අඳුරෙන් ආලෝකයට මඟ පෙන්වා සා.පෙළ ඉහළින්ම ජයගත් කොළඹ තර්ස්ටන් විදුහල | සිළුමිණ

අඳුරෙන් ආලෝකයට මඟ පෙන්වා සා.පෙළ ඉහළින්ම ජයගත් කොළඹ තර්ස්ටන් විදුහල

සිසුන් 320 දෙනාගෙන් 319 කටම උසස් පෙළ වරම්

කොළඹ අග නගරයේ ජනාකීර්ණ භූමි භාගයක පිහිටි කොළඹ තර්ස්ටන් විදුහලේ ආරම්භය සනිටුහන් වන්නේ 1950 ජනවාරි 11 වැනිදාය. එදා කොළඔ රාජකිය විදුහලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරන්නට සිසුහු 138 දෙනකුගෙන් හා පංති 9 කින් ඇරඹි මේ අපූරු අධ්‍යාපනික තෝතැන්න වර්තමානයේ සිසුහු 3750 කගේ අධ්‍යාපනික පිපාසය නිවන, අනාගතයට වැඩදායි පිරිස් බිහි කිරීමේ අරමුණු අභිලාශ වෙනුවෙන් කැපවූ භූමියකි. එදා තර්ස්ටන් පාරේ ජ්‍යේෂ්ඨ පාඨශාලාවක් වූ මෙහි ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඩී.ඊ.ඒ ෂොක්මන් ය. එදා මෙදා ආ ගමන් මඟේ සාඩම්බර අතීතයකට උරුමකම් කියමින් රටට දැයට අගනා පුතුන් බිහි කිරීමේ සද් කාර්යයේ නියැළී කොළඹ තර්ස්ටන් විදුහලේ තේමාව වන්නේ 'අඳුරෙන් ආලෝකයට රැගෙන යෑමය'.

ප්‍රාථමික අංශයේ සිට 13 වැනි වසර තෙක් සිසුන්ගේ අනාගතය තීරණය කරමින් වසර 73ක් පුරාවට කොළඹ තර්ස්ටන් විදුහල ආ ගමන් මඟේදී පාසලට අභිමානයක් ගෙන දුන් ජයග්‍රහණ බොහෝය. පසුගිය කාලය පුරාවටම ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ පංති දක්වාම තර්ස්ටන් විදුහලින් අසන්නට ලැබුණු ජයග්‍රහණ බොහෝය. පසුගිය කාලයේ ලොවම දැඩිව වෙළාගත් කොවිඩ් අභියෝගය හමුවේ වුවද, පාසල් භෞතික අධ්‍යාපනයෙන් ගිලිහී ගිය සිසුන්ට ඊට නොදෙවැනි සමබර වූ අධ්‍යාපනයක් පවත්වාගෙන යෑමට උත්සාහ දරමින්, සිසුන්ට නිවැරැදි මඟ පෙන්වීමක් ලබා දෙමින් සාමාන්‍ය පෙළ ඉහළම සාධනීය ජයක් වාර්තා කරන්නට තර්ස්ටන් විදුහලට හැකි විය. විභාග දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව 2021 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් කාර්ය සාධන දර්ශකය අනුව කොළඹ තර්ස්ටන් විදුහල දිවයිනෙන්ම 33 වැනියාත්, බස්නාහිර පළාතෙන් 13 වැනි ස්ථානයත්, කොළඹ දිස්ත්‍රික්කයේ 6 වැනි ස්ථානයට මෙන්ම කොළඹ කලාපයෙන් 6 වැනි ස්ථානයටත් පත් වීමට ඔවුන්ට හැකි විය. 2020 වසරේ පැවැති සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින්ද ඔවුහු ඉහළ ජයග්‍රහණ වාර්තා කළ අතර දිවයිනේම 59 වැනි ස්ථානයක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 23 වැනි ස්ථානයත් වාර්තා කරන්නට ඒ වසරේදී හැකි විය.

පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් 320 දෙනාගෙන් සිසුන් 319 දෙනකුම එනම්, 99.69%ක ඉහළ ප්‍රතිඵල වාර්තා කරන්නට හැකි වීම පාසල ලද කැපවීමේ ජයග්‍රාහී ප්‍රතිඵලයකි. 2020 වසරේ 98.13% ක් ද, 2019 වසරේ 96.22% ක් ද 2018 වසරේ 93% ද වශයෙන් තර්ස්ටන් විදුහල වසර ගණනාවක් සාමාන්‍ය පෙළට සිසුන් ඉදිරිපත් කරමින් ඉහළ ජයක් ලැබීය. තර්ස්ටන් විදුහලේ වත්මන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ ඇතුළු විදුහලේ ගුරු මණ්ඩලය විසින් කළ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ 75 ක්ද, A8 සාමාර්ථ 49 ක්ද, A7 සාමාර්ථ 36ක් ද ලබා ගන්නට තර්ස්ටන් දරුවෝ සමත් වූහ.

කොවිඩ් අභියෝග පැවැති කාලයේදී පාසල් ගමන අත්හැරි දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අනුගත වීමට ලංකාවේ සියලු පාසල්වලට සිදු විය. එදා තර්ස්ටන් විදුහලේ විදුහල්පතිව සිටි ඩබ්.ඒ.ජේ.පී. වික්‍රමසිංහ විදුහල්පතිවරයාගේ නිසි මඟ පෙන්වීම මත කොවිඩ් හේතුවෙන් පාසල් පද්ධතිය කඩා වැටෙන්නට ඉඩ නොදී දැවැන්ත අධ්‍යාපනික සැලැස්මක් ක්‍රියාත්මක කළේ සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා ගිලිහි යෑමට ඉඩ නොදෙමිනි. හිටපු විදුහල්පතිවරයාගේ නිසි නායකත්වයෙන් කොළඹ තර්ස්ටන් විදුහල මාර්ගගත අධ්‍යාපනය ප්‍රථම වරට හඳුන්වා දුන් පාසල් අතරට එක් විය. මේ සඳහා ප්‍රවේශයක් ලබා ගත්තේ Idea Hub නම් වැඩසටහනෙනි. ආදි තර්ස්ටන් සිසුවකු වූ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය දායකත්වයෙන් පාසලට අත්පත් වූ මෙම ස්මාර්ට් පංති කාමර සංකල්පයේ පහසුකම්වලින් සැදුම්ලත් Idea Hub, කොවිඩ් හේතුවෙන් පාසල් වැසී යද්දී සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව මාර්ගගත ක්‍රමවේදය හරහා පවත්වා ගෙන යෑමට රුකුලක් විය. මේ හරහා නිවෙසට කොටු වී සිටි සිසුන්ට විධිමත් කාල රාමුවක් හරහා මාර්ගගත අධ්‍යාපනය පවත්වා ගෙන යෑම, ඒ කටයුතු ඇගැයීම් කිරීම වස් සිසුන්ට පුණරීක්ෂණ පැවැත්වීම, විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම සිසු ආතතිය දුරු කිරිම වස් විවිධ වැඩ සටහන් මාර්ගගත ක්‍රමවේදයට පැවැත් වීමට මේ හරහා ඉඩ පහසුකම් ලැබුණි.

