ඇමතිවරුන්ගේ ඉස්කෝල ගැන අනුලාවේදී ජනපති කිව්වේ මොනවාද? | සිළුමිණ

ඇමතිවරුන්ගේ ඉස්කෝල ගැන අනුලාවේදී ජනපති කිව්වේ මොනවාද?

මේ දිනවල අධික පෑවිල්ල හේතුවෙන් රටම රත්වී තිබෙන අතර, එම උණුසුම දේශපාලන ක්ෂේත්‍රයට පැමිණීම නිසා දේශපාලන වේදිකාව තවත් රත් වී තිබේ.

ඉතිහාසයේ පළමු වතාවට මරඳමඩුහිදි ජනපතිට කතාවක්

මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයේ සමාරම්භක උත්සවයට ජනපති රනිල් සහභාගී වූ පළමු අවස්ථාව මෙය නොවීය. ඔහු අගමැති පදවිය දරද්දී මෙන්ම විපක්ෂ නායක ලෙස සිටියදී ද මරඳමඩු මංගල්‍යයට සහභාගී වූවේය. මෙවර මරඳමඩු මංගල්‍යයේ සමාරම්භක උත්සවයට ජනපති රනිල්ට ද ආරාධනා ලැබුණේය. ආරාධනා ලැබුවා පමණක් නොව ඉතිහාසයේ පළමු වතාවට මරඳමඩු මංගල්‍යයකදි ජනපතිට කතාවක් කිරීමට ද අවස්ථාව හිමිවූවේය.

මාතලේදී පාසල් සිසුවෙක් ජනපති රනිල්ගෙන් විමසුවේ කුමක්ද?

ජනපති රනිල් ගෙවුණු සතිය ආරම්භ කළේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වෙනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි. උත්සවය අවසන් කර දරුවන් වෙත එන විට ජනපති ඉදිරියට කිසිදු චකිතයකින් තොරව පැමිණි කුඩා සිසුවෙකු ඉංග්‍රීසි බසින් සෘජුව විමසා සිටියේ “ඔබගේ සැපදුක් කෙසේද”කියාය.

ජනපතිද I am doing well ලෙස ඊට පිළිතුරු දෙමින් ඇරඹි සංවාදය එම සිසුවාගේ අනාගත බලාපොරොත්තුව දක්වාම විහිද ගියේය. සිසුවා අනාගතයේ විද්‍යාඥයෙකු වන බව පැවසීමත් සමඟ ජනපති ද ඊට අවශ්‍ය වටපිටාව ගැන පැහැදිලි කර දුන්නේය.

මෙම කතාබහ ඒ අසල සිටි විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අසා සිටි අතර, දරුවාගේ එඩිතරභාවයත් ජනපතිගේ සරල භාවයත් ගැන ඔහු අසල සිටියවුන් සමඟ කතා කළේ ජනපති උත්සව භූමියෙන් පිටත්වූ පසුවය. ඉන්දියාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස් ලෙස විදේශ සේවයේ දක්ෂ නිලධාරිනියක වූ ෂෙනුකා සෙනවිරත්න පත් කිරීමට තීන්දු වූ අතර, චිනයේ නව තානාපති ලෙස විදේශ සේවයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට ද තීන්දු විණි.

සඳුදා සවස පැවැත්වෙන ඇමැති මණ්ඩල හමුව මෙවර පැවැතියේ එදින පෙරවරුවේය. ජාතික රූපවහිනියේ “අයි නාළිකාව” පෞද්ගලික අංශයට බදුදීම ගැන සාකච්ඡාවක් ඇදී ආ අතර, බහුතරයකගේ විරෝධය හමුවේ එය අවසන් වූවේ නැවත සංශෝධිත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමිනි.

එදින සවස අනුරාධපුරයට ගිය ජනපති පසුදා පෙරවරුවේ මන්නාරමේ මඩු දේවස්ථානය වෙත ගියේ වාර්ෂික මඩු මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමටය. දෙවස්ථානයේ පියතුමන්ලා මෙන්ම වතිකානුවේ තානාපති පියතුමන්ද ජනපතිගේ පැමිණීම අගය කළ අතර, විශාල ජනකායක් උත්සව භූමියට රැස්ව සිටියහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙන්ම කතෝලික මැති ඇම­ැතිවරු රැසක් සමඟ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

මුදල් අමාත්‍යාංශයේ ගින්න ඇතිවූයේ කෙසේද?

