රොබෝලා වෙමු අපි අනාගතේ... | සිළුමිණ

රොබෝලා වෙමු අපි අනාගතේ...

 මුළුමහත් මනුෂ්‍ය ශරීරයේම ඇති අවයව රොබෝමය කොටස්වලට ප්‍රතිස්ථාපනය කිරීමේ තාක්ෂණය 2070 වසර වනවිට මිනිසා අතට පත්වේයැයි අනාවැකි පළවේ. මේ අනාවැකිය පළ කරන්නේ රොබෝ තාක්ෂණය පිළිබඳ මාධ්‍යවේදී, ඉංග්‍රීසි ජාතික ක්‍රිස් මිඩිල්ටන් ය.

කෙනෙකුට තමන්ගේ ශරීරයේ අවයවයක් ඉවත් කර ඒ වෙනුවට රොබෝ ක්‍රියාකාරීත්වයක් සහිත මෙවලමක් හෝ 'චිප්'එකක් හෝ පැළඳ ගැනීම නුදුරු අනාගතයේදී පහසුවනු ඇත. එමෙන්ම එය සුලභ වනු ඇත. මේ තත්ත්වය වඩාත් බරපතල වන්නේ මුළු මිනිස් ශරීරයේම ඇති දේහ කොටස් වෙනුවට රොබෝ ක්‍රියාකාරීත්වයක් සහිත මෙවලම් සවිකර ගැනීමට යෑමේදීය. එතුළින් සුපිරි බලයක් සහිත මිනිසුන් බිහිවන්නට ඉඩ ඇති බව ක්‍රිස් පෙන්වා දෙයි.

“... තව අවුරුදු 50කින් 100කින් එළඹෙන අනාගතයේදී බිහිවෙන මිනිසුන්ගේ මුළු ශරීරයේම පවතිනු ඇත්තේ නැවත සංස්කරණය කළ හැකි, වගේම වැඩි දියුණු කළ හැකි රොබෝ කොටස්. මිනිසුන්ට, ඊට අනුබලය ලබාදෙන තාක්ෂණයන් බිහිවන වගක් අපට දැනටමත් පෙන්න තියෙනවා. ඒ නිසා මිනිසුන් ඉතා අවාසනාවන්ත ලෙස යන්ත්‍ර වගේ ක්‍රියාකරන්න පටන් ගෙන තියෙනවා. එපමණක් නොවෙයි, යන්ත්‍ර මිනිසුන් වගේ ක්‍රියා කරන තත්ත්වයකටත් පත්වෙමින් තිබෙනවා. ...” යැයි ඔහු පවසයි.

මනුෂ්‍යයකු ලෙස අත්පත් කර ගත් සියලු උතුම් රත්නයන් ඒ සමඟම අවසන් වී යන බවත් ක්‍රිස් මිඩිල්ටන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

මනුෂ්‍යයින්ගේ ශරීර අවයව ප්‍රතිස්ථාපනය කිරීමට හැකි “චිප්” සහ මෙවලම් බිහිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ රොබෝ තාක්ෂණයේ දියුණුවයි. ඒ හැරුණු විට කෘත්‍රිම බුද්ධි සහිත මෙවලම් බිහි කිරීමත් එහිලා මුල් වී තිබේ. මිනිස් සමාජය කෙබඳු ආකාරයක එකක් විය යුතුද යන්න එකී තාක්ෂණයන් හරහා තීරණය වීම මේ වනවිටත් ආරම්භ වී ඇත. එතුළ මිනිසුන් ඉතා සරල ලෙස ප්‍රතික්ෂේප වෙමින් තිබේ.

මංජුලා විජයරත්න

Comments