මේ වළඳෙන් කෑම ඉව්වොත් සියයට තිහක් ගෑස් ඉතිරියි | සිළුමිණ

මේ වළඳෙන් කෑම ඉව්වොත් සියයට තිහක් ගෑස් ඉතිරියි

 විද්‍යාව නිසා ගෟහ ආර්ථිකයට සහනයක් ලැබේ නම් එය මහත් සතුටකි. ආහාර පිළියෙල කිරීමේදී කාලය සහ ඉන්ධන ඉතිරියකට මග පාදන අපූරු ආහාර පිසීමේ වළඳක් නිපදවීමට කුරුණෑගල ප්‍රසන්න විතානගේ නම් වූ නව නිපැයුම්කරුට හැකියාව ලැබී ඇත. ඔහු පසුගිය වසරේදී තමන්ගේ නව නිපැයුමක් සඳහා රීදී සම්මානයෙන් පිදුම් ලැබුවේය.

වසර කිහිපයක සිට විවිධ නිපැයුම් ඉදිරිපත් කරමින් සිය හැකියා කුසලතා පෙන්වූ ප්‍රසන්න තමන්ගේ නවතම නිපැයුම් වන පහසුවෙන් ආහාර පිසීමට උපකාරී වන වළඳ පිළිබඳව අදහස් ප්‍රකාශ කළේ මෙසේය:

“ගමේ ගොඩේ ජීවත් වන අපිට ආහාර පිසීම සඳහා ඉන්ධන ලෙස දර භාවිත කළත් අහක යන තාපය මහ අපරාධයක් බව මට තේරුණා. අපට දර තිබුණට බොහෝ අයට ඒ පහසුකම් නෑ. මට හිතුණා ගෑස් ඉන්ධන ලෙස භාවිතා කරන අයට එය ඉතිරි කරගන්න මාර්ගයක් නිපදවූවොත් හොඳයි කියලා. තීන්ත ටින් අරගෙන විවිධ පර්යේෂණ කළා. අත පිච්චුණා. බොහෝ දෑ කරවුණා. ප්‍රගතියක් ලැබුවේත් නෑ. ඒත් වැඩේ අත්හරින්නත් බැහැ. මෙවැනි නිපැයුමක් වෙනත් කවුරුත් කරලත් නෑ. ඒ පිළිබදව දැනුවත් අයත් නෑ.

මේ නිපදවන වළඳ ලෝහ බඳුනක් විය යුතුයි යනුවෙන් ස්ථිර අදහසක් මට තිබුණා. ඒ නිසා බෝතල් පත්තර කඩ, පැරණි ගෟහ ආශ්‍රිත මෙවලම් විකුණන තැන් සොය සොයා ඇවිද්දා. දවසක් මම සෙවූ ආයිත්තම් මට හමු වුණා. ඒවා ජපානයේ ඉවත් කළ ලෝහ කොටස්. ඇලුමිනියම් පාස්සන්න ඉගෙනගෙන තිබූ නිසා මේ ලෝහ කැබලි අවශ්‍ය ආකාරයට කපා කොටා මගේ සිහිනය නිර්මාණය කළා. මේ සදහා වසරක කාලයක් මට ගතවුණා. පෙර වසරවලදී වෙනත් නිපැයුම් සාර්ථකව සිදු කළ නිසා මෙවර මගේ අධිෂ්ඨාන ශක්තිය හීන කරගත්තේ නැහැ.

මේ අලුත් ආහාර පිසීමේ වළඳේ විශේෂත්වය ඉවුම් පිහුම් කිරිමේදී 30%කට වැඩි ගෑස් ප්‍රමාණයක් ඉතිරි කිරීමයි. හතර දෙනකුගේ නිවෙසකින් මාසයකට රුපියල් හාරසීයක් පමණ මේ වළඳ භාවිතයෙන් ඉතිරි කර ගත හැකියි. ලංකාවේ පවුල් ලක්ෂ දොළහකට වැඩි පිරිසක් ගෑස් භාවිත කරනවා. ඒ අනුව රජයට ඉතිරිවන මුදල කොපමණ ද කියා ගණන් බැලිය හැකියි. තාප ධාරිතාව වැඩිකිරීම සදහා තඹ ලෝහයත් භාවිත කොට තිබෙනවා. බාහිරින් තාප පරිවාරකයක් යොදා ඇත්තේ ගෟහණින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. කාර්යක්ෂමතාව වැඩි නිසා නිවෙසකට ප්‍රමාණ දෙකකින් මෙවැනි වළං දෙකක් හොඳටම ප්‍රමාණවත් වේවි.

