IMF යන්න කිව්වේ මමයි කියලා අන්තිමේදී ඡන්දෙ නොදී මග ඇරියා | සිළුමිණ

IMF යන්න කිව්වේ මමයි කියලා අන්තිමේදී ඡන්දෙ නොදී මග ඇරියා

සමගි ජන බලවේගය නියෝජනය කරන ඔබ ඇයි පක්ෂයේ මතයට පිටින් ගිහින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නෙ

පක්ෂයේ මතයක් ප්‍රකාශ කළේ නැහැනෙ. සභා ගැබෙන් පිටවෙනවා කියන්නෙ මතයක් ඉදිරිපත් කිරීම නෙමෙයිනෙ. සභාවෙන් පිට වෙනවා කියන්නෙ කැමැත්ත දෙනවා වගේ වැඩක්. ඇත්තෙන්ම ඒ අය සභාවෙන් පිට වෙලා ගියේ ලැජ්ජාවට කියලයි මට දැනෙන්නෙ.

කැමැත්ත එකවර ප්‍රකාශ කරන්න බැරි නිසා කරපු දෙයක් කියලයි රටේම ජනතාව දැක්කෙ. ප්‍රධාන විරුද්ධ පක්ෂය විදිහට සභාවේ ඉඳගෙන එක්කො විරුද්ධ වෙන්න ඕන. නැත්නම් පක්ෂ වෙන්න ඕන. එහෙමත් නැත්නම් සභාවේ ඉඳගෙන ඒ දෙකම නොකර ඡන්දය දීමෙන් වැළකී ඉන්න ඕන. ඒ අය සභාවෙන් ගියේ කැමැත්තට ඍජුව එකඟ වෙන්න බැරි නිසා. විරුද්ධ වුණා නම් අනිවාර්යෙන්ම මමත් විරුද්ධ වෙනවා. ඒ පක්ෂයේ මතයට ගරු කිරීමක් හැටියටයි.

නමුත් පක්ෂයේ අය සියලු දෙනාම එසේ පිටව ගියා. පෙර ඒ අය කතිකා කරගෙන තිබුණු බවක් වාර්තා වෙනවා.

එහෙම කතාවක් කියනවා. මම ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ. එහෙම නම් මාව දැනුවත් කරන්න ඕන. මට කිසි කෙනෙක් කිව්වෙ නැහැ සභාවෙන් පිටව යනවා කියලා.

ඇයි ඔබ පක්ෂව ඡන්දය ලබා දුන්නෙ

මේ වෙලාවෙ රටට ගොඩ එන්න තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පමණයි. ඒක අපි හැමෝම දන්න දෙයක්. අපේ පක්ෂයෙනුත් වරින් වර කිව්වනෙ අනිවාර්යෙන්ම එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම පමණයි කියලා. ඒ තීරණයට අනුව මම ඡන්දය ලබා දුන්නා. ඒ රටේ අනාගතය ගැන හිතලයි.

ඔබ හිතන්නෙ ඇයි ඒ අය ඡන්දය නොදී මඟ හැරියෙ?

මම හිතන්නෙ ලැජ්ජාවට වෙන්න ඕන. ඒ වගේම අපි ජනතා නියෝජිතයො හැටියට සුදුසු අවස්ථාවෙ ජනතාව ගැන හිතල තීරණ ගන්න ඕන. ජනතාව වෙනුවෙන් තමයි අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙ. එහෙම ජනතා නියෝජිතයො ලෙසින් අපි මඟ හරිනවා කියන්නෙ ජනතා නියෝජනයට පයින් ගැසීමක්නෙ. අනික් එක අපේ පක්ෂයෙ නායකයොමනෙ කිව්වෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියල. අපේ පක්ෂ නායකයා පහුගිය දවස්වල පුන පුනා කිව්ව ‘පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වෙ මමයි‘ කියල. එහෙම කියලා අන්තිමේ සභාගැබෙන් මඟ හරිනව කියන්නෙ පක්ෂව කටයුතු කරනව කියන එකනෙ.

පක්ෂයෙන් ඔබට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට මේ වන විට ප්‍රකාශ වෙලා තියෙන්නෙ...

මට කිසි කෙනෙක් නිල වශයෙන් මේ වන තෙක් දැනුවත් කරලා නැහැ. ආරංචි එනවා එහෙන් මෙහෙන්. රූපවාහිනියෙන් දැක්ක. ඒත් මම ඒ ගැන දන්නෙ නැහැ. මේ දවස්වල තරමක් අසනීපයි. එහේ මෙහේ යන්න බැහැ. හමුවෙන්න එන අයත් සීමා කරල තියෙන්නෙ.

යම් ආකාරයකින් ඔබ පක්ෂයෙන් නෙරපුවහොත් ඔබ මොකද කරන්නෙ?