තර්ස්ටන් විදුහල කොවිඩ් ආරම්භයත් සමඟ විධිමත් කාල සටහනකට අනුව මාර්ගගත ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කළේ කිසිදු සිසුවකු මේ ගමන් මඟෙන් අත් නොහැරය. පාසල් ආරම්භ වන උදෑසන 7.30 - 1.30 ත් අතර කාල සටහනක් අනුව මාර්ගගත ඉගැන්වීම් සිදු කළ අතර, ප්‍රධාන විෂයයන්ට වැඩි අවධානයක් වෙන් වන්නට විය. මේ අතර පාසල විසින්ම පැවැති මූල්‍යමය දුෂ්කරතා නොසලකා මාර්ගගත විභාගයන්හි සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහා සියලු සිසුන්ට ආකෘති ප්‍රශ්න පත්‍ර ඇතුළත් වැඩ කට්ටල් සකස් කර දුන්නේ විශාල වියදමක් ඒ සඳහා යොදවමිනි. සෑම විෂයක් සඳහාම ගුරුවරු විසින්ම සකස් කළ ප්‍රශ්න පත්‍ර කට්ටල වශයෙන් මුද්‍රණය කර ඒවා සිසුන් ලවා කරවා නැවත පාසලට ගෙන්වා ගනිමින් ගුරුවරුන් විසින් පිළිතුරු පත් අධීක්ෂණය කළේ කොවිඩ් දරුණුවට පැවති වකවානුවේමය. මේ හරහා පාසල් වැසී තිබුණු අවධියේ වුවද සිසුන්ට නිවැරැදි මඟ පෙන්වීම ලබා දෙමින් ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය විය. මේ සියලු දේ සිදු වූයේ එකම කණ්ඩායමක් වශයෙනි. කොවිඩ් මධ්‍යයේ වුවද ගුරු සිසු සියල්ලන්ටම තිබුණේ එක් අරමුණකි. ඒ, සාමාන්‍ය පෙළ විභාගයට කෙසේ හෝ සූදානම් වීම පමණි. එහිදී පාසල විසින් අනුගමනය කළ විවිධාකාර වැඩසටහන් බොහෝ විය. නිවෙසට වී ගත කළ කාලයේ සිසුන් අතර මානසික පීඩාව අවම කිරීමට විශේෂ වැඩසටහන් පාසල විසින් දියත් කළේ විදුහල්පතිවරයාගේ ද අධීක්ෂණයෙනි. මාර්ගගත අධ්‍යාපනය සියලු දරුවන්ට ලබා දෙන අතර, අමතරව සිසු උපදේශනයන් පැවැත්වීම, ශාරීරික ව්‍යායාම් මෙන්ම මනස සමබරව පවත්වා ගැනීම සඳහා විනෝදාස්වාද වැඩසටහන් දියත් කරන්නට මෙන්ම ගුරු සිසු හමු පවත්වා දරුවන්ගේ ප්‍රගතිය මෙන්ම මාර්ගගත අධ්‍යාපනය මවුපිය අධික්ෂණය ඇතිව සිදු කරන්නේ කෙසේද යන්න දැනුම්වත් කිරීම් ද සිදු විය. මේ සියලු කටයුතු සඳහා විෂය ප්‍රවීණයන්ගේ මෙන්ම සම්පත් දායකයන්ගේ සහාය ද නොඅඩුව ලැබුණි. මේ කටයුත්ත සඳහා පාසලේ ආදි සිසු සංගම් දැක්වූයේ විශාල අනුග්‍රහයකි.

කොවිඩ්වලින් අනතුරුව පාසල් ආරම්භ වීමෙන් පසු වාර විභාගවලින් අඩු ලකුණු ගත් සිසුන්ට විශේෂ වැඩසටහන් පාසල විසින් ක්‍රියාවට නැංවීය. එහිදි ගණිත විෂයට අඩු ලකුණු ගත් සිසුන් වෙනමම හඳුනා ගනිමින් ඒ අය සඳහා වෙනමම පංති කාමර දෙකක වෙන් වූ අතර, ඔවුන් සඳහා වෙනමම කාල සටහනක් ක්‍රියාත්මක වූයේ අවශ්‍ය ඉලක්කය සඳහා ඔවුන් ස්ථානගත කිරීමටය. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය අරමුණු කරගෙන තර්ස්ටන් විදුහල ආරම්භ කළ 'Wings 2022' වැඩසටහනේ අරමුණ වූයේ සාමාන්‍ය පෙළ ඉහළ සාධන මට්ටමක් නොපෙන්වූ සිසුන්ට අත්වැලක් වන්නටය.

මේ හරහා විභාගයට මාස 4 කට පෙර සිට විශේෂ වැඩසටහන් දියත් වූයේ විෂය දැනුම් දියුණු කිරීමට මෙන්ම ඊට අදාළ මානසික ප්‍රබෝධවත් බව සුරකින්නටය. පාසලේ ඇති හැකි සිසුන් විසින් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට සහනයක් සැලසීම වස් ආරම්භ කළ විවිධ වැඩසටහන් විය. මේ හරහා සිසුන්ගේ අඩුපාඩු හඳුනා ගනිමින් ඊට පිහිට වීම සඳහා ගුරු, සිසු මවුපියන් සම්බන්ධ කර ගනිමින් සහන සැලසු නිසාවෙන් එවැනි දරුවන්ට ද පහසුවෙන් විභාගයට මුහුණ දෙන්නට හැකි විය.

