‘මොරගහ උඩින්’ ඇරැඹි නාමල් උයනේ වසර 32ක ආවර්ජනය | සිළුමිණ

‘මොරගහ උඩින්’ ඇරැඹි නාමල් උයනේ වසර 32ක ආවර්ජනය

වනවාසී රාහුල හිමි

දින් හරියටම වසර 30කට පෙර එනම්, 1993 වසරේ අපි ආඬියාගල පිහිටි නාමල් කැලයට ගියෙමු. ඒ දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගම සිට ආඬියාගල පාරේ දුෂ්කර ගමනක් ගෙවමිනි. 'නාමල් කැලේ' නමින් එදා ඇතැම් අය හැඳින්වූ ඒ ස්වාභාවික වනාන්තරය දෙස ඇස් ඇර බලන්නට එදා කිසිදු වගකිව යුත්තකු නොවීය. එය බලා කියා ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියේ භික්ෂූන් වහන්සේ නමක් හා ආවතේව කිරීමට සිටි එක් පුද්ගලයකු පමණි. දැවැන්ත කළුවර ගසක් ඉදිරියේ ඉතා දුෂ්කර කටුමැටි පැලක භික්ෂූන් වහන්සේ වැඩ සිටියහ. එය පුදුමාකාර කැප කිරීමක් බව අපට පෙනුණි. වනාන්තරයේ තැනින් තැන කපා හෙළූ සඳුන් ගස්ද අපි දුටුවෙමු.

"ඕවා ගැන හොයල බලන්න කවුරුත් නෑ මහත්තයො.. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ කැලේ වටිනාකම රැකල දෙන්න, මහත්තයලත් පුළුවන් තරම් ඉක්මනට මේ ගැන පත්තරෙන් යමක් කරන්න"

අපි එදා සිට මේ නාමල් කැලේ ගැන පුවත්පත්වලින් කරුණු හෙළි කළෙමු. කෘතහස්ත මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ සූරීහු එයින් මුල් තැනක් ගත්හ. ඔහු නිතරම තම ලිපිවලින් සඳහන් කළේ 'නාමල් කැලේ' යන නමයි. නාමල් කැලේ යනුවෙන් හැඳින්වූ මේ ස්වාභාවික වනාන්තරය 'නාමල් උයන' නමින් පසුව ප්‍රසිද්ධ විය.

නාමල් උයන එදා ජනතාවට හඳුන්වා දුන්නේ වනවාසී රාහුල හිමියන්ය. උන් වහන්සේ පැවසුවේ නාමල් උයන සිය පණ දෙවැනි කොට රැක ගන්නා බවයි. එසේම නාමල් උයනටම උරුම වූ ආසියාවේ විශාලතම තිරිවානා කන්දක්ද ඊටම යාබඳව පිහිටියේය. රෝස තිරිවානාකන්ද නමින් එය එකල සිටම හැඳින්විණි. නාමල් උයනටත් රෝස තිරිවානා කන්ද දෙසත් එය හඳුන්වා දුන් රාහුල හිමි දෙසත් වපර ඇස් හැරෙන්නට විය.

නාමල් උයන ලොවට හඳුන්වා දී මේ මස 28 වෙනිදාට වසර 32කි. ඒ සම්බන්ධයෙන් නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් හඬ අවදි කරන්නේ මෙලෙසිනි.