ඒකට රටේ අධිකරණයක් තියෙනවනෙ. අපි නීතියෙන් බලාගනිමුකො 

ඇත්තෙන්ම රට ගැන හැඟීමකින් යුතු කටයුත්තක් කළාද? එහෙමත් නැත්නම්..

ඔව්. ඇත්තෙන්ම රට ගැන හැඟීමෙන් තමයි මම මේ තීරණය ගත්තෙ. පක්ෂයක් විදිහට යම් තීරණයක් සාධාරණ හේතු සහිතව ගත්තා නම් පක්ෂයේ මතය ලෙසින් මට ඊට එකඟ වෙන්න ඉඩ තිබුණා. නමුත් රට මේ අවස්ථාවේ මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වෙන ක්‍රමය මොකක්ද? අඩුම ගානේ ක්‍රමයක් ඉදිරිපත් කරන්න ඕනනෙ. ක්‍රමයකුත් නැතුව දැනට පේන එකම ක්‍රමයට පයින් ගහලා ආයිත් පෝලිම් යුගයක් ඇති කරන්න දායක වෙන්න මට බැහැ. මම අවුරුදු ගාණක් කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළින්ම මැතිවරණ ජයගත්තා. මගේ දේශපාලනයේ පක්ෂ පාට ජාති භේද නැහැ. කවදාවත් මට චෝදනාවක් ඇවිත් තියෙනවද අහවල් කණ්ඩායමට වැඩියෙන් උදවු කළා කියල. මට මහජන දින නැහැ. හැමදාම මහජන දිනයක්. ඕනෑම වෙලාවක මම ඉන්නවා නම් මාව හමුවෙන්න පුළුවන්. දුරකතනය ඕනෑම වෙලාවක විවෘතයි. ඒක මාධ්‍යවේදියෙක් ලෙස ඔබත් දන්නවා. මම සැබැවින්ම ජනතා නියෝජිතයෙක්. අනාගත පරම්පරාවට අපි රටක් ඉතුරු කරන්න ඕන. ඒ රටේ අවශ්‍යතාව වෙනුවෙන් මම කටයුතු කළා.

ඔබට විරුද්ධව ගොනු වුණු නඩුවක් තියෙනවා. මේ ඡන්දය ආණ්ඩුව පැත්තට ලබා දීම ඒකෙන් බේරීමට උප්පරවැට්ටියක් කියල කිව්වොත්...

නඩුවලින් බේරෙනව නම් මීට කලින්ම මට ඔය වගේ තීරණ ගන්න තිබ්බනෙ. නඩුව දාල කොච්චර කල් ද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපති වෙලා කොච්චර කල් ද? ඒ දවස්වලම මට ඒ විදිහට කටයුතු කරන්න තිබුණනෙ. අනික් එක වැරැදි නොකරපු මම මොකටද බය වෙන්නෙ.

ඔබ ආරම්භයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක්. දැන් ස.ජ.බ. , මේ ඡන්දය ලබා දීම එවැනි තවත් පැනීමක පෙර නිමිත්තක්ද?

මේ වනතුරු මගේ එහෙම අදහසක් නැහැ. මම රජෙක් වගේ හිටපු කෙනෙක්. එහෙම පක්ෂයක ඇමැතිකම් දාල තමයි මේ පක්ෂයට එක් වුණේ. ඒ ජනතාව වෙනුවෙන්.

ඔබ එහෙම ආවෙ ජනතාව ගැන හිතලා කියනවා. එහෙම ආපු ඔබ හිතනවද සජබය ගැන ජනතා ප්‍රසාදයක් තියෙනවා කියලා.

ඇත්තෙන්ම නෑ. ජනතාව මේ වෙනකොට තේරුම් අරගෙන තියෙන්නෙ සජබ නායකත්වය දුර්වලයි කියලා. ජනතාව දුර්වල නායකත්වයකට කැමැති නැහැ. ජනතා ප්‍රසාදය එන්න එන්නම අඩුවෙනවා.

පෞද්ගලිකම ඔබේ මතය කොහොමද?

මේ කරන වැඩත් එක්ක පිළිගන්න පුළුවන් නායකත්වයක් නෙමෙයිනෙ තියෙන්නෙ. මම කලින් කිව්ව වගේ ඇමැතිකම් ආදි සියල්ල දාල තමයි එකතු වුණේ. ඒත් පක්ෂයේ ක්‍රියාකාරීත්වය, ක්‍රමවේදය ගැන සෑහීමට පත් වෙන්න බැහැ.