පාසල් අධ්‍යාපනයේදී විද්‍යාවට ආදරය කළා. මෝටර් රථ විද්‍යාව පිළිබඳව පවතින ගැටලුවකට අදහසක් විද්‍යා ගුරුතුමාගෙන් ප්‍රශ්න කළ විට ඔහු මා අධෛර්යවත් කළේ ඕවා කරන්න පුළුවන් වැඩ නොවන බව කියමින්. එහෙත් වර්තමානයේ මෝටර් රථ වෙනුවෙන් මම එදා කල්පනා කළ බොහෝ දේ අද මෙවලම් සහිතව ක්‍රියාත්මක වෙනවා. එදා මම ඒ ඔස්සේ ගියා නම් අද මම මෝටර් රථ ඉංජිනේරුවෙක්.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මම කුරුණෑගල කාර්මික විද්‍යාලයට ඇතූළු වුණා. ඉගෙන ගත්තේ වාහන විදුලි කාර්මික ශිල්පයයි. පසුව වරකාපොළ බහුතාක්ෂණික ආයතනයෙන් විදුලි ශිල්පය ප්‍රගුණ කළා. ගෟහ විදුලි කාර්මිකයකු ලෙස ජීවන ගමන ආරම්භ කළා. බොහෝ වෙලාවට ගෟහ විදුලි ආම්පන්නවල සිදු වන දෝෂ මෙන්ම අලුත්වැඩියාවන්ට යොමු වූවා.

භෞතික විද්‍යාව මගේ ප්‍රියතම විෂයක්. සංනයනය, සංවහනය සහ වීකිරණය තාපය පාඩමේ රස විඳින්න පුළුවන් තැන් විදුලිය සහ සංවේදක පිළිබද මා ආශාවෙන් ලත් දැනුම ඒ ඔස්සේ නව නිපැයුම් බිහි කිරීමට මා ධෛර්යවත් කළා. වාහනවල ඉදිරි අසුන ඉදිරියේ ආරක්ෂිත වායු කොට්ටය (Air bag) හඳුන්වා දුන් රොහාන් පල්ලේවෙල මහතා දුන් ධෛර්යය නිසා නැවැත නව නිපැයුමකට අවතීර්ණ වී වායු සමිකරණ සහිත සපත්තුවක් නිර්මාණය කළා.“

මේ නිර්මාණ ශිල්පියාගේ ආහාර පිසීමේ වළඳ මුලින්ම ඉදිරිපත් කෙරුණේ වයඹ පළාත් නව නිපැයුම් තරගයටය. එයින් තේරීපත් වූ නිසා ජාතික තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබුණි. විවෘත තරගයට ඉදිරිපත් වීම මත රිදී සම්මානය ලබා ගැනීමට සමත් විය. එහි සාර්ථකත්වය මත අදාළ පේටන්ට් පත ලබා ගැනීම සඳහා මේ වන විට ඉල්ලීම් කැර ඇත. මෙය ආහාර පිසීමට යෝග්‍ය සුදු යකඩ විශේෂයකින් නව නිපැයුමක් ලෙස වෙළෙද පොළට එක් කිරීමට ප්‍රසන්න උත්සාහ ගනී. මේ සදහා ගෟහ උපකරණ විකිණීමේ පුරෝගාමි ආයතන වෙත තම නිෂ්පාදනය ඉදිරිපත් කිරීමට නොඉවසිල්ලෙන් පසු වන්නේ පේටන්ට් පත්‍රය ලැබෙන තූරුය.