"ඇත්තෙන්ම මම අතීතය ගැන කතා කර කර ඒ ගැන පුරසාරම් කියවන්න කැමැති නැහැ. අපි අතීතය ගැන සිහි කළ යුතුයි. එහෙත් දැන් කළ යුත්තේ වර්තමානය හා අනාගතය ගැන බලා අවශ්‍ය කටයුතු කිරීමයි. 1991 අවුරුද්දෙ මාර්තු මාසෙ 28 වැනිදා තමයි නාමල් උයන හඳුන්වා දුන්නෙ. නාමල් උයන හඳුන්වා දෙන්න ගිහින් මට අප්‍රමාණ අපහාස දොස් ආවත් ඒ එකකින්වත් මම සැලුණෙ නැහැ. එදා ඒ දොස් පවරපු අය තාම එතන. ඒත් මම ලෝකයටම කතා කරන්න ලෝකයේම අයට එන්න නාමල් උයනක් පෙන්නලා දුන්නා. නාමල් උයන මම හදපු එකක් නෙමෙයි. මගේ නිර්මාණයකුත් නෙමෙයි. සැඟව තිබුණු නාමල් උයන මම හඳුන්වා දුන්නා. එහි අයිතියක් මට නැහැ. මම පුළුවන් කාලයක් ඒක රැක ගත්තා. 2018 අවුරුද්දෙ එය සංස්කෘතික අරමුදලට බාර දුන්නා. නාමල් උයන විතරක් නෙමෙයි. ඊට අයත් සියලු නිශ්චල චංචල දේපළ සියල්ල බාර දුන්නා. "

"ඇයි ඔබ වහන්සේ මෙච්චර කාලයක් දුක් විඳගෙන දෝෂ දර්ශනයට ලක් වෙලා හඳුන්වා දීපු නාමල් උයන එසේ බාර දුන්නෙ?"

"ඒක මගේ නෙමෙයිනෙ. මම එය හඳුන්වා දුන්න විතරයිනෙ, එතැනින් පස්සෙ එය අදාළ ආයතන කරගෙන යයි. මම දැන් නිදහස්. නාමල් උයනෙ බර මගේ ඔළුවෙ නැහැ. මට දැන් හොඳට නින්ද යනවා. අනිත් එක අපි අත්හැරීම පුරුදු වෙන්න ඕන. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේ කියන්නෙ පොදි ගහන අය නෙමෙයි. අත්හැරීම පුරුදු පුහුණු කළ යුතු අය. මම කළේ ඒකයි. කො‌ෙහාම වුණත් දැන් පරිපාලනය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒත් හිතේ පොඩි සතුටක් තියෙනවා මම හඳුන්වලා දීපු නාමල් උයන මෙරට ජනතාවට වගේම විදේශීය ජනතාවට පැමිණ දැක බලා ගන්න පුළුවන් වීම ගැන. මම ඇත්තෙන්ම විශේෂ ස්තුතියක් පුද කරනව මුද්‍රිත හා විදත් මාධ්‍යට මේ සම්බන්ධයෙන් කරපු සේවාව ගැන විශේෂයෙන්ම සිළුමිණ පුවත්පතේ එදා සිට මේ දක්වා හිටපු සියලුම කර්තෘවරුන්ට මෙන්ම නාමල් උයන ගැන ලියපු ලේඛකයන්ට, මේ ලාං‌ෙක්ය වටිනා ස්ථානය ගැන නිතරම දැනුම්වත් කර එය ලොවට ගෙන යන්න කටයුතු කළා. මෙය දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම නැරඹුම් ස්ථානයක් වෙලා තියෙන්නෙ. බෞද්ධ නටබුන් තිබුණත් ඒ සියල්ල බලන්න සියලු ජාතීන් පැමිණීම අගය කළ යුතුයි"

නාමල් උයනේ අතීතය ගැන සිහි කරන්නට අකමැති වුවද සොබා දහම නැමති දෙවියන් ගැන තමන් විශ්වාස කරනා බව වනවාසී රාහුල හිමියෝ පවසති. “මම 1991 නාමල් උයනට ආවෙ පුදුම දුකක් විඳගෙන ඇවිද ගන්නවත් බැරි මහ කැලේ. මහන්සියට බිම තිබුණු පොඩි කොටයක් වගේ එකක වාඩි වුණා. මට නිකම් රබර් මෙට්ටයක් උඩ ඉඳ ගන්නවා වගේ දැනුණා. ඒ එක්කම සතෙක් හුස්ම ගන්න සද්දයකුත් ආවා.