බ්‍රහපතින්දා ජනපති පුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයට ආවේ පෙරදින එහි ඇතිවූ ගින්න ගැනද කතා කරමිනි. මුදල් ඇමැතිගේ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යාලය පිහිටි දෙවන මහලේ මෙම ගින්න ඇතිව තිබූ අතර, එය විදුලි බුබුළක ඇතිවූ විදුලි කාන්දුවක් බව මෙහිදි හෙළිදරව් විණ.

ජනපති සමඟ සතියකට වරක් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද සහභාගී වන්නේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අමතරවය.

ජ.වි.පෙ. මොල්ටාවේ මුදල් දාලද?

“ජනතා විමුක්ති පෙරමුණේ මුදල් මෝල්ටාවේ ආයෝජනය කරලා කියලා පෙරටුගාමීන් කියනවා. ඒක ගැන තමයි දැන් සමාජයේ කතා කරන්නේ.” ඇමැති ශෙහාන් කතාව ආරම්භ කළේය. “ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ ගැන හරි ප්‍රකාශයක් ජනතාවට කළා නම් මේ මුකුත් ප්‍රශ්න නෑ. ඇත්තටම සල්ලි දැම්මද?, දැම්මා නම් ඒ කාගේ ඒවද? කියලා කිව්වා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා. දාලා නැතිනම් නෑ කියලා කියන්න ඕනේ. මේ මුකුත් නොකියන නිසා තමයි ප්‍රශ්නය තියෙන්නේ.” ඒ පිළිතුරු රාජ්‍ය ඇමැති සියඹලාපිටියගෙනි.

ජනපතිගේ කතාවට ගුරු, මාපියන්ගේ ප්‍රසාදය

“අනුලා විද්‍යාලයේ කළ කතාව ගැන සමාජය අගය කරනවා. මෙතනදි ජනාධිපතිතුමා ජෙන් ඉසෙඩ් ජෙන් ඇල්ෆා ගැන කියපු කතාව ළමයින්ට තේරුණාට වැඩිහිටියන් බොහෝමයකට තේරුණේ නෑ මම හිතන්නේ.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

“නෑ මම කිව්වේ දේශපාලනඥයෝ තවම ඉන්නේ අතීතයේ. හැබැයි මේ දරුවෝ ටික ඉන්නේ වර්තමානයේ කියලා. මොකද ඉපදුන වර්ෂය අනුව දරුවන් ඉන්න තැන නම් කරලා තියෙනවා. මේ වන විට පාසලේ ඉහළ ශ්‍රේණියේ ඉන්න දරුවෝ තමයි ජෙන් ඉසෙඩ් කිව්වේ. පළමු ශ්‍රේණියට එන දරුවෝ තමයි ජෙන් ඇල්ෆා කිව්වේ. ජෙන් එම්, ජෙන් වයි ලෙසත් දරුවෝ වර්ගීකරණය කරලා තියෙනවා. මම මෙතනදි කිව්වේ දේශපාලනඥයෝ අතීතයේ ඉන්න නිසා එයාලව වර්තමානයට ගේන්න ඕනේ. ” ජනපති දීර්ඝ විස්තරයක් කරද්දි සැමගේ දෑස් නළලේ රැඳිනි.

ඇම­ැතිවරුන් ගිය පාසල් ජනපති රනිල්ට තාමත් මතකයි

අනුලා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ සූදානම් කර තිබු තේ පැන් සංග්‍රහයට ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත‍යෝ පැමිණ සිටියහ. තේ පැන් සංග්‍රහය භුක්ති විඳින අතරතුර තමන්ගේ පාසල් කාලය ගැන කතා කිරීමටද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමතක නොකලේය.

“මෙතන ඉන්න ඔක්කොම දිහා බලපුවාහම අපි ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝලවලට ගිය ළමයි.

“මං ගියේ රෝයල් එකට. පවිත්‍රා ගියේ අනුලාවට. බන්දුල ගියේ ලුම්බිණියට. සුසිල් ගියේ නුගේගොඩ සෙන් ජෝන්ස් එකට “ යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. “ආ... මේ රොෂාන් ගියේ සෙන් පීටර්ස් එකට” යැයි ජනාධිපති කීවේ බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක පෙන්වමිනි.