තර්ස්ටන් විදුහල් සිසුන්ට පාසල විසින්ම ඉලක්ක ලබා දී තිබුණි. ඒ අතර ප්‍රගති වාර්තා පොත්වල තමන් ලබා ගත් ලකුණු ඇතුළත් කිරිමට තමන්ටම අවස්ථාව ලබා දීම හරහා තමන්ගේ ස්ථානය තීරණය කිරීමේ හැකියාව ඔවුන්ටම ලැබුණි. වාර තුනේදි තමන් ලබා ගත් ලකුණු පාට තුනක් යටතේ විශ්ලේෂණ ගොනුවකට ඇතුළත් කළ අතර, එහිදි සෑම අයකුටම තමන් ලබා ගත් ලකුණු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි විය.

මේ අතර ගණිත ලකුණු වැඩි දියුණු කිරීමට මෙන්ම ගණිත සංකල්ප වැඩි දියුණු කිරීම සඳහා දින 4ක ගණිත කඳවුරක් ඇති කිරීමට පාසලට හැකි විය. මේ හරහා ඉතා හොඳින් විභාගයට සූදානම් කිරීමට ඉඩ සැලසුණි.

සාමාන්‍ය පෙළ ඉලක්ක සහගතව සමත් වීම සඳහා තර්ස්ටන් විදුහල විවිධ වැඩසටහන් අනුගමනය කර ඇත. Golden Wall සංකල්පය ආරම්භ කර තිබුණේ දක්ෂ සිසුන් තවත් දිරි ගැන්වීමේ අරමුණිනි. මෙම රන් පුවරුවේ වසරකට තමන්ගේ නම හා ඡායාරූපය ඇතුළත් කිරීමේ අවස්ථාව උදා වන්නේ සාමාන්‍ය පෙළ A9 ලාභීන්ටය.

එසේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාධනීයත්වයක් පෙන්නුම් කරන සිසුන් 10 දෙනා සඳහා සමරු ඵලක පිරි නැමීමක් සිදු වේ. තම නම හා ජයග්‍රහණ සනිටුහන් කරවූ මෙම සමරු ඵලකය සිසුන්ට වසරක් තබා ගත හැකි වන අතර, එය නැවත ලබා දීමේදී ඒ වෙනුවෙන් ආදර්ශ ඵලකයක් සිසුන්ට ලබා දෙයි. අනිකුත් ඉහළම සාමාන්‍ය පෙළ සාමාර්ථලාභීන්ට රන් පදක්කම් පිරිනැමීම ද සිදු වේ. මේ සියලු කාර්යයන් වත්මන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ ඇතුළු ගුරු භවතුන් විසින් සිදු කරන්නේ පාසලේ සාමාන්‍ය පෙළ කඩඉම ඉහළ මට්ටමක පවත්වා ගැනීමටය. මේ දුෂ්කර කාර්යය සඳහා වෙහෙසුණෝ අපමණය. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ටී චන්ද්‍රසිරි, එස්. වී. ආර්. සෙනරත් බණ්ඩාර (ප්‍රාථමික), එන්.ජී. හිමාලි සමන්තිනි (අධ්‍යාපනික සංවර්ධන), එන්.ආර්. කඩුපිටි (පාලන) සහකාර විදුහල්පති (පාලන) ඩබ්. ඩී.එම්.එස්.පී. මාහරණ, 10-13 ශ්‍රේණිභාර සහකාර විදුහල්පති එම්.සී. ජයසේකර ඇතුළු සියලු ගුරු භවතුන්ය. මේ සියලු අභියෝග මැද වුවද පාසල සිය බාහිර ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යෑමට කටයුතු කළේ ජය පිට ජය ලබමිනි. 'සංජානන 2023' කොළඹ තර්ස්ටන් විදුහල විසින් පැවැත්වූයේ ලංකාවේ ප්‍රථම වරට ජාතික පාසල් 396ක් එක්තැන් කරමිනි. පසුගිය වසරේ පැවැත්වූ මෙම ජාතික චිත්‍ර තරගාවලියේ සියලු සංවිධාන කටයුතු සිදු කළේ කොළඹ තර්ස්ටන් විදුහලයි. ලංකාවේ ප්‍රථම වරට සියලු ජාතික පාසල් එකමුතු වී දියත් කළ මෙම වැඩසටහනේ සියලු කටයුතු බාධක රැසක් හමුවේ සිදු කිරීමේ අඩිතාලම වැටුණේ දරුවන්ගේ කුසලතා වර්ධනයට පැවැති බාධා දුරු කිරීමේ අටියෙනි.