මට ටිකක් සැක හිතිලා එතනින් නැගිටලා කෝටුවක් අර‌ෙගන උඩ තිබුණු කොළ රොඩු ටික එහාට මෙහාට කළා. එතකොට තමයි දැක්කේ මහ විශාල පිඹුරෙක් රවුම් ගැහිලා නිදාගෙන ඉන්නවා. මම වාඩි වෙලා තියෙන්නේ මහ පිඹුරෙකුගේ ඇඟ උඩ. ඒ වගේම තමයි මම දවසක් හවසක ත්‍රීවීල් එකකින් යනකොට කැලය මැදින් අලියෙක් පැන්නා. අලියා ත්‍රීවීල් එකට ගහලා පොඩි කළා. මමයි ත්‍රිවීල් එක පදවපු ළමයයි විසිවුණා. ආවාසයට එතන ඉඳලා කිලෝමීටර් භාගයක් විතර වගේ දුරයි. මම හැමදාම කන්න දෙන බලු රංචුවක් හිටියා. මේ බලු රෑන කොහෙන් ආවද මන්ද එකපාරටම එතනට ඇවිත් අලියාට බුරාගෙන පැන්නා. අලියා කැලයට දිවුවා. මම හිතනවා මේ සොබාදහ‍ම මාව රැකගන්නවා කියලා.” අක්කර 2000ක් පුරා පැතිර ඇති නාමල් උයන රජරට අඩවිය ආරම්භයේම ඇති විස්මිත ස්වාභාවික නිර්මාණයක් වන්නේ එහි ඇති රෝස තිරිවානා කන්ද නිසාය. අක්කර 700ක පමණ වපසරියකින් යුත් රෝස තිරිවානා කන්ද ආසියාවේ ඇති විශාලතම රෝස තිරිවානාකන්දයි.

1991 වසරේ නාමල් උයන හඳුන්වා දුන්නද දශක කිහිපයක් යන තුරු වගකිව යුතු කිසිවකුගේ ඇස ඒ කෙරෙහි යොමු නොවීය. මාධ්‍ය මඟින් දිගින් දිගටම ඒ සම්බන්ධව කියවෙද්දී, පෙන්වද්දී ඒ කෙරෙහි අවධානය යොමු විය. පහසුකම් ඇති විය. නාමල් උයනට යන්නට තිබූ කරත්ත පාර වෙනුවට මාර්ග ඉදි විය. නාමල් උයනේ අලංකාරයට හානි නොවන සේ එහි මාර්ගවල ගල් අතුරා අවශ්‍ය පහසුකම් සපයන ලදි. එය ජාත්‍යන්තරය දක්වා ගියේ ඒ ඇස් ඇරීම අනුවය. අද වන විට නාමල් උයන යන්න සංචාරක පුරවරයක් යැයි කීවද වරදක් නැත. සීගිරියට පැමිණෙන සියලු සංචාරකයන් එහි ගෙන යෑම හෝ ගෙන ඒමට අවශ්‍ය ක්‍රමවේද සකස් කළ යුතුය.

එසේම නාමල් උයන රෝස තිරුවානා කන්ද සංස්කෘතික කලාපයක් ලෙස වර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූයේ වසර කිහිපයක සිටය. ඒ වෙනුවෙන් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලබා දීමටත් අපේක්ෂා කෙරිණි.

විශේෂයෙන්ම රෝස තිරුවාන කන්දේ ඇති භූ විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක හා සත්ත්ව විද්‍යාත්මක වැදගත්කම සහ 8 වැනි සියවසේ සිට වැදගත්වන බෞද්ධ නගර සංකීර්ණ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම කළ යුතු බවට නිර්දේශ විය.

එමෙන්ම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් රෝස තිරුවානා කන්ද සංවර්ධනය කිරීමේදී එහි ඇති ජෛව විවිධත්වය සහ පාෂාණ පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන ආයතනයක් මෙන්ම ආධ්‍යාත්මික හා අධ්‍යාපනික සංවර්ධන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට ද යෝජනා විය.

එමෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමේදී ඔවුන්ට මෙම ප්‍රදේශය නැරඹීම පහසු කරනු පිණිස කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

වනවාසී රාහුල හිමියන් පවසන්නේ මේ වන විට ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත් කර ඇති අතර ඊට සුබදායි ප්‍රතිචාර ලැබී ඇති බවකි.