මම තමයි කිව්වෙ කොළඹ දිස්ත්‍රික්කයේ මුජිබර් රහුමාන් පළාත්පාලන මැතිවරණයට දාන්න එපා කියල. ඒ යම් කිසිවිදිහකින් මැතිවරණය කල්ගියොත් ඒකෙන් මුජිබර්ගෙ දේශපාලනයට හානිවෙන නිසා. වෙන කෙනෙක් නම් කියනව දාන්න කියල. මොකද මුජිබර් පාර්ලිමේන්තුවෙන් ගියායින් පස්සෙ මටයි හැම පැත්තෙන්ම අවස්ථාවක් තියෙන්නෙ ඉස්සරහට එන්න. ඒත් මම ඒ විදිහට කටයුතු කළේ නැහැ. මම කිව්වෙම නගරාධිපතිකමට දාන්න එපා කියල. අන්තිමට වුණේ මොකක්ද? එයාගෙ බෙල්ල කැපිලා ගියා වගේ වැඩක්. අත්දැකීමෙන් හොඳ හිතින් කියන දෙයක් පිළිගන්නෙ නැති නායකත්වයක් යටතේ වැඩ කරන්නෙ කොහොමද?

ඔබ කියන හොඳ නායකත්වය වත්මන් ජනාධිපතිවරයාගෙන් පිළිඹිබු වෙනවාද?

අනිවාර්යෙන්ම එතුමා හොඳ නායකයෙක්. එතුමාට හමුවුණු පළමු අවස්ථාව මේක ලෙසයි මම දකින්නෙ. ඒ කියන්නෙ අනික් හැම අවස්ථාවෙම එතුමා හිටියෙ දෙවෙනියා වෙලා. හමුවුණු පළමු අවස්ථාවෙම එතුමා උපරිම විදිහට රට ගැන හිතලා කටයුතු කළා.

ඉන්ධන පෝලිම් තිබ්බා, ගෑස් පෝලිම් තිබ්බ, ලයිට් කැපිල්ල දවසට පැය 10ක් විතර දක්වා ගියා. ඒ අපහසුතා දැන් මඟ හැරී ගිහින්, ඒක ජනාධිපතිතුමාගෙ උත්සාහයේ ප්‍රතිඵලයක් කිව්වොත් ඔබ පිළි ගන්නවාද?

අනිවාර්යෙන්ම පිළිගන්නවා. එතුමා නොහිටින්න තවමත් ඒ තත්ත්වය තියෙන්න තිබුණා. තමන්ගේ දැක්ම භාවිතා කරපු නායකයෙක් ලෙස මම එතුමා දකිනවා. රට ගැන හිතීමයි පළමුව කළ යුත්තෙ.

සජබය අද බලයේ හිටියා නම් මේ ආකාරයෙන් රට තියේවි කියල ඔබ හිතනවද?

රට බාරගන්න එපායැ ප්‍රතිඵල බලන්න. එයාලට රටක් කරන්න දැක්මක් නැති නිසයි කරන්න බැරි නිසයි ඒක බාරගත්තෙ නැත්තෙ.

IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම මහා භයානක රකුසෙක් වැලඳ ගැනීමක් ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් දකිනවා. ඇත්තෙන්ම ඔබගේ මතය කිව්වොත්...

ලෝකයේ රටවල් බහුතරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගෙන තියෙනවා. අපිට එහෙම එකක් පේන්න නැහැනෙ. අපි දැන ගන්න ඕන ගත්තු ණය ආපසු ගෙවන ක්‍රමවේදයක් සකස් කරන්න. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දොස් කියල වැඩක් නැහැ. අවශ්‍යතාව අපේ, ඒ අය ණය දුන්නා. අපි ගෙවන ක්‍රමය හදන්න ඕන, රට ගොඩගන්න ගමන්. අනික් එන ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් හැම කෙනාම කිව්වෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගත යුතුයි කියලා. දැන් මේ දෙබිඩි කතා ඇයි?

අවුරුදු 7කින් පමණ මේ ණය මුදල දෙගුණ වන බවක් කියනවා. ඒ ගැන ඔබ දැනුවත්ද?

එහෙම දෙයක් වෙන පාටක් නැහැනෙ. අනික් එක මේ වෙනකොට රටේ උද්ධමනය හුඟක් අඩු වෙලා. මම හිතන්නෙ තව අවුරුද්දක් යනකොට රටේ හුඟක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියලා.

මේ අවස්ථාවේ විපක්ෂයේ කාර්යභාරය කුමනාකාරයෙන් විය යුතුයි කියාද ඔබ කියන්නෙ.

මේ වෙලාවෙ පක්ෂ විපක්ෂ කියල කතාවක් නැහැ. රට අගාධයට වැටිල තියෙන වෙලාවනෙ. හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න ඕන පළමුවෙන්ම. මැතිවරණයක් කරන්නත් රටක් තියෙන්න ඕනනෙ. එකතු වෙලා රට ගොඩ අරගන පස්සෙ පුළුවන් වෙන් වෙලා තරග කරන්න. ජනතාව ඒ වෙලාවෙ සුදුසු අය තෝරා පත් කර ගනීවි.

Comments