පාසලේ පර්යේෂණ සංගමය පිහිටුවනු ලැබුවේද මේ අභියෝග කාලයේදීය. විදුහල්පතිවරයාගේ ආශිර්වාදයෙන් ඇරඹූ මෙම පර්යේෂණ සංගමයේ කටයුතු සිදු වූයේ විද්‍යා සංගමයේ භාර ආචාරිනී උපේක්ෂා අබේසේකරගේ ප්‍රධානත්වයෙනි. කොවිඩ් හේතුවෙන් පාසල් වැසී තිබුණු අවධියේ වුවද ඊට සුදුසු සිසුන් තෝරා ගනිමින් ආරම්භ කළ පර්යේෂණ සංගමය මේ වන විට ජයග්‍රහණ රැසක් වාර්තා කර ඇත්තේය. රණවරාවල පැවැති රසායනික ද්‍රව්‍යක් මඟින් දියවැඩියා සඳහා ප්‍රතිකර්මයක් සොයා ගත් නදීජ ප්‍රතිභාන සිසුවා පාසල් ඉතිහාසයේ රන් සලකුණක් තබා ඇත්තේය. මීට අමතරව පාසල් ඉතිහාසයේ පළමු වතාවට විද්‍යා දිනයක් සංවිධානය වූයේ පසුගිය මාර්තු 17 වැනිදාය. 'Nature 2023' නමින් විද්‍යා දැනුම සිසුන්ට වර්ධනය කිරීමට සිදු කළ කණ්ඩායම් වැඩසටහනක් වූ මේ සියලු දේ සංවිධානය වූයේ පසුගිය දුෂ්කර කාලයේදීය.

පාසලේ ක්‍රීඩා සංගම් 18ක් හා විවිධ සංගම් 48ක් ක්‍රියාත්මක වේ. ඒවායින් පාසල ලද ජයග්‍රහණ ද බොහෝය. සිවු වැනි ආසියා යොවුන් මලල ක්‍රීඩා මීටර 400 රිදී පදක්කම ලබා ගත් ප්‍රවීන් සැලමුතු ජයතිලක මෙන්ම, 2022 දකුණු ආසියානු කරාතේ කුම්තේ රිදී පදක්කම දිනා ගත් දුල්වන් ජයරත්න සාමාන්‍ය පෙළ A9 සාමාර්ථලාභීන්ය. 2022 සමස්ත ලංකා පිහිණුම් ජයග්‍රහණ ඇතුළු ජාතික තලයේ හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ බොහෝය. සහකාර විදුහල්පති ක්‍රීඩා ඩී.ඒ.සී. සේනානායක, ක්‍රීඩා භාර ආචාර්ය පී. ඒ. ඩී.එන්. ජයලාල් ඇතුළු ක්‍රීඩා කටයුතු භාරව ක්‍රියා කරති.

හෙට දින තර්ස්ටන් විදුහල තවත් ජාතික මෙහෙවරකට එක්වනු ඇත. සිසුන් වෙනුවෙන් නොව දරුවන් ලෙස සලකමින් නැණ නුවණ පාදා දෙන්නට සමත් ගුරු පිරිසක් මේ සද් කාර්යයයේ කැපවී සිටිති. අඳුරෙන් ආලෝකයට යන මේ ගමනේදී තවත් බොහෝ දේ කරන්නට ඔවුන්ට ශක්තිය ‍ධෛර්යය ලැබෙනු ඇත.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments