අපි එකතු කරගන්නේ ඉතිහාසයේ නිවැරදි ගමන් මගක යන අය විතරයි | සිළුමිණ

අපි එකතු කරගන්නේ ඉතිහාසයේ නිවැරදි ගමන් මගක යන අය විතරයි

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වීම සඳහා විපක්ෂ නායකයා මේ වන විට සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වනවා නේද? මේ වන විට සන්ධානගත වීමකට දේශපාලන පක්ෂ එකතු වෙලා තියෙනවාද?

විපක්ෂයේ ශක්තිමත් සන්ධානයක් ගොඩනැඟිය යුතුයි කියන තැන අපි ඉන්නවා. නමුත් අපි එහිදී බොහෝ විට පක්ෂයට එකතු කරගන්නේ ඉතිහාසයේ නිවැරදි දේශපාලන ගමන් මඟක ගිය පිරිස පමණයි. එවැනි අයත් සමඟ අපි සාකච්ඡා පවත්වනවා. රටේ ඉදිරි අනාගතය ගැන හිතලා ශක්තිමත් සන්ධානයක අවශ්‍යතාව අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව අපි මේ වනවිට එවැනි දේශපාලන කඳවුරු සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නවා.

විපක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් චෝදනාවක් කරනවා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ; ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන් කිසිදු පියවරක් ගෙන නැහැ කියලා ඔබ ඒ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද?

මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවීම ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම මම දකින්නේ රටේ සියලු ක්ෂේත්‍රවලට බලපාන දෙයක් විදිහටයි. විශේෂයෙන් ආර්ථීක ක්ෂේත්‍රයටත් එය බලපානවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බවට ප්‍රබලම සාක්ෂිය තමයි; රටේ පසුගිය දිනවල මැතිවරණ නොපවත්වා ආණ්ඩු පත්වීම. මැතිවරණවලින් නොවෙයි; මේ ඇතැම් අයහපත් දේ වුණේ. දේශපාලනික ස්ථාවරත්වය රටක ආර්ථීක ස්ථාවරත්වයට ඍජුවම බලපානවා නේද?

එය ඍජුවම බලපාන බවට හොඳම සාක්ෂීය විදෙස් ආයෝජනය 2018දි බිලියන 2.1 ඉක්මවා ගියා. 2019 දි බිලියන 1.1 වුණා. මේ අතර පාස්කු ප්‍රහාරයක් ආවා. ඉන්පසුව මොකද වුණේ, කුමන්ත්‍රණයක් ඇවිල්ලා ආණ්ඩුව වෙනස් වුණා. නීත්‍යනුකූලව අද කිසිදෙයක් වෙන්නේ නැහැ. ඉන් අනතුරුව කොවිඩ් ආවා කියලා අපිට කියන්න පුළුවන්. 2022දි බිලියන 1.1 විතර ගියා. පළමුවැනි කාර්තුවේදි මිලියන 200ක් පමණ වුණා. බිලියන දෙක ළඟට තවම කිට්ටු වෙලා නැහැ.

ඝාතන මහමඟ මරණ සිදුවීම මම දකින්නේ නම් අනිවාර්යෙන්ම ආර්ථිකයටයි ආයෝජනයන්ට සංචාරක කර්මාන්තයටයි බලපාන ආකාරයයි. මේ රට අස්ථාවරයි; මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක විදෙස් රටවල සංචාරකයන්ට සහ ආයෝජකයන් අතරට යෑම අතිශයින්ම හානිදායකයි. මෙය ආර්ථියට බලපාන එක භයානකයි. අපරාධ සිදුවුණාම මිනිසුන් අත්අඩංගුවට ගැනීම අධිකරණවලට ඉදිරිපත් කිරීම සිදුවිය යුතුයි. ඒගැන නඩු අහන්න ඕන; එහෙම තත්ත්වයක් අපිට පේන්නෙ නැහැ. 2019 වසරේදී විභාගයට නොගත් අධිකරණ නඩු හත්ලක්ෂ හැටතුන්දහසක් තිබුණා. 2021 වනවිට එය ලක්ෂ එකොළහක් වුණා. ඒ කෙටි කාලයට සියයට 44කින් ඉහළ ගියා. එනම් අවුරුදු 2ක් ඇතුළත. නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාව ගැනයි මම මේ කතා කරන්නේ. ඊසොප් ඩියුන් බිස්නස් දර්ශකයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 200කින් ලංකාව තියෙන්නේ 99 වැනි තැන. කොන්ත්‍රාත් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ ලංකාව තියෙන්නේ 164 වැනි තැන මේවා සැබෑම ගැටලුව. වාණිජ කරුණු සම්බන්ධයෙන් යම් අධිකරණයක අවශ්‍යතාවය මතුවෙලා තියෙනවා. මෙවැනි ක්ෂේත්‍රවල නඩු කල් යනවා. අනෙක් රටවල ඒවාට සීමා තියෙනවා. ලංකවේ එවැනි අර්බුද තියෙනවා.

