සිළුමිණ සලකුණු කළ බොදු ලකුණ | සිළුමිණ

සිළුමිණ සලකුණු කළ බොදු ලකුණ

රුවන්වැලි මහ සෑය ප්‍රතිසංස්කරණය කර එහි කොත් පැලඳ වීම සිදු වූයේ 1939 වසරේ නොවැම්බර් මස 23 වැනිදාය. ඒ මහා පින්කම බොදු ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම ඇස් ඇර නිවෙසේ සිටම දෙඅත් එක්කොට 'සාධු' කියන්නට අවශ්‍ය පසුබිම සකස් කළේ එවක ශත දහයේ විශ්වවිද්‍යාලය නමින් ජනතාව අතර ප්‍රකට වූ සිළුමිණ පුවත්පත මඟිනි. සිළුමිණ විසින් එදා මෙදාතුර බොදු ජනතාවගේ දැන ගැන්මට සිදු ක‍ළේ සුවිසල් මෙහෙවරකි. වර්ෂ 1940 ජූනි මස 17 වැනිදා මහ සෑයේ චූඩාමාණික්‍ය පැලඳ වීම ගැනත් සිළුමිණ ඡායාරූප සහිතව සති ගණනාවක් පළ කළ ලිපි පෙළ අදත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් විහාරස්ථානවල මහාර්ඝ වස්තූන් සේ සුරකිනු ලැබේ.

එසේ සිළුමිණ පුවත්පත ආගමික, සමාජ, සංස්කෘතික වශයෙන් එදා මෙදා තුර සිදු කළ මෙහෙවර සුළුපටු නොවේ.

වසර 93ක් වැනි කාලයක් පුවත්පතක් රඳා පවත්වා ගැනීම අභියෝගයකි. වරෙක එක්වරම ඇති වී මාධ්‍ය කලාවේ මුඳුන් පෙත්තටම නැඟී යළිත් පල්ලම් බැස ගිය පුවත්පත් මෙරට ඕනෑතරම් දක්නට ඇත. ලේක්හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන Daily News, දිනමිණ සහ තිනකරන් පුවත්පත් හැරෙන්නට වෙනත් පුවත්පතකට යම් හෝ ලෙසින් එලෙස අඛණ්ඩව පවතින්නට හැකියාව ලැබුණා නම් ඒ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට පමණි.

සිළුමිණ පළමු පුවත්පතේ සිටම විශේෂත්වය වූයේ බුදු දහම, සමාජීය, සංස්කෘතික යනුවෙන් වෙන් වශයෙන් මෙහෙවර සිදු නොකර ජනතාවගේ ධාර්මික අදහස් ඔප් නැංවෙන සේ ගුණධර්ම වැඩීම පිණිස පුවත්පත සංස්කරණය කිරීමය. ශත දහයේ විශ්වවිද්‍යාලය නමින් හැඳින් වූයේ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහය විශ්වවිද්‍යාලයක දැනුම ලබා දුන් නිසාය. ප්‍රවෘත්ති, ශාස්ත්‍රීය අතිරේකය හැරෙන්නට අනෙක් විශේෂාංග බහුතරයක් පුවත්පතේ පළ වූයේ සමාජය යහමඟට යොමු කරන සම්පාදිත ලිපි වශයෙනි. එහෙත් බුදු දහමට අනුකූලව සම්පාදනය කරන ලද ලිපි සැලකිය යුතු වශයෙන් පුවත්පතේ අඩංගු විය.

සිළුමිණ ධර්ම ලිපියක් ආරම්භ කිරීමෙන් පසු එහි රචකයා දැක්වුණේ 'අභයරාජ' නම් ආරූඪ නමකිනි. එහි අරමුණ වූයේ ලිපිය සාරගර්භ ලෙසින් පළ කිරීම මිස රචකයා ප්‍රසිද්ධ වීම නොවේ. පසුව 'සීයා' නමින්ද එම ලිහිල් ධර්මානුශාසනය පුවත්පතේ සම්පාදනය විය. එම ධර්ම ලිපිය වේගයෙන් ජනතාව අතර පැතිර ගියේය. ඒ සිළුමිණ පාඨක අදහස් හොඳින් දැන සිටි නිසාය.

නාගාර්ජුන නාහිමියන් විසින් ආරම්භ කළ නාගාර්ජුන විශ්විද්‍යාලයේ නටබුන් සොයා ගැනීමෙන් පසුව ඉතිහාසඥ ආර්. රාමස්වාමි ලවා 1931 වසරේ ජනවාරි මස 25 වැනිදා ඒ සම්බන්ධ ලිපි පෙළකින් එහි බෞද්ධ පුනරුදය සහ සංස්කෘතික මෙහෙවර පාඨකයාට ගෙන දෙන්නට ද සිළුමිණ සමත් විය.

එමෙන්ම සෑම පුන් පොහෝ දිනකට පෙර ඉරිදා දින 'විශේෂ ධර්මානුශාසනා' නමින් ලිපියක් පළ කිරීම සිළුමිණ ආරම්භ කළ විශේෂාංගයක් විය. එම නිසා පුවත්පත පොහෝ දින විහාරස්ථානයට ගෙන ගොස් දිනය පුරාම කියවීමට උපාසක උපාසිකාවෝ පුරුදු වූහ.

