු වන බැවිනි.

තිස්ස රජු පොසොන් පෝයදා ජනතාවට දියකෙළි නියම කොට රජු හතළිස් දහසක් පිරිවර රැගෙන මුව දඩයමේ ගිය හැටි මහාවංශයට විස්තර කරයි. සැබැවින් ම දඩ කෙළියට යන රජෙකුට එතරම් පිරිසක් රැගෙන යෑමේ අවශ්‍යතාවක් නැත. මිහිඳු හිමි හා දූත පිරිස පොසොන් පෝය දා මිහින්තලාවේ මිස්සක පබ්බතයට ධර්ම දූත පිරිස පැමිණෙන බව කලින් පණිවිඩ මඟින් දැන සිටි රජු මිහිඳු හිමි පිළිගැනීමට දූත පිරිස පිරිවරාගෙන මිහින්තලාවට ගිය ලෙස සිතීම සාධාරණ ය.

මිහිඳු හිමි ඇතුළු පිරිස තුන්වැනි සංගායනාවට පසු ධර්ම දූත පිරිසක ගිය විශාලතම දූත පිරිස විය. සංඛ්‍යාත්මකව ඒ ගණන හතකි. සෙසු රටවලට ගියේ එක් නමකි; නැත්නම් දෙනමකි. ලංකාවට ආ දූත පිරිස ද අශෝක රජ පවුලට සම්බන්ධ කිට්ටුම අයයි. මිහිඳු හිමිගේ සිංහල දැනුම නිසා ලංකාවට ගෙන ආ පාලි අටුවාවලට සිංහලෙන් අටුවා ලිවීම හෙවත් හෙළටුවා ලිවීම කළ හැකි විය. පිටරටින් ගෙනා බුදු දහම මනා සැලසුම් සහගතව ලාංකීය උරුමයක් බවට පත් කිරීමෙන් බුදු දහම මෙරට මුල්බැස ගන්නා බව අශෝක අධිරාජයා මනා ලෙස වටහා ගත් සේ ය. එතරම් සැලසුම් සහගත වූ මේ දූත මෙහෙවරෙහි පාර්ශ්වයන් අතර හමු වීම වනයක් මැද්දෙහි හුදු අහම්බයක් සේ සිදු වීයැයි අපි කෙලෙස ඒ හැටියෙන් ම විශ්වාස කරමු ද? මේ ලෙස ලංකාවට ආ ධර්ම දූතයන් කිසිවකු පෙරළා දඹදිවට වැඩියේ ද නැත.

ඉන් සංඝමිත්තා තෙරණිය හා මිහිඳු හිමියන් උත්තිය රජු කල අපවත් වූ අතර, වැඩිම කලක් ලංකාවේ ජීවත් වූයේ සුමන සාමණේර හිමි බව කිව හැකිය. එනයින් මේ ධර්ම දූත කර්තව්‍යය මනා සේ සැලසුම් සහගත එකක් වූවා සේ ම දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ද වූහයි සිතීම සාධාරණ ය.

 

අදහස්