රාජ්‍ය ධර්මය සහ අහිංසා ධර්මය | සිළුමිණ

රාජ්‍ය ධර්මය සහ අහිංසා ධර්මය

බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු ධනේශ්වරයක සහ ගැමි ගොවි ජනකායක ගේ පසු පරපුරු නිර්බාධි ආර්ථිකයක වෙළෙඳපොළ නියාමයන් වැලඳගත් විට රාජ්‍යය සහ මහජන ජීවිතය පිළිබඳ කටයුතු වලදී ආචාර ධාර්මික විනිශ්චයත් පසෙක ලා හුදු ස්වාර්ථ සාධනය පිළිබඳ මාවතට යොමුවීම අපට වටහා ගත හැකි විය යුතුය.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනය ඇසුරෙනි. ‘නව ලිබරල්වාදයට එරෙහිව සභ්‍යත්ව රාජ්‍යය’ යන තේමාවෙන් මෙහි මුල් කොටස පසුගිය සතියේ පළ විය.

56 පරපුර වනවිටත් සිංහල බෞද්ධයන්, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුදත් බුද්ධිමය බුද්ධාගමත් අනගාරික ධර්මපාල අනුදත් දේශාපාලන බුද්ධාගමත් වැලඳගැනීමෙහි බලපෑම යටතේ, එතෙක් සිංහල ගැමියන් තුළ බෞද්ධ හෘදය සාක්ෂිය වගා කළ බෞද්ධ ‍මානවීය ආචාර ධර්මීය පදනමින් වියෝ වී තිබීමයි.

මා දකින පරිදි, ’71 කැරැල්ල සටන් කළේ අඩු වැඩි වශයෙන් එබඳු බුද්ධිවාදී (rationalist) චින්තනයක් තුළ හැදුණු වැඩුණු, සමාජයෙන් වියෝ වූ තරුණ පරපුරක සමාජ විරෝධී ප්‍රකාශයයි. 77’ පරපුරේ සමය වන විට පොදුවේ ගත් කළ මෙම වියෝ වීම සම්පූර්ණ වී තිබුණි යැයි තර්ක කළ හැකිය.

‘නූතන යුගය විසින් බෞද්ධ හෘදයසාක්ෂිය කඩා බිඳ දැමීම’ පිළිබඳ ඔබේසේකර ඉදිරිපත්කරන මෙම අදහස සංක්ෂිප්තව පහත දක්වමි.

සම්ප්‍රදායිකව ලාංකේය ගැමි බෞද්ධයෝ බුදුන්ගේ ජීවන චරිතය පාදක කරගත් ධර්ම ග්‍රන්ථයන්හි සහ ජාතක පොතෙහි එන කථා පදනම් කොටගෙන ජනවහරේ පැවත ආ, විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කෙරුණු කතාන්තරවලට සවන් දුන්හ, ඒවා රඟ දක්වනු නැරඹූහ. ඒවායින් කියැවුණේ අන්‍යන්ගේ යහපත තකා බෝධිසත්වයන් කරන ආත්ම පරිත්‍යාගය, මානව සත්වයෙකු ලෙස ඔහු තුළ වූ අසාමාන්‍ය කරුණාව සහ ඔහු බොහෝ බවයක ඉපිදෙමින් මිය යමින් පෙරුම් පිරූ පාරමිතාවන් නැතහොත් ආචාරධර්මීය සුසාධිතතාවන් පිළිබඳ ය. මේ අන්දමට සමාජ ජීවිතයට මුසුවුණු කතාන්තර තුළින් බුද්ධ චරිතයේ එන යහගුණ, බෞද්ධ ආචාර ධර්මය වශයෙන් තමන් තුළ වගා කර ගැනීමෙන් හෘදයසාක්ෂිය වඩා ගැනීමේ සම්ප්‍රදාය මගින් ඇතිවුණු බෞද්ධ මානව භක්තිය ඔවුන් තුළ විය.

