ලුම්පන් සංස්කෘ­තිය හා ප්‍රභා­ක­රන් කියැ­වීම | සිළුමිණ

ලුම්පන් සංස්කෘ­තිය හා ප්‍රභා­ක­රන් කියැ­වීම

සමස්ත සමාජයම නාය ගොස් තිබෙන වටපිටාවක අපට රාජ්‍ය සේවයෙන් හෝ දේශපාලනයෙන් හෝ සාහිත්‍යයෙන් හෝ තවදුරටත් පූර්වාදර්ශ සපයා ගත නොහැකි ය. මේ කතාවෙන් ද ගම්‍ය වන්නේ එවැනි යථාර්ථයකි.

චිත්‍රපට තිර රචකයකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකට ආරියරත්න විතානයන් කෙටිකතා නිර්මාණකරණයට පිවිස ඇත්තේ හැත්තෑව දශකයේ මුල් භාගයේදීය. ඔහුගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය ‘කාවල්කාරයා’ නමින් 1971 දී ප්‍රකාශයට පත් ව ඇති අතර, ඊට පසළොස් වසරකට පසු ‘අවිගත් සමයක’ නමින් ආරියරත්න විතා‍නගේ දෙවන කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත්ව තිබේ. 2013 වර්ෂයේදී අප විසින් සංග්‍රහ කරන ලද ‘ආරියත්න විතාන ආලෝචන’ කෘතියට ඔහුගේ කෙටිකතා කලාව පිළිබඳ ලිපියක් සම්පාදනය කරමින් මහාචාර්ය රත්නසිරි අරංගල මහතා මෙවැනි සඳහනක් කළේය:

‘කෙටිකතාව නම් නූතන සාහිත්‍යාංගයේ පෝෂණයට දායක වූ ලේඛක පරපුරෙහි නාමාවලියට ආරියරත්න විතාන සිය අනන්‍යතාව එක් කරනුයේ පසළොස් වසරක පරතරයක ඇතිව පළ කරන ලද කෙටිකතා සංග්‍රහ දෙකකින් පමණක් වුව ද ඔහුගේ අනන්‍යතාව සිංහල කෙටිකතා සාහිත්‍ය වංසයෙහි නිශ්චිත ස්ථානයක් හිමි කර ගනී.’

මහාචාර්යවරයා සිය ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය. එය ද මම මෙහි දී උදුරා දක්වමි:

‘පසළොස් වසරක විරාමයකින් සිය දෙවන කෙටිකතා සංග්‍රහය පළ කළ ආරියරත්න විතාන ගෙවුණු පස්විසි වසරෙහි කෙටිකතා මාධ්‍යය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ නිහඬ බවකි. මේ නිහඬ බව ඔහු තවත් පරිණතියට යෑමෙහි සලකුණක් විය යුතුය. කාවල්කාරයා කෘතියෙන් හමු වන ආධුනික කෙටිකතාකරුවාගේ මුහුකුරා යෑමක් අවිගත් සමයක කෙටිකතා සංග්‍රහයෙන් දැක ගත් පාඨකයා ආරියරත්න විතාන නම් ලේඛකයාගේ පරිණත අවස්ථාව නියෝජනය කරන කෙටිකතා සංග්‍රහයක් සිංහල සාහිත්‍ය වංසයට එක් වනු දැකීමෙහි නොතිත් ආශාවෙන් පසු වෙයි.’

මහාචාර්ය අරංගල සඳහන් කළ ආකාරයටම ඔහුගේ පරිණත ලේඛන රීතිය ප්‍රකට කරමින් ආරියරත්න විතාන තමාගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ප්‍රභාකරන් ඉන්නවා’ නමින් පාඨකයාට තිළිණ කර ඇත. දෙවන කෙටිකතා සංග්‍රහයත් මේ කෘතියත් අතර වන වසර තිස්දෙකක පරතරය මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණකි. කෙටිකතා හයකින් සමන්විත ‘ප්‍රභාකරන් ඉන්නවා’ කෙටිකතා සංග්‍රහය අද්‍යතන සමාජ, ආර්ථික,දේශපාලනික සහ සංස්කෘතික ස්තර නිර්මාණාත්මකව ගවේෂණය කරමින් රචිත කෘතියක් බව පෙනේ. අපි මෙතැන් සිට ඒ පිළිබඳ විමසා බලමු.

