ෆේස් බුක් ආරක්ෂිතද? සකර්බර්ග් නිරුත්තරයි | සිළුමිණ

ෆේස් බුක් ආරක්ෂිතද? සකර්බර්ග් නිරුත්තරයි

අපි ෆෝන් එක අතට ගත්තු ගමන් හැරෙන්නේ ෆේස්බුක් පැළය දිහාට වුණාට මේ දිනවල ෆේස්බුක් ආයතනය මුහුණ දී සිටින තත්ත්වයත් එක්ක එදෙස බැලීමත් බිය උපදවන සුළුයි. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ දිනවල එරට කොන්ග්‍රසය ඉදිරියේ පෙනී සිටිමින් ෆේස්බුක් සමාගම විසින් එකතු කරන පරිශීලක දත්ත පිළිබඳව කරුණු දක්වනවා. ඉන් බොහෝ ඒවායේදී ඔහු නිරුත්තර වන අතර තාක්ෂණය ගැන නොදැනුවත්කම නිසා මුල් දිනවලදී සෙනෙටර්වරුන් ද වට්ස්ඇප් හරහා මැසේජ් නොව, ඊමේල් යවන ආකාරයක් ගැන ඔහුගෙන් නොඇසුවා නොවේ. මෙයට හේතුසාධක වූයේ 2013 දී ඇලෙක්සැන්ඩර් කෝගන් නමැත්තා විසින් සකසා ෆේස්බුක්හි යොදා තිබූ ගේම්එකක්. මෙය හරහා පරිශීලකයන්ගේ දත්ත රැස් කරනු ලැබූ අතර ඊට ඔවුන්ගේ මිතුරන්ගේ දත්ත ද අඩංගුව තිබුණා. පසුකාලීනව ඔහු සතුව තිබූ, එම ක්‍රීඩාව කළ සහ නොකළ මිලියන 50ක පමණ පිරිසකගේ දත්ත කේම්බ්‍රික් ඇනලිටිකා නමැති දත්ත සම්බන්ධව කටයුතු කරන සමාගමකට විකුණනු ලැබුවා. එම දත්ත භාවිතයෙන් තමයි ට්‍රම්ප් පිළිබඳව යහ ආකල්ප ඇතිවන ආකාරයට ෆේස්බුක් හරහාම දැන්වීම් පළ කරනු ලැබුවේ. එක්වර බැලූවිට මේ ක්‍රියාවට ෆේස්බුක්හි සම්බන්ධයක් නැහැ. නමුත් පරිශීලක දත්ත ලබාගැනීමට අවස්ථාව සැලසීමයි ඔවුන් කළ වරද. ඒ වෙනුවෙන් මාර්ක් සකර්බර්ග් උසාවිය ඉදිරියේ උත්තර බඳිනවා.