ඊට අමතරව පුරා විද්‍යාව, පරිසර විද්‍යාව හා භූ විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමටද නාමල් උයන යොදා ගැනීමේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම භාවනානුයෝගීන්ට වුවද නාමල් උයනේ එක් පෙදෙසක් භාවිත කළ හැකි යෝගාශ්‍රමයක් ලෙස එය භාවිත කළ හැකි වන්නේ එය අතීතයේ බෞද්ධාගමික ස්ථානයක් වූ හෙයිනි.

අක්කර 300කට ආසන්න ප්‍රදේශයක් පුරා විහිදී ඇති නා ගස් මෙන්ම වසර මිලියන 500කට පමණ පෙර ස්ථාපිත වූ බව සැලකෙන කඳු වැටි හතකින් සැදුම්ලත් අක්කර 700කට ආසන්න රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයන්ගේ ඇස ගැසුණු ස්ථානයක් ලෙස නාමල් උයන හඳුන්වා දිය හැකිය.

කලාවැව මෙන්ම මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කොටුව වැව යන ජලාශයන් ආශ්‍රිතව හා එම ජලාශයන්ගෙන් වටව නාමල් උයන පිහිටා තිබේ. නාමල් උයනේ ඉතිහාසය දේවානම් පියතිස්ස රජු සමය දක්වා දිවෙන බව එහි ඇති සෙල් ලිපියකින් සනාථ වේ.

එම රජු සමයේ වැරැදි කරන පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා මෙම බිම යොදාගත් බව ද විශ්වාස කෙරේ. ඔවුන් ලවා මේ භූමිය තුළ නා ගස් සිටුවන්නට ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

නාමල් උයනට ඇතුළු වීමත් සමඟම අතු බෙදුණු විශාල කඳන් සහිත නා ගස් දැකගත හැකිය. අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වූ විශාල නා ගස්ද, වසර 1500ක් තරම් පැරණි නා ගස්ද මෙහිදී දැකගත හැකිය. ප්‍රධාන නා විශේෂ දෙකක් වනය තුළ ඇති අතර ඒවා 'දිය නා' හා 'බටු නා'ලෙස හැඳින්වේ.

නාමල් උයනේ ඉදිරියට ඇදෙන විට උඩරට අඩවිය සිහි ගන්වන කුඩා ප්‍රමාණයේ දිය ඇලි තුනක් දකින්නට ලැබෙන අතර එක් දිය ඇල්ලකින් වැටෙන ජලය පොළොව අභ්‍යන්තරයට ගමන් කරනු පෙනේ.

නා වනය තුළ කලාපීය ශාක 102ක්, කුරුලු විශේෂ 108ක්, පැළෑටි 82ක්, සමනල විශේෂ ගණනාවක්, අලින්, දිවියන් හා සර්පයන් ද දැක ගන්නට හැකිය. අගිල්, අක්කපාන, නාගවල්ලී, නවහන්දි හා හිරැස්ස වැනි දුර්ලභ ඖෂධ ශාක හා පැළෑටි වර්ග ද නා වනය පුරා පැතිරී තිබේ. එයින් මේ වනයේ ස්වාභාවිකත්වය තවමත් ආරක්ෂා වී ඇති බව පෙනේ.

වනගත තැනිතලාවෙන් පසු හමුවන්නේ උස්ව පිහිටා තිබෙන රෝස තිරුවානා කඳු වැටියයි. කඳු වැටිය තරණය කිරීමේදී අවට රෝස තිරුවානා කඳු වළල්ලේ අලංකාර වට පිටාව දැකගත හැකිය. අද වන විට රෝස තිරිවානාකන්ද අවපැහැ වී ඇත. එයට හේතුව වන්නේ කන්ද නිතර පෑගීමට ලක්වීමයි. මතුපිට එසේ අවපැහැ වී තිබුණත් අඩි දෙකක් පමණ ඇතුළතින් ස්තරය දම් පැහැයෙන් යුක්ත බව තහවුරු වී ඇත.