මේ දූෂණ වංචා මිනිමැරුම් සියලුම ආණ්ඩු යටතේ තිබුණා. නමුත් බලයේ සිටින කාලයේ කිසිදු ආණ්ඩුවක් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඔබ එයට එකඟයිද?

හැබැයි අපි අමතක නොකළ කරුණක් නම් පසුගිය අවුරුදු 29 තුළ මේ රටේ විධායකයේ ප්‍රධානියා එකම පක්ෂයකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැනත් අපි කල්පනා කරන්න අවශ්‍යයි. නිදහස් පක්ෂය කිව්වා; එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්වා. ඉන් පසුව පොහොට්ටුව කිව්වා. නමුත් මේ එකම කට්ටියක් තමයි විධායකයේ ප්‍රධානියා වුණේ.

මේ රටේ පක්ෂ දේශපාලනය පිළිබඳව ජනතාව කලකිරිලා ඉන්නේ. පුද්ගල චරිතවලට පමණක් යම් කැමැත්තක් දක්වන බව බොහෝ දෙනාගේ අදහස. ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක්ද?

එහි පවතින්නේ අර්ධ සත්‍යයක්. නමුත් අසත්‍යයක්මත් නොවෙයි.

එක් පැත්තකින් එහි සත්‍යතාවක් තියෙනවා. එජප නිදහස් පක්ෂය සන්ධාන පොහොට්ටු ආණ්ඩු කළා. නමුත් ඒ අයට බැරි වුණා; මේ රටේ ජනතාවට යම් සහනයක් කරන්න; මම විශ්වාස කරනවා මොන පක්ෂයෙන් ආවත් සුදුසු පුද්ගලයන්ට තැන දිය යුතුයි. දූෂණ වංචාවලින් තොර සදාචාරාත්මක මිනිසුන් විය යුතුයි. ප්‍රශ්න තියෙන පුද්ගලයන් හොරකම දූෂණවලට හසුවෙලා තියෙන අය බරපතළ චෝදනා කරලා තියනවා නම් ඒ අය ගැන බලන්න අවශ්‍යයි.ඒ වගේම දැනුම බොහොම වැදගත්. එසේම අධ්‍යාපන මට්ටම වඩා වටිනවා. විශේෂයෙන් ආණ්ඩුවක් කරනවා නම් දැනුම සහ අධ්‍යාපනය අවශ්‍යයි. අත්දැකීම් තිබිය යුතුයි. සදාචාරය, අධ්‍යාපනය, හික්මීම සහ අත්දැකීම් අත්‍යවශ්‍යයි. නමුත් සමහර අය කියනවා අපිට මේ රට හදන්න පුළුවන් කියලා. නමුත් ඒ අය කවදාවත් බලයේ ඉඳලා නැහැ. ඒ අයගෙන් අපි ප්‍රවේශම් විය යුතුයි. සදාචාරය, අධ්‍යාපනය, අත්දැකිම් තිබිම ප්‍රධාන අංග. ඒවා අත්‍යවශ්‍යයි. සමහර අය රට හදන්න යනවා; සුපර් මාර්කට් එකක් තියා තේ කඩයක්වත් කරගන්න නිසි කළමනාකාරිත්වයක් නැහැ. ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ජිවිත කාලයටම දේශපාලනය විතරයි කරලා තියෙන්නේ. ජිවිත කාලයටම රැකියාවක් කරලා නැහැ. අත් දැකීම් නැහැ. විධිමත් ක්‍රමවේදයකට මේ අය කිසිදු ආයතනයක රැකියාවක්වත් කරලා නැහැ. අත්දැකීම් නැහැ. නියම ක්‍රමවේදයකට හුරුවෙන්න නම් නිසි අධ්‍යාපනයක් වගේම වෘත්තියක ඉදලා එහි අත්දැකීම් තියෙන්න අවශ්‍යයි. එක් පුද්ගලයකුට පමණක් රටක් හදන්න බැහැ. අවුරුදු හතළිහක්ම අපි එකම ස්ලෝගන් එක අහලා තියෙනවා.

