රනිල් - සජිත් එකතු විය යුතුමයි | සිළුමිණ

රනිල් - සජිත් එකතු විය යුතුමයි

- රනිල් කියන්නේ ආණ්ඩුව. සජිත් කියන්නේ විපක්ෂය. මම හිතන්නේ මේ රට දියුණු කරන්න මේ දෙන්නා එකතු විය යුතුයි
- අපි හොඳ දේ හොඳයි කියනවා වගේම නරක දේට විරුද්ධවත් සිට ගන්නවා
- මම මේ කියන කතාවයි, ආණ්ඩුවට එකතු වීමයි ගළපන්න එපා
- අපි කොතැනින් හෝ වැරැද්ද හදාගත යුතුයි
- ආණ්ඩුව ගන්නකොට ඩොලර් එවන්න කියන නායකයන්ගෙන් අපිට වැඩක් නැහැ.

රටේ අනාගතය වෙනුවෙන් රනිල් සජිත් එකට එකතු විය යුතු බවට ඔබ යෝජනා කර තියෙනවා. ඇයි ඒ වගේ අදහසක් ඉස්මතු වුණේ?

මෙහි යටිපෙළ අදහස ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ රටේ ජනාධිපති. නො එසේ නම් ආණ්ඩුව. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ විපක්ෂය. ඔහු මුළු විපක්ෂයටම නායකයා. අද රට පත්ව ඇත්තේ ඉතාමත් නරක තැනකට. බුද්ධිගලන ප්‍රශ්නය විශාලයි. රෝහල්වල වෛද්‍යවරු නැති තත්ත්වයකට පත්වෙලා. අපේ රටේ වෛද්‍යවරු, මහාචාර්යවරු, තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ වෘත්තිකයන් ඇතුළු 15,000 කට වැඩි පිරිසක් රට හැර යනවා කියලා අසන්නට ලැබුණා. ආර්ථිකය කඩා වැටී තියෙනවා. මේ සියල්ලත් සමඟ අපේ රට කොතැනකට ද යායුත්තේ කියලා අපි කල්පනා කළ යුතුයි. එසේ නම් ආණ්ඩුව හැටියට ජනාධිපතිතුමාත්, විපක්ෂය ලෙස විපක්ෂ නායකතුමාත් හා සියලු පක්ෂත් එකතු වී මේ රට ගොඩනඟා ගන්න ජාතික ප්‍රතිපත්ති සැකසිය යුතු වෙනවා. ඒ සඳහා සියලු දෙනා එකතු විය යුතුයි. තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සකස් කර ගත යුත්තේ එම දේශපාලන ප්‍රතිපත්ති සාක්ෂාත් කරගත හැකි ආකාරයටයි. එසේ නොවුනොත් ඡන්දය ලබා දීමටවත් ජනතාවක් මේ රටේ ඉතුරු වෙන්නේ නැහැ.

ඔබ අදහස් කරන්නේ මේ අවස්ථාවේ රජයත් සමඟ එකතු වී වැඩ කිරීමට විපක්ෂයට ප්‍රබල වගකීමක් ඇති බවද?

විපක්ෂ නායකතුමා කියනවා ආණ්ඩුවේ යහපත් වැඩවලට කොන්දේසි විරහිතව ඔහු සහය දක්වන බව. මෙහිදි විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා. මේ වැඩපිළිවෙළ සඳහා විපක්ෂයත් සමඟ එකඟතාවකින් යුතුව රටේ පුරවැසියන් සේ සිතා වැඩ කළ යුතුයි. ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කරගෙන ඒ අය සමඟ එකතු වී සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාව මත මේ රට සමෘද්ධිමත් කිරීමේ වැඩපිළිවෙළ ගොඩනඟා ගත යුතුයි. වසර 25 කින් හෝ අපේ රට කොතැනකට ද ගෙනියන්නේ කියන ජාතික ප්‍රතිපත්ති මාලාවක් තවමත් අපේ රටට නැහැ. අනිකුත් රටවල මේ වැඩපිළිවෙළක් තියෙනවා. මේ සඳහා දායක වීම සැමගේම වගකීමක් වෙනවා.