භෞතික විද්‍යාවේ තාපය පාඩම තුළින් සංනයනය, සංවහනය සහ විකිරණය යන තේමාවන් යටතේ විවිධ පර්යේෂණ වෙත යොමු වූ ප්‍රසන්න වායු සමීකරණ සපත්තුවක් නිර්මාණය කළේ මීට වසර දෙකකට පෙරය. ජාතික නව නිපැයුම් කොමිසම මෙහෙයවූ පළාත් සහ ජාතික තරග වෙත ඉදිරිපත් කර සහතික පතක් ලබා ගත්තෙකි. උණුසුම් පරිසරයන්හි සහ විවිධ කර්මාන්ත ආයතනයන්හි සේවක ප්‍රජාවට සෞඛ්‍යාරක්ෂිතව පැලඳිය හැකි සපත්තුවේ විශේෂත්වය පය තිබු සැණින් අලුත් සිසිල් වායු ධාරවන් පය වෙත ලබා දීමයි. සවයංක්‍රීයව සිදුකෙරෙන ක්‍රියාවලියක් මත මේ සපත්තුව නිර්මාණය කර වෙළෙඳ පොළට නිකුත් කිරීම සදහා ප්‍රධාන පෙළේ පාවහන් සමාගමකට යොමු කළත් ඔවුන් පවසා ඇත්තේ සැපැයුමට ප්‍රමාණවත් ඉල්ලීමක් නොමැති බවය. ඉන්දියානු සමාගමක් පවසා ඇත්තේ පළමුව සපත්තුව සාදා වෙළෙඳපොළට යොමු කර ඉන් පසු ප්‍රසන්න වෙත මුදලක් ලබා දීමට කටයුතු කළ හැකි බවයි. එහෙත් ඉන්දියාවේ කර්මාන්ත සහ නිෂ්පාදන ප්‍රතිපත්තිය අනුව ඉන්දීය ජාතිකයකු හරහා ගනුදෙනු කළ යුතු බවයි. එයට එතරම් විශ්වාසයක් නොමැති බව ප්‍රසන්න කියයි.

විදුලිය පිළිබඳව නිපුණතාවක් ලබා ඇති ප්‍රසන්නගේ මීළඟ වෑයම සාම්ප්‍රදායික වායුසමීකරණය වෙනුවට ස්වාභාවික සිසිලනය සලසන වායු සමීකරණ පද්ධතියක් නිර්මාණය කිරීමයි. ඒ සදහා පානීය ජලය රැඳවීමට යොදාගන්නා ගුරුලේත්තුවේ සිසිලන ක්‍රමය භාවිතා කිරීමටය. විශාල ගොඩනැගිල්ලකට පවා වායු සිසිලනය භාවිතා කරමින් අයුරින් මේ උපකරණ සැදිය හැකි බවත්, වායූන් ප්‍රවාහනය සදහා පීඩන පද්ධතියක් යොදාගැනීමට පමණක් සුළු විදුලි ධාරවක් ලබා ගන්නා බව පවසයි.

චම්පිකා වීරසූරිය ආදරණීය බිරිය ප්‍රසන්නගේ නව නිපැයුම් සදහා උදවු දෙන්නීය. දියණිය අසිනි විතානගේ උසස් පෙළ හදාරන අතර, පුතා විහඟ විතානගේ රොබෝ තාක්ෂණය සම්බන්ධව උසස් අධ්‍යාපනය ලබයි.

අවසාන වශයෙන් ප්‍රසන්න විතානගේ කියා සිටියේ ලංකාව වැනි රටකට අවශ්‍ය ඕනෑම මෙවලමක් නිර්මාණය කිරීමට හැකියාව ඇති පුද්ගලයන් අපේ රට තුළම සිටින බවයි. නිසියාකර මග පෙන්වීමකට නම් පාසල් අධ්‍යාපනය මඟින් දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම වැදගත් බවයි. නිසි පුහුණුවක් හෝ ජාතික හැඟීමක් නැති පුහුණුකරුවන් වෙනුවට දක්ෂ නිපුණතා ඇති පිරිස් බිහි කර ඔවුන් කාර්මික අධ්‍යාපන සහ නිපුණතා ගොඩනැගිය හැකි බවයි. විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය, නිපුණතා අමාත්‍යාංශ එක්ව රටේ නිපුණතා ගොඩනැගීමට එක් විය යුතු බවයි.

ජායාරූප සහ සටහන
අනිල් ලසත් පෙරේරා පන්නිපිටිය විශේෂ

Comments