ගූග්ල් සහ ෆේස්බුක් සමාගම් සතුව අපේ පෞද්ගලික දත්ත බොහොමයක් තිබෙනවා. ඔවුන්ට අපේ දත්ත සියල්ලම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබා දී, සහ ලබා ගැනීමට අවසර සලසා තිබෙන්නේ අපි විසින්මයි. අපේ නම, ස්ත්‍රී පුරුෂ බව, පාසල, මිතුරු සම්බන්ධතා ආදී දත්ත මෙන්ම අපේ ෆෝන් එකේ තිබෙන ඊමේල් ලිපින හා දුරකථන අංක ඒ සමඟ ලබා දෙන නිසා අපි දන්නා කියන සියලු දෙනා ගැනම දත්ත ද අපිට නොදැනීම ෆේස්බුක්එක ලබා ගන්නවා. ඉතින් මෙහෙම හැම කෙනෙක්ම තම තමන් සතු දත්ත විතරක් නෙවෙයි, අන් අයගේ දත්ත ද ලබාදුන් විට මහා පරිමාණ දත්ත ගබඩාවක් ලැබෙනවා. ඊට පස්සේ ෆේස්බුක් පාවිච්චි කරන්න පටන් ගත්තාම අපි වැඩිපුරම කතාබහ කරන අය, යන එන තැන්, ඒ ස්ථානවල දී ගනු ලබන ඡායාරූප, වෙනත් අය අපිත් එක්ක ගත් ඡායාරූප ආදිය පාවිච්චි කර අපේ පෞද්ගලික සබඳතා පිළිබඳව දැනගන්නට ද ඊට හැකියාව ලැබෙන්නේ මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය ද සමඟ යි. මේ නිසා ටැග් නොකළත් එහි අපි සිටින බව ෆේස්බුක් දන්නවා. නිව්ස් ෆීඩ් එකේ අපි පහතට යද්දී දකින පෝස්ට් දිහා බලාගෙන ගත කරන කාලය මත ඔවුන් අපේ ඕනෑ එපාකම්, ප්‍රිය කරන අය සහ සහ ප්‍රිය කරන්නේ මොනවාටද යනාදිය මෙන්ම ලයික්, කමෙන්ට් කරද්දී අපි එම පෝස්ට් එකට දක්වන ප්‍රතිචාරය අවබෝධ කරගන්නටත් ෆේස්බුක් ඇල්ගොරිතමයන්ට හැකියාව තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, දුරකථනයේ ෆේස්බුක් ඇප්එක ඉන්ස්ටෝල් කරගත් විට අපේ ගොනු බැලීමට, එහි මෙහෙයුම් පද්ධතිය, දෘඪාංග දත්ත, අප සතු ගොනුවල නම් සහ වර්ග, බැටරි ප්‍රමාණය, සිග්නල් තිබෙන ප්‍රමාණය, GPS, බ්ලූටූත් හෝ WiFi භාවිතයෙන් උපාංගය භාවිත කරන ස්ථාන, ඔබේ දුරකථන හෝ අන්තර්ජාල සේවා සම්පාදකයාගේ නම, භාෂාව සහ කාල කලාපය, දුරකථන අංකය, IP ලිපිනය ආදී සියලු දේ සහ පරිගණකයෙන් යද්දී බ්‍රවුසර වර්ගය ආදී පරිගණකයේ විස්තර ද ඔවුන් ලබා ගන්නා බව ඔවුන්ගේ දත්ත ප්‍රතිපත්තියෙහිම දක්වා තිබෙනවා. ෆේස්බුක් එකවුන්ට් එක හදද්දී මම එකඟයි (I agree) කියා කොටුවකට හරි ලකුණක් දමා මේ සියල්ල ලබා ගන්නා ලෙස අපිම ඔවුන්ට අවසර දුන්නා. අපි ඒ ගැන නොදන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොව අපි එම දත්ත ප්‍රතිපත්ති නොකියවූ නිසායි. මෙය තවත් විධියකට බැලුවහොත් අපිව රවටා අත්සන් කරගෙන ඉඩමක් ලියවා ගත්තා වගේයි. මේ ආකාරයට මේ තරම් කාලයක් ඔවුන් රැස් කරගත් දත්ත පිළිබඳව ලෝකයේ දෑස හැරුණේ ඔවුන් ඒවා ලබා ගත්තත් අඩු තරමේ ඒවා ආරක්ෂා නොකරන ලද බවට ඇතිවූ භීතිකාවත් සමඟයි.