ඔබ පවසන්නේ මේ අවස්ථාවේ රනිල් සජිත් එකතු විය යුතු බවද? එය ප්‍රායෝගිකව සිදුකරන්නේ කෙසේද?

සමහරු මා කියූ දේ තේරුම් ගන්නේ ස.ජ.බ ය හා යු. ඇන්. පි.ය එකට එකතු වී යායුතු බවටයි . නමුත් මම කියන්නේ පුළුල් දෘෂ්ටිකෝණයකින් මේ දෙස බලන්න කියා. රනිල් කියන්නේ ආණ්ඩුව. සජිත් කියන්නේ විපක්ෂය. මම හිතන්නේ රට දියුණු කරන්න මේ දෙන්නා එකතු විය යුතුයි. එසේ නොමැතිව ආණ්ඩුව ගන්නකොට ඩොලර් එවන්න කියන නායකයන්ගෙන් අපිට වැඩක් නැහැ. මේ වෙලාවේ ජනතාව දුක් විඳිනවා. අපේ ප්‍රතිපත්ති හදා ආණ්ඩු හදනකොට කාලයක් ගත වෙනවා. අද 32,000 ක ගුරු හිඟයක් පවතිනවා. අදාළ තීරණ අරගෙන ගුරුවරු දෙනකම් දරුවන්ගේ අහිමි වන කාලයට වගකිව යුත්තේ කවුද?. දේශපාලන වාසි බලාගෙන එහා මෙහා කෑගහන අයගෙන් මම අහන්නේ දරුවන්ගේ නැතිවන කාලය ලබා ගන්නේ කොහොමද කියා. දරුවන්ගේ අධ්‍යාපන සම්බන්ධයෙන් ලබා දෙන තීන්දු ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස මම ගෞරවයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. බදු ප්‍රශ්නය ජනතාවට දැඩිව බලපානවා. හැමෝම එකඟ වන වැඩපිළිවෙළකට එකතු වෙන්න කියලයි මම ඉල්ලන්නේ.

මෙය ඔබගේ ඉල්ලීමක් ද? නැතිනම් පක්ෂයේ ඉල්ලීමක් ද?

මහජන නියෝජිතයකු ලෙස මෙය මගේ පෞද්ගලික ඉල්ලීමක්. ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා නම් එය පෙන්වා දීම අපේ කාර්යයක්. මගේ පෞද්ගලික මතයක් ලෙසයි මම මෙය ප්‍රකාශ කළේ.

ඔබ විපක්ෂ නායකවරයාට මේ අදහස ඉදිරිපත් කළා ද?

මම පෞද්ගලිකව මේ ගැන ජනාධිපතිතුමාට හෝ විපක්ෂනායකවරයාට කියන්න ගියේ නැහැ. එය මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරක් පමණයි.

ආණ්ඩුවත් සමඟ එකතු වී ඉදිරියට යාම පිළිබඳ විපක්ෂ නායකවරයාගේ අදහස කුමක්ද?

එය ඇසිය යුත්තේ විපක්ෂ නායකවරයාගෙන්.

විපක්ෂය ආණ්ඩුවට එකතු වී සහය දිය යුතුව තිබුණේ රට දැඩි ආර්ථික අර්බුදයකට පත්වූ අවස්ථාවේදීයි. නමුත් දැන් ඊට ප්‍රමාද වැඩියි නේද?

කලින් එකතු නොවුණා නම් යළිත් එකතු නොවිය යුතුයි කියා දෙයක් නැහැනේ. අපි කොතැනින් හෝ වැරැද්ද හදාගත යුතුයි. කා අතින් හෝ සිදුවූ වැරැද්දක් හදාගන්න හොඳම අවස්ථාව මේකයි.