“අපි ගිය ඉස්කෝල ජනාධිපතිතුමාට තාමත් මතකයි” යනුවෙන් එතන සිටි මැති ඇමැතිවරු කතා කරන්නට වූහ.

මන්ත්‍රීවරුන් එක් වී ඇමතිවරු පරදවති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අභියෝගතා ශූරතා ක්‍රිකට් තරගාවලිය මෙවරත් මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පසුගිය 12 වැනිදා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එදින උදෑසනම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගර සභා ක්‍රීඩාංගණයට පැමිණ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම්වල නිරතවන ආකාරයක් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු ඇඳුමකින් සැරසී ක්‍රීඩා පිටියට පැමිණ සිටියේය.

මේ ගැන ආරංචි වුණු නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවද සැළකිය යුතු පිරිසක් ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට පෙර සිටම නගර සභා ක්‍රීඩාංගණයට පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණි.

මහින්දගේ සහාය මන්ත්‍රී කණ්ඩායමට

“සර්, මොන පැත්තටද සෙල්ලම් කරන්නේ. ඇම­ැතිවරුන්ගේ කණ්ඩායමටද? නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමටද? යනුවෙන් විමසුවේ ඩී. වීරසිංහය.

“මං දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීනේ. ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට සෙල්ලම් කරනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කියපු කතාවට හැමෝම සිනාසුනහ.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පෙර පුහුණුවීම් සඳහා වමතින් පිත්ත හසුරවපු අතර, පන්දු යැවීමේ නිරත වූයේ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සහ මුෂාරෆ්ය. රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරග 2ක් පැවති අතර එම තරග දෙකෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. තරගාවලියේ ‍හොඳම පිතිකරු ලෙස කුසලානය දිනාගත්තේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායක ඩී. වීරසිංහය. තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස කුසල­ානය දිනා ගත්තේ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාය. හොඳම පන්දු රකින්නා ලෙස තේරි පත් වුයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වු සී.බී. රත්නායකයි. තරඟාවලියේ වීරයා ‍ලෙස තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන කුසලානය දිනා ගත්තේය.

ගුණතිලකගේ අත පනී

ගයාශාන් එල්ල කළ හතරේ පහරක් වැළැක්වීමට ගොස් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇද වැටුණු අතර, ඔහුගේ අත පැනීමකට ලක්විය.

වහාම තරගය මඳකට නතර කර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි. තරගය අවසන්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඇතුළු මැති ඇම­ැතිවරුන් නුවරඑළිය මහ‍ රෝහලට ගොස් නේවාසික ප්‍රතිකාර ලැබු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමටද අමතක නොකළේය.

පොහොට්ටු‍ව දෙස ප්‍රසන්න බලා සිටී

පසුගිය බදාදා ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගම්පහ ආසනයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් මුණගැසුනේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

“සර්.. දැන් ජනාධිපතිවරණයෙදි අපි මොකද කරන්නේ” හිටපු පළාත් පාලන නියෝජිතයකු සාකච්ඡාව අවසන්ව තේ පානය කරන අතරදි ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“අපි පැනල දෙන්න නරකයි. එහෙම වුණොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. .” ඇම­ැතිවරයා කීය.

“සර්... අලිය පිටේ නඟිනව කියල පහුගිය කාලේ ලොකු කතාබහක් ගියා. ඒත් සර්ගෙ කතාවෙන් එහෙම දෙයක් තේරෙන්නෙ නැහැ.” තවත් නියෝජිතයකු පැවසීය.

“මේ පක්ෂය හැදුවෙ අපි. නුගේගොඩ මහින්ද සුළඟ වේදිකාවට මම නැ‍ග්ගේ දේශපාලන වශයෙන් මගේ මරණ සහතිකය අතේ තියාගෙන. මොකද මම එතකොට බස්නාහිර මහ ඇමැති. පාරක්, පාරක් ගානේ, ගමක් ගමක් ගා‍නෙ ඇවිදල හදපු පක්ෂෙ දාල මම කොහේ යන්නද ලොකු අයියේ ?” ඇමැතිවරයා සුහදව පිළිතුරු දුන්නේය.