භයානක තත්ත්වය නම්, සෙවනැලි ගිණුම් ඇති වීමයි. ඔබ ෆේස්බුක් පාවිච්චි නොකරන කෙනෙක් වුවත් ඔබේ දුරකතන අංකය, ඊමේල් ලිපිනය ආදී දත්ත ෆේස්බුක් සිටින ඔබේ මිතුරෙක් සතුව තිබුණහොත් ඒවා ෆේස්බුක් වෙත ලැබී ඔබ වෙනුවෙන් සැඟවුණු ගිණුමක් හෙවත් දත්ත ගොනුවක් සැකසෙනවා. එම දත්ත ඔවුන් වෙත ලැබීම පිළිබඳව ඔබේ අවශ්‍යතාවයක් නොතිබෙන නිසා ෆේස්බුක් විසින්ම ඒවා බලෙන්ම ලබාගැනීමක් වැනියි. ෆේස්බුක්හි ගිණුමක් සකසාගත් කෙනෙක්ට තමන්ගේ දත්ත වෙනත් අයට නොපෙනෙන සේ සැකසිය හැකිවූවත් ගිණුමක් නොමැත්තෙකුට එවන් සැකසුමක් කරන්නට කිසිදු ක්‍රමවේදයක් නැහැ. මේ නිසා එම දත්ත පිළිබඳව ගැටලුවක් මතු වෙනවා. සෙනට්වරුන් මේ ගැන විමසූ විට මාර්ක් සකර්බර්ග් නිරුත්තරව බලාගෙන සිටියා. මෙවන් අනෙකුත් ප්‍රශ්නවලදීත් ඔහු දුන් පොදු පිළිතුර වූයේ “මම මගේ කණ්ඩායමත් එක්ක මේ ගැන කතා කරලා බලන්නට අවශ්‍යයි.” යන වගකීම් විරහිත ප්‍රකාශයයි. ඉන් ලොවට හැඟී ගියේ නිර්මාතෘවරයා ද නොදන්නා ආකාරයේ දේවල් එතුළ සිදුවන බව හෝ ඒ දේවල් දැන දැනත් ඔහු මඟහරිමින් සිටින බවයි. සෙනට්වරයෙක් “ඔබ කැමතිද ඊයේ රාත්‍රියේ ඔබ හිටපු හෝටලයේ නම ප්‍රසිද්ධියේ කියන්න? ඔබ කැමතිද ගිය සතිය තුළ ඔබ මැසේජ් කරපු අය ගැන මෙතන ප්‍රසිද්ධියේ කියන්න?” ලෙස සකර්බර්ග් ගෙන් විමසුවා. “නැහැ සෙනට්තුමණි, මට එහෙම කියන්නට අවශ්‍යතාවක් නැහැ” ඔහු පිළිතුරු දුන්නා. “අන්න ඒකට තමයි පෞද්ගලිකත්වය කියන්නේ. මීට වඩා ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.” සෙනට්වරයා සකර්බර්ග්ට කරුණු වටහා දුන්නා.

දැනටමත් ෆේස්බුක් සතුව තිබූ දත්ත පිටතට ගොස් ඇති නිසා එයට කරන්නට දෙයක් නැහැ. ඉතිරිව ඇත්තේ අනාගතයේ නැවතත් එවැන්නක් සිදු නොවීමට වග බලා ගැනීමයි. පසුගිය දිනවලදීද ඇප්එක මත ඔවුන් පෞද්ගලිකත්ව සැකසුම් යළි බලන්නට උනන්දු කරවනු ලැබූවත් ඔවුන් ලබා ගන්නා, ෆේස්බුක් නොසිටින අයගේ දත්ත ආදිය පිළිබඳව තවමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. සෙනට්වරුන්ට දෙන්නට පිළිතුරු නැතත් තමන්ගේ පරිශීලකයන්ට සහ පරිශීලකයන් නොවන යන දෙපාර්ශවයට ම ඉදිරි දිනවලදී පිළිතුරු බඳින්නට සිදුවන අතර මේ වන විටත් ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් ආදීන් #deleteFacebook නමින් ඇතිවූ ප්‍රවණතාව ඔස්සේ යමින් තම ගිණුම් සහ පිටු ෆේස්බුක් වෙතින් ඉවත් කර ගෙන තිබෙනවා. එවන් තත්ත්වයක් යටතේ අපිට ද තවදුරටත් ෆේස්බුක් හරහා යහ ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉවත් වීම නුවණට හුරුවනවා. තමන්ගේ දත්ත නොවටිනා බවත්, ඔවුන්ට ඒවා ලැබුණාම අපට මොකදැයි හැඟුණත්, ජාතියක් වශයෙන් ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. අපේ සහ පවුල්වල අයගේ විස්තර හා මිතුරන්ගේ විස්තර ආදී මහත් ජාලයක මේ තොරතුරු ත්‍රස්තවාදියකුට ලැබී නිශ්ශබ්ද මරණ සංහාරයක පිඹුරුපත් සැකසෙන කාලයක් එළැඹෙන තුරු අප බලාසිටිය යුතු නැහැ.

තඹරු විජේසේකර

Comments