විපක්ෂය ආණ්ඩුවට එකතු වන බවට පසුගිය කාලයේ බොහෝ රාව පැතිරුණා. පක්ෂයේ අනිකුත් අයගේ අදහසත් මෙයමද කියලා සැකයක් මතුවෙනවා?

ආණ්ඩුවට එකතු වෙනවා කියා මෙය ගළපා නොගත යුතුයි. ජනාධිපතිතුමා වටා ඉන්නේ මේ රට විනාශ කළ කණ්ඩායම. පසුගිය කාලයේ මහා පරිමාණ වංචාවලට අනුබල දුන් අයත් සමඟයි ජනාධිපති ඉන්නේ. මම මේ කියන කතාවයි, ආණ්ඩුවට එකතු වීමයි ගළපන්න එපා. මම ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ.

අවස්ථා ගණනාවකදි රජයට එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළා. නමුත් ඒ සියලු අවස්ථාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළා?

ප්‍රතික්ෂේප කිරීම, අවංකභාවය පිළිබඳ ගැටලු තිබුණ බවට මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයටත් වැරැද්දක් වුණා නම් ඒ වැරුද්ද නිවැරැදි කර ගන්න අවස්ථාව තියෙනවා. මොකද අපේ රට තියෙන්නේ නරක තැනක. රටේ අනාගතය ගැන විශ්වාසයක් නැතිව ගිහින්. අරගලයේදී පාරට බැස්සේ අපේ රටේ මධ්‍යම පාන්තිකයන්. ඒ නිසා අරගලයේ පරමාර්ථය ඉෂ්ට වී ඇත්ද යන්න ජනතාව තුළ මතයක් තියෙනවා. අද තරුණ පරපුරට විශ්වාසයක් නැතිව ගියේ ඒ නිසයි. ඒ නිසා අපි අරගලයට පාර කපන්නේ නැතිව ඉදිරි අවුරුදු 25දී ලෝකයේ අනිකුත් රටවල් සමඟ කරට කර සිටින තැනකට ඒමට නම් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ගැන සජබයේ අදහස මොකක්ද ?

ජනාධිපතිතුමාගේ හොඳ වැඩවලට අපේ සහයෝගය තියෙනවානේ. අපි හොඳ දේ හොඳයි කියනවා වගේම නරක දේට විරුද්ධවත් සිට ගන්නවා. ආණ්ඩුව වැරැදි පාරක යනවා නම් විපක්ෂයේ වගකීම එය හරි පාරකට යොමු කිරීමයි. මේ විරුද්ධවීම් වැරදියට නොගත යුතුයි. මේ සියල්ලම කරන්නේ ජනතාව වෙනුවෙනුයි. ඒ කාර්ය විපක්ෂයෙන් සිදුවෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ ඇතැම් වැඩවලට විපක්ෂයේ සහය ලැබෙනවා.

ජනාධිපති රනිල් යටතේ අගමැති සජිත් විය යුතු බව ද ඔබගේ අදහස ?

මම පෞද්ගලිකව මේ දෙන්නට කැමැතියි. මෙය මගේ දේශපාලන මතය නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේත් හොඳයි කියන්න ගතිගුණ තියෙනවා. ඒ ආකාරයෙන් බැලුව හොත් මේ පුද්ගලයන් දෙන්නටම මම කැමැතියි. මාව දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතා. දැන් මගේ පක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා. මේ දෙන්නා මේ රට හරි තැනකට ගේනවා නම් මම හරි සතුටුයි.

මේ දෙදෙනා යළිත් එකතු විය යුතු බවද එයින් අදහස් කරන්නේ..?

අනිවාර්යයෙන්ම. මේ පක්ෂ දෙක පමණක් නොව සියලු පක්ෂ එකතු වී රට ඉදිරියට ගෙන යායුතු යන මතයේ මම ඉන්නවා. ඒ සඳහා සියලු පක්ෂ පෙළ ගැසිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ අපි එක්සත් ජාතික පක්ෂයට එකතු වන බව නෙමෙයි.

Comments