“එහෙම කරපු සර්ට අන්තිමට ලොක්කො කැපුවනේ”

“දේශපාලනය කර‍නකොට එහෙම අභියෝගවලට මුහුණ දෙන්න ඕන.” ඇම­ැතිවරයා විමසීය.

“ඒක ඇත්ත..ගියපාර මහ ඡන්දෙදි ගම්පහින් ඉල්ල පාර්ලිමේන්තු ගියපු අය අපිට කෙලවෙනකොට පැත්ත පලාතක නෑ.අන්තිමට ඉතුරු වුණේ ඔබතුමා විතරයි.”

“මම මිනිස්සු රවට්ටන්නෙ නෑ. ඇත්ත කියල පරදින්න මම බයත් නෑ.”ඇමැතිවරයා යළි කීය.

ප්‍රසන්න ඉතාම අමාරුවෙන් ගත්තු තීරණය මොකක්ද?

“මොනව වුණත් ජනාධිපතිතුමා වැඩ ටික පිළිවෙළට කරගෙන යනවා. ප්‍රශ්නත් ටික ටික විසඳෙනවා.” තවකෙකු කීය. “ජනාධිපතිතුමා ඒ තනතුරට පත් කරන්න පක්ෂය තීන්දු කළාම මම ඒකට එකඟ වුණේ හරිම අමාරුවෙන්. මම ඒ ගැන මහින්ද මහත්තය එක්කත් කතා කළා. තවත් අය එක්කත් කතා කළා. ඒක හරිම අමාරු තීරණයක්. නමුත් මම ඒ ගත්ත තීන්දුව ගැන අද සතුටු වෙනවා. ඒ තිබුණ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් එකම කෙනා තමයි වත්මන් ජනාධිපතිතුමා. සජිත්ට, අනුර කුමාරට එතුමා එක්ක හැරෙන්නවත් බැහැ” ප්‍රසන්න රණතුංග ඇම­ැතිවරයා දීර්ඝ විස්තරයක් කළේය. “ජනාධිපතිතුමාගේ ගුණ වයන නිසා තමයි සර් පනිනවා කියල ප්‍රචාරය කරන්නේ”

“ඒවා ගැන එච්චර හිතන්න එපා.2015 මහින්ද මහත්තය පැරදුණාම ඉස්සෙල්ලම අරලියගහ මන්දිරයට ගියේ මම. එතුමාගෙ බඩු ටික පැක්කරගන්න උදව් කළේ මමයි, මගේ නෝනයි, ළමයි දෙන්නයි. මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන කණ්ඩායමේ ඉස්සරහින්ම මම හිටියා. මම කරපු දේවල් එතුමට හොඳට මතකයි. මම එහෙම අවස්ථාවාදියෙක් නොවන බවත් එතුමට දන්නවා” ඇමැතිවරයා යළි කීය.

අටමස්ථානාධිපති හිමි ඇමැති බන්දුලට දොස් නැගුවේ ඇයි?

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට පහසුකම් සැලසීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමට දැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනට දෝෂාරෝපණය කළහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මගින්ට ත්‍රිරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයි ද උන්වහන්සේ කීහ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි හමු වී ආශිර්වාද ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙසේ දෝෂාරෝපණය කළහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසුහ.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට වැඩිම බැති මතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයිතරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්නේ නැහැ.

දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිම් ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුණත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සියපනහක්, දාහක් ඒ අයගෙන් අයකරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. “දෙවතාවක් සීටීබී බස් රථ ධාවනය කරන්න උත්සාහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොටගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බියවෙලා තියෙනවා. දුම්රිය මඟින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න අමතර බස්දාලා හරි ආණ්ඩුවට බැරි නම් ඇමතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමතිතුමාගෙන් අහන්න කැමතියි”.

සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම පොහොය දිනවලටත් අනුරාධපුරයට එන බැතිමතුන් වෙනුවෙන් දුම්රිය හා ලංගම ඒ්කාබද්ධ බස්සේවාවක් ඇතිකිරීම සඳහා කෙසේ හෝ බස් රථ දෙකක් ලබා දෙන බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී අටමස්ථානාධිපති හිමියන් හමුවේ පොරොන්දු විය.