1927 වසරේ කැලණිය දුරුතු පෙරහර ආරම්භ කරන ලද්දේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ මව විසින් වන අතර, දුරුතු පෙරහරේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කළ තැනැත්තා ලෙසින් ඩී. ආර්. විජයවර්ධන ගෞරවයට පාත්‍ර විය. සිළුමිණ ආරම්භ කළ අවදියේ සිට එම පෙරහර එක් ආගමකට හෝ ජාතියකට සීමා නොවන බවත් එය ජාතික ආගමික සංහිඳියාවට මඟක් බවත් සිළුමිණ විසින් පෙන්වා දී තිබුණි. අදත් සහෝදරත්වයේ සංකේතයක් ලෙස එම පෙරහර පැවැත්වෙන්නේ සිළුමිණ සිදු කළ මෙහෙය නිසාය. එමෙන්ම ගංගාරාමයේ නවම් පෙරහර ද එසේ සර්වාගමික පෙරහරක් ලෙස හඳුන්වා දුන්නේ ද සිළුමිණ විසිනි. පුවත්පත ආරම්භ කළ දා සිටම අනගාරික ධර්මපාලතුමා විසින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරද්දී ඒ වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නට සිළුමිණ කටයුතු කළේ එය බුදු දහමට පමණක් නොව සමස්ත ජනතාවගේ ගුණ ධර්ම වැඩීමට හේතු වන නිසාය. අනගාරික ධර්මපාලතුමා 1932 අගෝස්තු 2 වැනිදා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ අවස්ථාවේදී එම පැවිදි පින්කමට ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේ සේයාරූ රැසක් සමඟ විස්තර පළ කරමිනි.

1956 මෙරට පැවැත් වූ බුද්ධ ජයන්ති උත්සවය සිළුමිණ වාර්තා කළ අයුරින් එදා මෙදාතුර වෙනත් කිසිදු පුවත්පතකින් බෞද්ධ උත්සවයක් වෙනුවෙන් ප්‍රචාරයක් ලබා දී නැත.

එකල සිළුමිණට ලිපි සම්පාදනය කළ හිමිවරුන් අතර කහවේ ශ්‍රී රතනසාර, ලුනුපොකුණේ ධම්මානන්ද, පැලෑනේ වජිරඥාන, යගිරල ශ්‍රී පඤ්ඤානන්ද, කරදන ජිනරතන, පොල්වත්තේ බුද්ධත්ත, විදුරුපොළ පියතිස්ස. තෙල්වත්තේ අමරවංශ, කරපුටුගල ධම්මාලෝක, වජිරාරාමයේ නාරද වැනි මහ නායක හිමිවරු වූහ.

එසේම සිළුමිණ පුවත්පත මඟින් නවකතාවක් පාඨකයන් වෙනුවෙන් ආරම්භ කළ අතර, එහි පළමු රචකයා ද භික්ෂූන් වහන්සේ නමක්ය.

අතීතයේ සිටම සිළුමිණටම වෙන් වූ බෞද්ධ පිටුවක් විය. සමාජ ප්‍රශ්න බොදු ඇසින් දැකීමේ 'මංසල' නමින් හා බෞද්ධ විශේෂ ලිපියක් ද 2000 වසරට පෙර සම්පාදනය කරන ලදී. පසුකාලීනව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ හා මාවරලේ භද්දිය හිමියන්ගේ ලිපි පෙළක් දීර්ඝ කාලයක් පළ වූ අතර, ඉන් පසුව එක් එක් හිමිවරුන්ගේ ලිපි පෙළක් ද සිළුමිණට සම්පාදනය විය. පසුව 'මසැස නොදුටු භූතයෝ' නමින් නොපෙනෙන ලෝකය ගැන බුදු ඇසින් ලිපි මාලාවක් සම්පාදනය වූයේ පාඨක අවශ්‍යතාව උදෙසාමය.

එමෙන්ම නිරතුරුවම දේශීය සංස්කෘතිකත්වයට මුල් තැනක් ලබා දුන් සිළුමිණ කිසිදු විටක පුවත්පතේ කීර්ති නාමයට හානි වන දැන්වීම් පළ කිරීමට භාර ගත්තේ නැත. එමෙන්ම ලිපියකින් හෝ ප්‍රවෘත්තියකින් රටේ සංස්කෘතියට හානි වන්නේ නම් එය පළ කළේ ද නැත. දේශීයත්වය ඔප් නැංවෙන පරිදි පෙරහර, සංස්කෘතිකාංග වැනි දේට සැමවිටම මුල් තැනක් ලබා දුන්නේය. එමෙන්ම රට වැසියාගේ අයිතිවාසිකම් ගැන මෙන්ම මාධ්‍ය අයිතිය ගැන ද සිළුමිණ නිරතුරුවම නිසි ගමන් මඟකට යොමු කිරීමට ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයෝ කටයුතු කළහ.

ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාව අනුව සර්වජන ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගන්නට ශ්‍රී ලංකා වාසීන්ට අවකාශ සැලසුණු විට එහි මුල් තැන ගත් පුවත්පත් අතර සිළුමිණ හා දිනමිණ පුවත්පත් විය. ජනතාවට නිසි අවබෝධය ලබා දෙන්නට සිළුමිණ පුවත්පත කටයුතු කළේය.

විශේෂයෙන්ම 'ඉන්දියා ලියුම' නමින් සිළුමිණ පළ කළ ලිපිය මඟින් ඉන්දියාවේ නායකයන් සයිමන් කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කළාක් මෙන් අප ද ඩොනමෝර් ප්‍රතික්ෂේප කළ යුතු බවට මතයක් ගොඩ නඟමින් අප ද ස්වරාජ්‍යය කරා ගමන් කළ යුතු බවට සිළුමිණ මතයක් ‍ගොඩ නැඟුවේය.

1936 වසරේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද සිළුමිණ ජනතාව දැනුම්වත් කිරීමට 'දේශපාලන කතාබහ' නමින් විශේෂාංග තීරයක් වෙන් කරන ලදී. එය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේගයන්ට පහසුවෙන් තේරුම්ගත හැකි ලිපි පෙළකි.

'බුද්ධාගම සහ වර්තමාන සිංහලයෝ' නමින් රඹුක්වැල්ලේ සිද්ධාර්ථ මහ නා හිමියන් විසින් දීර්ඝ කාලයක් සිළුමිණට සම්පාදනය කළ ලිපි පෙළ හුදෙක් බෞද්ධයන් උදෙසා නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සදාචාරය, සංස්කෘතිය සකස් කර ගැනීම පිණිස සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ජන ජීවිතය යහපත් ලෙස ගත කිරීම උදෙසා මයුරපාද හිමි නමින් පළ කරන ලද ලිපි පෙළ ද සමාජ සංස්කෘතියේ දියුණුව කරා යන්නට නම් අප කළ යුත්තේ කුමක්ද යන්න මැනවින් විදහා දැක්වුණි.

අධ්‍යාපන කාරක සභාවට යොමු කළ යුතු ප්‍රතිසංස්කරණ යෝජනාවලදී අප කටයුතු කළ යුතු ආකාරය ද සිළුමිණ මඟින් පැහැදිලිව පෙන්වා දී තිබුණි. විශේෂයෙන්ම ආගමික පාසල් රජයට ගැනීමේ යෝජනාව ගෙන ආවේ 1960දීය. එකල පුවත්පත් හැසිරීම දෙස සලකා බැලීමේදී පෙනෙන්නේ ලේක්හවුස් ආයතනය මෙන්ම අනෙකුත් පුවත්පත් එකම ප්‍රතිපත්තියක ගමන් ගත් බවය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දෙස මහජන නියෝජිතයන් සලකා බලන්නට වූයේ රටට වඩාත් ප්‍රගතිශීලී අධ්‍යාපන ක්‍රමයක් ලෙසිනි. එහෙත් සිළුමිණ විසින් එම ප්‍රතිසංස්කරණවල ඇති ගුණ අගුණ සමසමව විවේචනය කරන්නට විය. ඒ අනුව මහජනතාවට නිසි මාර්ගය තෝරා බේරා ගැනීමේ අවස්ථාව උදා කර දුන්නේය.

සති අන්ත පුවත්පතක් වශයෙන් සිළුමිණ සමාජ සංවර්ධනයට හේතු වන ප්‍රධාන කරුණු විවිධ අංශ කීපයක් ඔස්සේ ජනතාගත කර ඇත. විශේෂයෙන්ම සියලු ජාතීන් සමඟි සම්පන්නව එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ජන විඥාන ගත කිරීම, බටහිරට ගැති වූ සිංහල සංස්කෘතියේ සාම්ප්‍රදායික හරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන කරුණු දැක්වීම ඉංග්‍රිසි බසත් ක්‍රිස්තියානි ආගමත් ඉදිරියට දමමින් බ්‍රිතාන්‍ය ජාතිකයන් ගෙන ගිය ව්‍යාපාර හෙළා දැකීම, රට ආර්ථික පරිහානියෙන් මුදවා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කර්මාන්ත වැඩි දියුණු කිරීම පිණිස මුඩුබිම් පනත ඉදිරිපත් කරමින් ඉංග්‍රිසීන් දේශීය කෘෂි කර්මාන්තය අඩපණ කර වැවිලි ආර්ථිකය නඟා සිටුවීමට ඉඩම් කොල්ල කෑම විවේචනය කරන ලදී. එමෙන්ම පුවත්පතේ සමාජ වගකීම නිසියාකාරව තේරුම් ගනිමින් මුඩුබිම් පනත නිසා ජනතාව සමාජ විරෝධී ක්‍රියාවල යෙදීම වැළැක්වීම, ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට මඟ පෙන්වා දීම, රට ජාතිය බස හා ආගම නඟා සිටුවීමට ස්වරාජ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

Comments