මේ තත්ත්වය වෙනස් කරන යමක් නූතන යුගයේ, දහනව වැනි සියවසේ අගභාගයේ හා විසිවැනි සියවසේ දී, එකට බැඳි උදාවූ නව පෙරමුණු දෙකක බලපෑමට ගැමි බුද්ධාගම යටත් වීමෙන් සිදුවිය. ඉන් එකක් නම්, අලුතින් මතුවෙමින් පැවති සුළු ධනේශ්වරයක් සඳහා ධර්මපාලගේ නායකත්වයෙන් ඇතිවුණු විප්ලවකාරී බුද්ධාගමය. අනෙක, ඕල්කොට් ගේ නායකත්වයෙන් ගොඩ නැංවූ, බුද්ධ ධර්මය නවීන විද්‍යානුකූල, අන්ධ වූ දේව භක්තියකින් තොර වූ යථාර්ථවාදයක් ලෙස හඳුන්වන උගතුන්ගේ බුද්ධ ධර්මය ය.

ඕල්කොට් මෙරටට බටහිරින් ගෙනැවිත් ප්‍රචලිත කළ බුද්ධ ධර්මය පිළිබඳ බුද්ධිමය දැක්ම අනුව යමින්, ලාංකික උගත්තු බටහිර බුද්ධිවිචාර සම්ප්‍රදායයේ විධික්‍රමවල ආභාෂය ලැබ, බෞද්ධ ජන සංස්කෘතියේ පුරාණොක්තිමය, ඇදහිලිවාදී සහ භක්තිවාදී අංග ඉන් බැහැර කළ, ධර්මය මත පදනම් වූ බුද්ධිවාදී බුදු දහමක් බිහි කළහ. එම දැක්මට අනුව ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය පාසල් සහ දහම් පාසල් සහ පොතපත සම්පාදනය සකස් කළහ.

ධර්මපාල ගොඩ නැඟූ විප්ලවකාරී බුද්ධාගම ලාංකේය සමාජය මත ඇති කළ බලපෑම ඔබේසේකර, තම්බයියාගෙන් ගන්නා, “සම්ප්‍රදායිකව මුල් බැසගත් බෞද්ධ සංස්කෘතියේ අඳුරු පැත්ත” යන යෙදුමෙන් පැහැදිලි කෙරෙයි. එය අදාළ වන්නේ බුද්දාගම ලංකාවේ රාජ්‍ය ආගම ලෙස මුල් බැස ගැනීම පිළිබඳ මහාවංශ අර්ථකථනයට ය. රාජ්‍ය ධර්මය සහ අහිංසා ධර්මය අතර ගැටුමෙහිදී අහිංසා ධර්මයට ප්‍රමුඛතාව දුන් අශෝක දහමට පටහැනිව යන මහාවංශ රචකයා දකින අන්දමට සිංහල ජාතියේත් බුද්ධාගමේත් ඉරණම එකට බැඳී ඇති හෙයින් බුද්ධාගම රැකීම වෙනුවෙන් කෙරෙන හිංසා හා ඝාතන යුක්ති සහගත වෙයි.

මහාවංශ අර්ථකථනයට නව ජීවනයක් සපයමින් ධර්මපාල පදනම් ලු අලුත් දේශපාලනික බුද්ධ ධර්මය ගැමි බුදු දහමේ මානවීය ආචාර ධර්මය පසෙක ලා, නැඟී එන සුළු ධනේශ්වරය වෙනුවෙන්, නවීකාරක ආචාරධර්ම පද්ධතියක් බිහි කළා පමණක් නොව ජනප්‍රිය බුද්ධාගමේ එම අඳුරු යටිපැත්ත එනම් බුද්ධාගම රැකීමේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය යළිත් නූතන ලාංකේය සමාජයෙහි ස්ථාපිත කරලීය.

ඔ‍බේසේකර ගේ ඉහත විග්‍රහයෙන් කියැව්නේ ’56 බණ්ඩාරනායක රජය බලයට එන්නේම ගැමි බෞද්ධ ආචාර ධර්මයේ මුල් සිඳගත් සිංහල සුළු ධනේශ්වරයක් මතින් බවයි. සිංහල බෞද්ධ ජාතිකවාදය ජාතිවාදය බවට පරිවර්තනය වීමත් ඒ හා ආශ්‍රිතව බුද්ධාගම රැකගැනීමේ නාමයෙන් අන්‍ය ජනකොටස් මත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සාධාරණීකරණයත් මෙම බුද්ධිවාදී බුද්ධාගම මෙරට මුල් බැස ගැනීමේ ප්‍රතිඵල යැයි සිතමි.

එලෙස බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු ධනේශ්වරයක සහ ගැමි ගොවි ජනකායක ගේ පසු පරපුරු නිර්බාධි ආර්ථිකයක වෙළෙඳපොළ නියාමයන් වැලඳගත් විට රාජ්‍යය සහ මහජන ජීවිතය පිළිබඳ කටයුතු වලදී ආචාර ධාර්මික විනිශ්චයත් පසෙක ලා හුදු ස්වාර්ථ සාධනය පිළිබඳ මාවතට යොමුවීම අපට වටහා ගත හැකි විය යුතුය. පශ්චාත් 2005 සමයේ රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රාග්ධන සමුච්ඡායනය නග්න ස්වරූපයක් ගැනීමේ පදනම බුද්ධිවාදී දේශපාලනය ලාංකේය සමාජයේ අධිපතිභාවයට පත්වීම යැයි සිතමි.

මෙලෙස සිංහල සුළු ධනේශ්වරය දේශපාලන බල තන්ත්‍රයට අවතීර්ණ වීම ලංකතාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම, නිලධාරී තන්ත්‍රය, අධිකරණ ඇතුළු රාජ්‍ය ආයතනික පද්ධතියද එම පංතියේ ඉහළ නැඟීමේ අපේක්ෂාවන්ට යටත් මෙවලම් බවට හැරවීමෙන් පිරිහෙළන ලදී. පශ්චාත් ’77 ජේ.ආර්. ජයවර්ධන රෙජිමය පාලන සමය තුළ රාජ්‍ය කේන්ද්‍රීය සුළු ධනේශ්වරයේ දේශපාලන ව්‍යාපෘතිය එක්තරා දුරකට පසු බෑමකට ලක් වුවද, 2005 රාජපක්ෂ රෙජීමය මෙම ක්‍රියාවලිය යළි එහි උච්චස්ථානයට ගෙන ආවේය. අද වන විට ලංකාවේ දේශපාලනය, ආණ්ඩු බලයේ කුමන පක්ෂයක් බලයේ සිටියද, සමස්තයක් ලෙස මෙම ව්‍යාපෘතියේ ග්‍රහණයට පත්වී තිබේ.

ජාතිවාදි කළ කෝලාහලවලදීත් මෙන්ම දේශපාලනයේදීත් (උදා: මෑතකාලීන මුස්ලිම් විරෝධී කෝලාහලවලදී මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු සමයේදීත්) ජනයා මත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට නන්නත්තාර පන්ති කොටස් විවිධ දේශපාලන බලවේග විසින් යොදා ගනු ලැබීම, පසුගිය කාලය තුළ දකින්නට ලැබුණි. ඉදිරියේදී සිංහල බෞද්ධ ජාතිකවාදය පදනම් කොට ගෙන ලාංකේය දේශපාලනයේ යළිත් මතු වීමට ඉඩ ඇති අධිකාරකවාදී තත්වයන් යටතේ දේශපාලන බලවේග තම පසමිතුරන් මර්දනයට බල සේනා වශයෙන් මෙම පාදඩ පන්ති කොටස් යොදා ගැනීමේ බලවත් අනතුරක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

නමුත්, මේ අතරම සිංහල බෞද්ධ සුළු ධනේශ්වරය සහ නන්නත්තාර පන්ති කොටස් ලංකේය සමාජය මත බල පවත්නා අධිපතිභාවයේ නිෂේධනාත්මක ඵලවිපාක කිසියම් දුරකට සමනය කිරීමට දායක වීමට ඉඩ ඇති නැඹුරුවක්ද සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන පිළෙන්ම මතු වනු අද දක්නට ලැබෙයි.