මේ කෘතියේ එන පළමු කතාව වන ‘සඳුන් සුවඳ’ තියුණු දේශපාලන උත්ප්‍රාසයක් දනවන කතාවකි. එය ගොඩනැඟෙන්නේ සඳුන් අල්විස් නමැති ලේඛකයකු වටා ය. ඔහු ගීත රචකයකු ලෙස ද නමක් දිනාගෙන සිටින අයෙකි. සඳුන් වෘත්තියෙන් රජයේ ලිපිකරුවෙකි. ඔහුගේ සේවා ස්ථානයට ජනාධිපති ලේකම්කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබේ. ඒ ඔහුට ජනාධිපතිවරයා හමු වන ලෙස දන්වමිනි. ජනාධිපතිවරයා සඳුන්ට කොන්ත්‍රාත්තුවක් භාර දෙයි. ඒ දුටුගැමුණු චරිතය පිළිබඳ ඓතිහාසික නවකතාවක් ලිවීමටය. ලිවිය යුත්තේ සඳුන්ය. එහෙත් එය ජනගත විය යුත්තේ ජනාධිපතිවරයාගේ නමින්ය!

“වැඩේට ඇඩ්වාන්ස්-එකක් හම්බ වුණා. නමුත් වැඩේ ටිකක් බරපතළයි. ඓතිහාසික නවකතාවක්; දුටුගැමුණු ගැන.”

සඳුන් කීවේ පහත් ස්වරයෙනි.

“අම්ම‍ට සිරි ගජ!”

එළියට පැන්නේ ජයේගේ මුවිනි.

“නියමයිනෙ!”

මැණිකෙගේ මුවගට නැගුණේ මඳ සිනාවකි.

“පනහක් හම්බ වුණා. වැඩේ කෙ‍රුණම ඒ වගේ තව දෙගුණයක් දෙන්නම් කියලා එතුමා කිව්වා.”

“තව පස් ගුණයක් දුන්නත් මොකද, වාක්‍යයක්වත් නොලියා ලේඛකයෙක් වෙන කොට!”

මෙරට දේශපාලන ප්‍රවාහයේ පවතින ව්‍යාජත්වය මෙන්ම නිර්මාණකරුවන් සතු ආර්ථික හා මානසික දරිද්‍රතාව ද මෙයින් ගම්‍ය වේ. කුලියට ලියවා ගැනීමට දේශපාලනඥයන් මතු නොව, ව්‍යාපාරිකයන් පවා යොමු වන්නේ ඔවුන්ගේ පසුගාමී ග්‍රාම්‍ය චින්තනය නිසාය. කුලියට ලිවීමේ කාර්යයේ නිරත වීමට නිර්මාණකරුවකුට තරම් නොවන්නේය. එනමුත් මෙකී ක්‍රියාවලින් එදත්, අදත්, හෙටත් මේ සමාජයේ සිදු වන ඛේදවාචකයකි. කතාකරුවා මෙය තවත් උත්ප්‍රාසයට නංවන්නේ ජනාධිපතිවරයාගේ නමින් සඳුන් ලියන නවකතාවට රාජ්‍ය සම්මානය හිමි වන අයුරු පාඨකයා ඉදිරියට ගෙන ඒමෙනි.

‍හොඳම නවකතාවට හිමි සම්මානය ජනාධිපතිතුමාට පිරිනමන්නට වේදිකාවට පැමිණෙන ලෙස නිවේදක අප්සරාව සඳුන්ට ඇරියුම් කරනවාත් සමඟම නැඟුණු කන් බිහිරි කරවන අත්පොළසන් නාදය දැන් ඉවර වේ දෝ දැන් ඉවර වේ දෝ යි දහවැනි වතාවටත් තමන්ගෙන් අසනවාත් සමඟ සඳුන්ට සිදු වූයේ තමා වේදිකාවට කැඳවාගෙන යන්නට පැමි‍ණ සිටින අප්සරාවන් දෙදෙනාට අවනත වන්නටය.

සමස්ත සමාජයම නාය ගොස් තිබෙන වටපිටාවක අපට රාජ්‍ය සේවයෙන් හෝ දේශපාලනයෙන් හෝ සාහිත්‍යයෙන් හෝ තවදුරටත් පූර්වාදර්ශ සපයා ගත නොහැකි ය. මේ කතාවෙන් ද ගම්‍ය වන්නේ එවැනි යථාර්ථයකි.