ලාන්සාගේ සෙට් එක කෝට්ටේ නිවසක රහස් කතාබහක

නව සන්ධානයේ ප්‍රවර්ධන කටයුතු මේ දිනවල දිස්ත්‍රික් මට්ටමින් ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.දැනට එකතුවී සිටින මන්ත්‍රීවරුන් අතරින් දිස්ත්‍රික් නායකයින් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් සිය ආසනවල නියෝජිතයින්ද සහභාගී කර ගනිමින් එම කටයුතුවල නිරතවන බව රාජගිරිය පිහිටි නව සන්ධාන කාර්යාලය පවසයි.

මේ අතරවාරයේ නව සන්ධාන අනුබද්ධ සංවිධාන ස්ථාපිත කිරීම සුගීශ්වර බණ්ඩාර සහ එස්.අමරසිංහගේ මැදිහත්වීමෙන් නොනවත්වාම සිදුවෙමින් තිබෙන අතර, දිස්ත්‍රික් 5ක අනුබද්ධ සංවිධාන 22ක් දැනට ස්ථාපිත කර අවසන් වී තිබේ. ඒ අතරට නව සන්ධාන භික්ෂු සංවිධානය, දහම් පාසල් හා පිරිවෙන් ගුරු,ගොවි,රුපලාවණ්‍ය, ත්‍රිරෝද, ආයෝජන සැකසුම් කලාප සේවක, වතු කම්කරු ඇතුළු විෂයන් රැසක් ඒ අතරට ඇතුළත් බව සුගීශ්වර බණ්ඩාර පවසයි. මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතු සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා රහසිගත සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්නගේ පිටකෝට්ටේ,එපිටමුල්ල පාරේ පිහිටි නිවසේදී පැවැත්විණි. මේ සඳහා අනුර යාපා,දුමින්ද දිසානායක සහ රජයේ අමාත්‍ය තනතුරු දරන ප්‍රබල අමාත්‍යවරුන් හත්දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

"දැන් පොහොට්ටුවෙන් ලොකු කතාවක් යවන්න හදනවා නව සන්ධානයත් බැසිල්ගේ වැඩක් කියලා"ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කතාවට මුල පිරුවේය.

"නව සන්ධානයේ ඉන්නේ බැසිල්ගේ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු,දේශපාලනයේ නොකිලිටි නොකැළැල් මිනිස්සු"පියංකර කිවේය.

"අපි ජනතාවට කියන්න ඕන මෙතන දෙපැත්තේ කකුල තියාගෙන ඉන්න මිනිස්සු නෑ කියල"නලින් ප්‍රනාන්දු කීවේය. "ඔව්..අපේ කණ්ඩායමේ ඉන්න කිසිම කෙනෙක් ආයේ රාජපක්ෂ කඳවුරේ කිසිම කෙනෙක් එක්ක දේශපාලනය කරන්නේ නෑ..ඒක ඉර හඳ වගේ විශ්වාසයි,රාජපක්ෂලාගේ දේශපාලනය එපා කියල තමයි මම අයින් වුනේ. ලන්සත් එහෙමයි"පියංකර ඉතිහාසය මතක් කළේ තරමක් කේන්තියෙනි.

නව ලෝකයට ගැළපෙන ලෙස අලියා වෙනස් කරන හැටි වජිර කියයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නව ආසන බලමණ්ඩලය පිහිටුවීම පසුගිය ඉරිදා සවස එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

හම්බන්තොට දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ආනන්ද කුලර්තනගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම රැස්වීමට හිටපු අමාත්‍ය පී. හැරිසන්, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති සිරි අන්ද්‍රාහැන්දදිගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී දේවක වීරසිංහ, හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු රංජිත් මුතුමාල, තංගල්ල එජාප සංවිධායක දිනේෂ් ප්‍රියන්ත, මහාචාර්ය එච්. එම්. සිරිල්, බෙලිඅත්ත එජාප සංවිධායක කැළුම් මානවඩු, තංගල්ල ලක්වනිතා ලේකම් චමිලා ලක්ෂ්මි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගීව සිටියහ. පැමිණ සිටි පිරිස ඇමතු වජිර මෙහිදී ප්‍රකාශ කර සිටියේ, “අපේ පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තුවෙනවා ලබන මාසයේ මුල වන විට පක්ෂ සම්මේලනයක් කැඳවලා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්න.