සිංහල සුළු ධනේශ්වරයෙහි ඉහළ ස්තරයන් අද වන වට සංක්‍රමණීය අවධියකට එළඹ ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය. රාජපක්ෂ රෙජිමය යුද්ධයෙන් පසු එළඹි “සංවර්ධන” සමයේදි ආර්ථික ඵල ප්‍රයෝජනය සඳහා ගෝලීය මූල්‍ය ධනවාදය සහ එහි දේශීය ඒජන්තයන් සමඟ ද ගැට ගැසුණු මොවුන්, උග්‍ර සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථාවරයන්ගෙන් දුරස්ථවීමේ නැඹුරුවක් වත්මනෙහි පවතින අයුරු ඔවුන්ගේ දේශපාලන නායකත්වයේ කොටස්වලින් ප්‍රකාශ වන බව දැනටමත් විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. ඔවුන්, ඉදිරියේදී රාජ්‍ය කේන්ද්‍රීය, ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා දේශපාලන බලය යළිත් තමන් අතට ගැනීමට යොමුවීමේ ඉඩකඩ පවතියි.

එහෙත්, රාජ්‍ය කේන්ද්‍රීය ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳ අදහස නවලිබරල්වාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරෙන විට, ඉන් මතුවන ගැටලුවක් වන්නේ ‘එවැන්නක් සැබැවින්ම නවලිබරල්වාදයෙන් මිදුණු ව්‍යාපෘතියක් විය හැකිද?’ යන්නයි.

නවලිබරල්වාදයට අභියෝගයක් එල්ල කළ හැකි දේශපාලන බලවේගයක් ලෙසට ඇතැමුන් අපට යෝනා කෙරෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන ධාරාවයි. මේ අදහස නියෝජනය කරන සංකල්පගත කිරීමක් ලෙස ගුණදාස අමරසේකරගේ ‘සභ්‍යත්ව කරා’ (2016) නමැති ලේඛනය සැලකිය හැකි යැයි සිතමි. එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිරීක්ෂණය කරමින් ඊට විකල්පයක් ලෙස “සභ්‍යත්ව රාජ්‍යය” නමැති සංකල්පය යෝජනා කරයි. සභ්‍යත්ව රාජ්‍යය යනු දෙන ලද රටක සභ්‍යත්වය හා රාජ්‍යය සමපාතවීමේ ප්‍රතිඵලය යි. අමරසේකර ලංකාවට අදාළව මේ සංකල්පය වර්ධනය කරන්නේ සැමුවෙල් හන්ටින්ග්ටන් නූතන ලෝකයේ පශ්චාත් සීතල-යුද යුගය පිළිබඳ ඉදිරිපත් කළ ‘ශිෂ්ටාචාර අතර ගැටුම’ යන ප්‍රවාදයත්, මාටින් ජැක් ඉදිරිපත් කළ ‘චීනය සභ්‍යත්ව රාජ්‍යයකි’ යන ප්‍රවාදයත් පාදක ‍‍කොට ගෙනය. මාටින් ජැක් ගේ අදහස, චීනය තමන්ව හඳුන්වා ගන්නේ ජාතික රාජ්‍යයක් ලෙසින් වුවද, චීන රාජ්‍යය ගැළපෙන්නේ නූතනයේ බටහිර උපත ලද එම සංකල්පයට නොව සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ සංකල්පයට බවයි. ඔහු තර්ක කරන්නේ චීන ජනයා තමන් ගේ පැවැත්ම අරුත් ගන්වන්නේ චීන සභ්‍යත්වයේ කොටස්කරුවන් ලෙස බවයි. ‍