එක එක්කෙනාට රට හදන්න පුළුවන් කියන තැන ඒ අය ඉන්නවා. නමුත් කිසිදු කෙනෙකුට එහි වගකීමක් ගන්න බැහැ. එක්කෙනකුටවත් එහෙම කරන්න බැහැ. දේශපාලන පක්ෂ සංකීර්ණයි. සමාජ ප්‍රශ්න සංකීර්ණයි. කණ්ඩායමක් අවශ්‍යයි. ඒ කණ්ඩායමට දැනුම අවශ්‍යයි. රැකියාවක් කරද්දිත් සාමූහිකව කටයුතු කළ යුතුයි. අධ්‍යක්ෂ මණ්ඩලය, පාලකයෝ, සේවකයා, විගමනය, වැය වීම් තියනවා වගේ විනිවිද ආකාරයට කටයුතු කළ යුතුයි. රට ගොඩනඟන්නත් එසේ විය යුතුයි. ලෝකය සමාජය විශාල ලෙස සංකීර්ණ වෙලා තියෙනවා. පසුගිය කාලයේ එක් පුද්ගලයෙක් පත් කරගෙන මේ රට ආපස්සට ගත්තානේ. ඒ නිසා අපි දැන් වෙනස් විය යුතුයි. පෝලිම්වල ගිහින් ඡන්දය දීලා ඉක්මනින් කලකිරෙන්නේ ඒකයි. සමඟි ජන බල වේගයට නායකයෙක් ඉන්නවා. නමුත් කණ්ඩායම දිහා බලන්න අවශ්‍යයි. හොඳම කණ්ඩාම් හැඟීමකින් ඉන්න පිරිස අපි තෝරා ගත යුතුයි.

මෙයට හේතුව මේ රටේ දේශපාලනික පක්ෂ තුළ කණ්ඩායම් හැඟීමක් නැහැ කියලද ඔබ කියන්නේ?

පුද්ගලයකුට විතරක් රට ගොඩනඟන්න බැහැ. එක්කෙනෙක් ගැන විශ්වාසය තියලා මොකද වුණේ කියලා අපිට ඉතිහාසයේ අත්දැකීම් තියනවා. එහෙම කරන්න බැහැ දේශපාලන පක්ෂ සංකීර්ණයි. සමාජ ප්‍රශ්න සංකීර්ණයි. කණ්ඩායමක් අවශ්‍යයි. විනිවිඳ ආකාරයට කටයුතු කළ යුතුයි. රට ගොඩනඟන්නත් එසේ විය යුතුයි. ලෝකය සමාජය විශාල ලෙස සංකීර්ණ වෙලා තියනවා. සිංගප්පූරුව ගොඩනැඟුවෙ ලී ක්වාන් තනියම නොවෙයි ඔහුට දහදෙනෙක් විතර හිටියා. රට දිහා බලන විට කණ්ඩායම දිහා බලන්න අවශ්‍යයි. අපි දැන් වෙනස් විය යුතුයි පෝලිම් වල ගිහින් ඡන්දය දිලා ඉක්මනින් කලකිරෙන්නවා. සමඟි ජන බල වේගයට නායකයෙක් ඉන්නවා. නමුත් කණ්ඩායම දිහා බලන්න අවශ්‍යයි. හොඳම කණ්ඩාම් හැඟීමකින් ඉන්න පිරිස අපි තෝරා ගත යුතුයි. අපිට වඩා හොඳ කණ්ඩායමක් ඉන්නවා නම් ඒක අපිට අභියෝගයක්. සියල්ල බලලා හොඳම කණ්ඩායමකටයි අපි ඡන්දය දිය යුත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවේදී දේශීය ණය මූලික වශයෙන් ගෙවිය යුතු බව ද සඳහන් කරනවා. මෙයට ඔබ එකඟද?