‘ප්‍රභාකරන්’ යන සාධකය ලාංකේය සමාජය ගැඹුරින් විග්‍රහ කළ බැලිය යුත්තකි. එක් පාර්ශ්වයකට ප්‍රභාකරන් මිනීමරුවෙකි, කොටියෙකි; තවත් පිරිසකට ඔහු වීරයෙකි, ගැලවුම්කරුවෙකි. මෙරට පොදු නීති පද්ධතියට අනුව ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකි. එබැවින් ඔහු රජයේ හමුදා අතින් මිය ගොස් ඇත. එහෙත් මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ ප්‍රභාකරන් වැනි පුද්ගලයන් බිහි වීමට හේතු සාධක වූ ඓතිහාසික කරුණු පිළිබඳ ය; එසේ ම ඔහු ගෙන ගිය අරගලයේ සැබෑ මානුෂීය ගැටලුවට වර්තමානය වන විට පිළිතුරු ලැබී තිබෙනවා ද යන්න යි. ප්‍රභාකරන් මිය ගිය මොහොතේ දකුණේ ජනතාව තම අවධානය යොමු කළේ අප ඉහත සඳහන් කළ කරුණු කෙරෙහි නොවේ. ඒ වෙනුවට ඔවුහු ඒ දිනයේ කා-බී සන්තෝෂ වූහ. එය එක්තරා ආකාරයක දකුණේ බහුතර ජනතාවගේ පසුගාමී ග්‍රාම්‍ය වැඩවසම් චින්තනය ලොවට කියා පෑ දිනයක් විය. රටක සිවිල් යුද්ධයක් අවසන් වූ පසු කළ යුතු සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ අධ්‍යපනික ප්‍රතිසංස්කරණ බොහෝ ය. එහෙත් අප රටේ යුද්ධය අවසන් වූ දින දේශපාලකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද හැසිරුණේ රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබුණු අයුරිනි. මෙරට සිවිල් යුද්ධය අවසන් වූ දිනය පදනම් කර ගනිමින් රචිත ‘ප්‍රභාකරන් ඉන්නවා’ කෙටිකතාව තියුණු උත්ප්‍රාසයක් දනවන්නකි.

හැඬලයේ සිංහ කොඩි ගසාගෙන උඩුකය නිරුවත්ව හෙල්මට් ද නැතිව ගාලු පාරේ යන-එන මෝටර්සයිකල්කාරයෝ සුලබ ය. පොලිස් භටයන් පාරේ සිටියත් ඒවා නවත්වන්නේ නැතිව සිටින්නේ දැක්කා-නොදැක්කා වගේ ය. මග්ගොන හන්දියේ එක ම ප්‍රීති සාදයකි. කොල්ලෝ කුරුට්ටෝ බීර බෝතල් කටේ ඔබාගෙන බී, අතින් අත යවති. සමහරු සිංහ කොඩි වනති; සින්දු කියති; අප්පුඩි ගසති; නටති. උක්කුංජි සහ එ‍ඬේර‍ගොඩේ සුද්දී බොන අයට කිරිබත් ද කරෝල පිඟන් ද අල්ලති. එගල්කන්දේ කළු අක්කා පදමට රත් වී නටයි. තැනින් තැන සිංහ කොඩි බිම දමා ඇත. සමහරු යටි කයට ඇඳ සිටින්නේ සිංහ කොඩියකි.

ලුම්පන් සංස්කෘතියට නීතිය යට වී ඇති අයුරු කලාත්මකව හා උත්ප්‍රාසය දැනවෙන අයුරින් කතාකරුවා පාඨකයා ඉදිරියට ගෙනැවිත් ‍ඇත. මේ පිරිස ජාතියට ආදරය කරන බැව් හැඟවීමට උත්සාහ කළ ද ඔවුන් කෙරෙන් ඉස්මතුව පෙනෙන්නේ ගෝත්‍රික ලක්ෂණයි. යුද්ධය අවසන් වූ දිනවල මෙරට බහුතර පිරිස හැසු‍රුණු ආකාරය කතුවරයා අප ඉදිරියට පමුණුවන චරිතවලට සමාන ය. ඒ ඔස්සේ ඔවුන්ගේ දෘෂ්‍ටිවාදයේ පටු බව වි‍ශද වේ. මෙහි දී අප දෘෂ්ටිවාදය ලෙස අදහස් කළේ කිසියම් සමාජයක හෝ පන්තියක හෝ කොටසක හෝ සංස්ථාවක හෝ ඒකරාශී වූ අදහස්, මතිමතාන්තර පද්ධතියයි.

මෙහිදී අප විසින් විමසා බලන්නට යෙදුණේ කෙටිකතා දෙකක් පමණි. එහෙත් එකිනෙකට වෙනස් අත්දැකීම් මත පදනම් වූ තවත් කෙටිකතා හතරක් මේ කෘතියේ දී අපට හමු වෙයි. සෙසු කතා ද කියවා විමසා බැලීමට පාඨක ඔබට භාර කරන්නේ ශ්‍රී ලාංකේය ජන විඥානය විනිවිද දැකීමට ‘ප්‍රභාකරන් ඉන්නවා’ කෙටිකතා සංග්‍රහය මඟින් ආරියරත්න විතානයන් දරා ඇති උත්සාහය අපට කිසි සේත් ලඝු ‍කොට තැකිය හැක්කක් නොවන හෙයිනි.

Comments