අමරසේකරගේ ප්‍රස්තුතය චීනය මෙන්ම ‘ලංකාවද සභ්‍යත්ව රාජ්‍යයකි’ යන්න යි. මාටින් ජැක් ට අනුව චීන සභ්‍යත්ව රාජ්‍යයේ දාර්ශනික පදනම වයේ කොන්ෆියුසියස් දර්ශනය නම්, ලංකාවේ පූර්ව නූතන යුගයේ පැවති සභ්‍යත්ව රාජ්‍යයේ පදනම වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය බව අමරසේකර ගේ ප්‍රවාදය යි. මෙම සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ධර්මිෂ්ඨ, සාමූහිකත්වය අගයන, ජනතා සහභාගීත්වය පදනම් කරගත්, සුබසාධන රාජ්‍යයක් යැයි අමරසේකර තර්ක කරයි. එහි පදනම මත අනාගත, නූතන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නැංවීෆම් විකල්ප අදහස සම්පාදනයට මුල පිරීම අමරසේකර ගේ මෙම දීර්ඝ ලිපියේ අරමුණයි. එම අරමුණට දායකකර ගත හැකි, ඉපැරැණි ගම් සභා ක්‍රමය හා සමාන ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පය වැන්නක් යෝජනා වී තිබීම අමරසේකර අගය කරයි. අමරස‍ේකර සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ ඉදිරිපත් කරන අදහස්වල අනුභූතික වලංගුභාවය විවාදයට තුඩු දෙයි. එය විමසීම මෙහි ලා මගේ අරමුණ නොවේ.

මේ ලිපිය සාකච්ඡා කරමින් ‘සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය’ (2017) නමින් පොතක් සම්පාදනය කරන සුමනසිරි ලියනගේ මෙරට රාජ්‍යයේ විකාශනය වටහා ගැනීමෙහි ලා ජාතික රාජ්‍යය පිළිබඳ අදහසට වඩා සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස වඩා ප්‍රයෝජනවත් යැයි එකඟ වෙයි. එනමුදු ලියනගේ යෝජනා කරන්නේ සිංහල බෞද්ධත්වය මත පදනම් වූ ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය වසර 2300 ක පමණ ඉතිහාසයක මුහුණ දුන් වෙනස්කම් සලකා බලමින් මෙන්ම සභ්‍යත්ව සංකල්පයේ ඇති ආභ්‍යන්තිරක විරුද්ධභාෂයන් ද නිරාකරණය කරගනිමින් වත්මනට ගළපා ගත යුතු බවයි. එලෙස සකසා ගත් සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයක්, අන්තෝනියෝ ග්‍රාමිස්ව් යෝජනා කළ දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ එකතුවක් වන ‘අනුකලනීය රාජ්‍යය’ සංකල්පයට ආසන්න වන බව ලියනගේ ගේ තර්කයයි. ඔහු දකින පරිදි මෙම නූතන ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය ගොඩනැඟීමේ වගකීම දැරිය හැක්කේ මකියාවෙලි ගේ අර්ථයෙන් ‘නූතන කුමාරයා’ නැතහොත් සමාජ පහත මාලයේ සාමූහික දේශපාලන පක්ෂයට ය. එම සභ්‍යත්ව රාජ්‍යයෙහි ලා නූතන කුමාරයා ඉටු කිරීමට සමත් කටයුතු වයෙන් ලියනගේ හඳුනාගන්නා කරුණු අතර නවලිබරල් ගෝලීයකරණයට එරෙහි ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම සහ හනා ආරන්ඩ්ට් ‍ෙග් අදහසක් අනුව යමින්, සමාජයේ සියලු ජනකොටස් ඇතුළත් කරගන්නා, කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය (ward democracy) පදනම් කරගත් රාජ්‍ය යන්ත්‍රණයක් යන දෙකරුණ ප්‍රධාන ය.

සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස නවලිබරල්වාදයට එරෙහි සූත්‍රගත කිරීමට යෝජනා කෙරී ඇත්තේ ඉහත ආකාරයට ය. මෙය සංකල්පීයව වැදගත් අදහසක් යැයි සිතමි.

අදහස්