එය එසේ සිදු විය යුතුයි. අරමුදලත් සමඟ ගිවිසුම්ගත වෙලා තියෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ආවා අවුරුද්දකට උඩදි. එහිදී ඒ ගිවිසුමෙන් අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට යන්න වෙලා තියෙනවා. රජය එම සාකච්ඡා ඇති කරගෙන තිබුණත් රජයට තවම බැරි වෙලා තියෙනවා ගිවිසුමකට එන්න, ණය දුන්න පාර්ශ්ව සමඟ ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල්. අපේ ණයෙන් සියයට 40ක් පමණ විදෙස් ණය. දේශීය ණයත් සියයට 40යි. ඒ ණය ප්‍රතිව්‍යුහගත කරනකොට රජය කිව්වා මුලිකව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කළ යුතුයි කියලා කිව්වා. ඉන්පසුව විදෙස් ණය සමඟ යම් කිසි එකඟතාවකට එන්න පුළුවන් කියලා රජය කිව්වා. මම ඒ තර්කය නම් පිළිගන්නේ නැහැ. විදෙස් ආයෝජකයන් ඇවිල්ල අපේ බැඳුම්කරවල මුදල් දාලා විශාල ලෙස මුදල් ලබා ගත්තා. ඒ අයට ලැබෙන ලාබය අපේ රටවල වැඩියි. එතකොට ඒ අය යම් කිසි අවදානමක් ගන්නවා; බංකොලොත් වුණාම ඒ අවධානම ක්‍රියාත්මක විය යුතුයි; දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට පාර්ශ්ව දෙකකට දැම්මා. එකක් මහ බැංකු භාණ්ඩාගාර බිල්පත්. එය අරගෙන දිර්ඝකාලීනව ඒ අයට බැඳුම්කර දීමක් සිදු කරනවා. දෙවැනිව විශ්‍රාම අරමුදල්. සේවක අර්ථ සාධක අරමුදල. එය විශ්‍රාම වැටුපට පමණක් සීමා කළා. ඒවා සියයට 90 තියෙන්නේ බැඳුම්කරවල. ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න කියලා කිව්වා. යෝජනා දෙකක් කළා. එහිදී වසර 16කට පමණ පසුවට කල්දැම්මොත් වසරකට සියයට 9ක් දෙන බව පැවසුවා. එසේ නැතිනම් ලැබෙන ලාබයෙන් සියයට තිහක බද්දක් ගහන බව කිව්වා. පළමුවැනි කාරණාව එය විශ්‍රාමික අර්ථ සාධක අරමුදලට පමණක් ඇයි සිමා කළේ කියන කාරණාව මතුවෙනවා. බැඳුම්කර තියෙන හැම කෙනෙක්ට මෙය කරන්න තිබුණා. බැඳුම්කර ධනපති පන්තියේ පිරිසකට තියෙනවා. ඒවගේම බැංකුවලට තියෙනවා. දැනටත් සියයට 35 පමණ තියෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට පමණක් ඉලක්ක කරලා මෙවැනි දෙයක් කිරීමට වෑයම් කරනවා කියලද ඔබ කියන්නේ?

සමාජ සාධාරණත්වය පැත්තෙන් හරිම වැරදි ක්‍රියාවලියක් ඇත්තටම සාධාරණත්වයක් නැහැ රජයේ ව්‍යවස්ථාවේ 12 /1 තියනවා සමාජ සාධාරණත්වයක් තිබිය යුතු බව කියනවා. සැමෝටම එක හා සමාන විය යුතු බව කියනවා. 27 වැනි ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති හදනකොට ජනාධිපති කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව සමාජ සාධාරණත්වය සහ සමාජ ආරක්ෂණය ඇතිවෙන විදිහට කටයුතු කළ යුතු බවයි. මෙහෙම වෙන්කරලා එය අසාධාරණයක් කියලා මම කියන්නේ අර්ථ සාධක අරමුදලේ ඉන්නේ ලක්ෂයකට වඩා අඩු ආදායම් ලබන පිරිසයි. අඩු ආදායම් ලබන අයයි ඉන්නේ ඒ අසාධාරණය නැති කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙනුයි අපි ඉදිරිපත් වෙන්නේ.

Comments