ඔබ බලනවා ඇති ඇයි හදිසියේම පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කියලා. පක්ෂ ව්‍යවස්ථාව අපි වෙනස් කරන්නේ නව ලෝකයට ගැළපෙන පරිදියි. අපේ රට ලෝකයත් සමඟ ඉදිරියට යන්න නම් දේශපාලන පක්ෂත් ඒ ආකාරයට වෙනස් විය යුතුව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේ කඩා වැටුණු රට භාරගත් ගමන් පාර්ලිමේන්තුවේදී සියලු දෙනාටම ආරාධනා කළා එකතු වෙන්න කියලා. මට මේ රට තනියම ගොඩගන්න බැහැ, ඒකට අපි සියලු දෙනාම එකතු වෙමු කියලා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාරගත්තේ සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක්. බංකොලොත් කියලා ලෝකය හමුවේ ප්‍රකාශ කළ රටක්. ඇයි අපේ රටට එහෙම වුණේ. අද ඇතැම් අය අවුරුදු 75 ක ඉතිහාසය ගැන කතා කරනවා. ඒ 75 ක ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ දෙපැත්ත බෙදිලා බොරු කියපු නිසයි අපිට අද මෙවැනි තත්ත්වයක් උදා වුණේ. “ යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

13 ගැන වජිරගේ මතය

වජිරගේ අදහස් දැක්වීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන්ද වජිරගෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇති ප්‍රශ්න ඉදිරිපත් කළේය.

“දැන් මේ ඔබතුමා ඔය කියන කාරණාව පොහොට්ටුවේ මන්ත්‍රීවරු නම් තේරුම් අරගෙන නෑ වගේ, අපි දැක්කා යම් යම් විවේචන එල්ල කරනවා ජනාධිපතිවරයාට, මේ වෙලාවේ තිබෙන්නේ ආර්ථීකය හදන්න, 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා රට බෙදන කතන්දරයක් මතු කරන එක නොවෙයි කියන කාරණාව, මොකද්ද ඒ සම්බන්ධව ඔබතුමාගේ මතය වෙන්නේ?, මොකක් හරි ගැටුමක් ඇතිවෙලා තිබෙනවාද?” යැයි එක් මාධ්‍යවේදියෙක් වජිරගෙන් විමසීය. “මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරුම ලක්ෂණය තමයි, සියලු දෙනා කියන කරුණුවලට ඇහුම්කන් දෙන එක. ඒ ඒ පුද්ගලයන් ඒ ඒ ප්‍රශ්න දිහා විවිධ විදිහට බලනවා, ඔවුන්ගේ මතය ප්‍රකාශ කරනවා. 

ඒ පිළිබඳව අප කලබල විය යුතු නැහැ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක නීතියක්, සම්මතයි. ඒක පළාත් සභා මන්ත්‍රීවරු, එහෙම නැතිනම් එහි සිටින නිලධාරීන් භුක්ති විඳින දේපොළ අයිතිවාසිකම්, ඒවා මහජනතාවටත් ලබා දිය යුතුයි. දැන් මන්ත්‍රීතුමාට පුළුවන් නම් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන අයිතිවාසිකම් භුක්ති විඳින්න, ඒකෙ පහළට ගමන් කළ යුතුව තිබෙනවා. මහජනයාට එයින් ලැබෙන වරප්‍රසාද ලබා දීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා." යැයි වජිර ඔහුට පිළිතුරු දුන්නේය.

අජිත් රාජපක්ෂගේ කතාවට කොරියානු සරසවි සිසුහු මවිත වෙති

පසුගිය 17 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි දකුණු කොරියානු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා මුණගැසුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදීය. මෙම දකුණු කොරියානු විශ්වවිද්‍යාල සිසුන් පැමිණ සිටියේ දකුණු කොරියාවේ සෙමාවුල් පදනමේ සම්බන්ධීකරණයෙන් මෙරට පාසලක ස්වේච්ජා වැඩසටහනක් වෙනුවෙනි.

එම සිසුන් හුඟදෙනෙකු මහත් උනන්දුවක් දැක්වූයේ මෙරට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙනි.

“අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නිදහස් අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන පිටවෙනතුරු මේ රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනය. පෞද්ගලික අධ්‍යාපනයත් තියෙනවා. නමුත් අති බහුතරයක් සිසුන් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයක්” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කරන විට දකුණු කොරියානු සිසුහු මවිත වී එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

Comments