තවද කඳු වැටිය මුදුනේ නිර්මාණය කර තිබෙන අලංකාර බුදු පිළිමයකි. තිරිවානා කඳුවැටිය ඈතට ලුණු කන්දක් සේ පෙනෙන බැවින් ගම්වාසීන් එය ලුණුගල් දෙබල, ලුණුගල් කන්ද නමින් ද හඳුන්වනු ලැබේ.

තිරුවානා කදු මුදුනෙන් පහළ ඇති හෙළ තුළ නටබුන් දිස් වූවත් ඒ ප්‍රදේශයට ළඟා වීම ඉතා අපහසුය. ගලින් ඉදිකර ඇති බෝධි ඝරයක්, පිළිම ගෙයක් හා ආවාස ගෙයක් මෙන්ම සඳකඩපහණක් එහි දැකගත හැකිය.

මෙහි අතීතයේ විහාරයක් තිබූ බවත් එම ගොඩනැඟිලි දේවානම්පියතිස්ස රජ සමයේත් තුන්වැනි හා හතර වැනි දප්පුල රජ සමයේ මෙන්ම කාශ්‍යප රජ සමයේ ඉදිකරන්නට ඇතැයි යන්න අනුමාන කෙරේ. එමෙන්ම ඉන්දියාවේ ටජ්මහල සෑදීමට නාමල් උයනෙන් රෝස තිරුවානා රැගෙන ගිය බවට ද මතයක් පවතී.

නාමල් උයනේ අද තත්ත්වය දෙස බැලීමේදී අපට පෙනී යන්නේ ඉදිරියේදී අපට ආවේණික වූ මේ භූමිය සංචාරක මෙන්ම ආගමික ස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට හා එයින් අපට ජාතික සමඟිය පවා උදා කළ හැකි බවයි. දිනපතා සර්වාගමික පිරිස් නාමල් උයනට ඇදී ඒමෙන් ඒ බව මනාව තහවුරු වේ. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කරමින් එහි ස්වාභාවිකත්වය ආරක්ෂා කරමින් ජනතාවට දැකබලා ගත හැකි ලෙසින් සංවර්ධනය කළ යුතුය.

වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරන්නා වූ සේවාව ගැන මාධ්‍ය මඟින් කරුණු දක්වන කොළඹ සිටින මුස්ලිම් ජාතික තරුණියක් වන ෆාතිමා නුස්රා උවයිස් පවසා සිටින්නේ වනවාසී රාහුල හිමියන් සියලු ජාතින්ගේ ගරු බුහුමන් ලබන තම රට ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ හිමි නමක් බවයි.

‘‘බෞද්ධ දර්ශනයෙන් නියම අර්ථ වටහාගෙන උන්වහන්සේ දුකකින් ලැබුණු මිනිසත්බව මිනිස්සුන්ට රැක දීමට කටයුතු කළා. උන්වහන්සේ කළ උදාර මෙහෙවරට සම්මාන දීමෙන් පමණක් අගය යුතු කාර්යයක් නොවේ. 2004 වසරේ ශ්‍රී ලංකාවේ උසස්ම විශිෂ්ටතම සම්මානයක් වන ජනාධිපති පරිසර සම්මානයෙන් වනවාසී රාහුල හිමියන් පිදුම් ලැබුවා.

ජාතික නාමල් උයන ව්‍යාපෘතියෙන් තවත් ජාතික මෙහෙවරක් ඉටු වන බව රාහුල හිමියන් අප දැනුම්වත් කළා. එනම් නිවාස අහිමි අයට නිවාස ලබා දීම, අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝගීන් සඳහා ආධාර උපකාර ලබා දීම වැනි බොහෝ ප්‍රජාසත්කාර වගේම මේ ප්‍රදේශයේ කිවුල් වතුර වෙනුවට පිරිසිදු පානීය ජලය පවුල් 5,000ක් වෙත ලබා දීමට ද කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ද සෘජු දායකත්වයක් ලබා දී තිබෙනවා.

ජාතික නාමල් උයන වසර 32 සපිරෙන මේ මොහොතේ වනවාසී රාහුල හිමියන්ගේ පණිවිඩය වන්නේ "බෙදී වෙන්වෙලා හිටපු කාලය අවසන් කොට ජාතිවාදය, ආගම්වාදය තවදුරටත් මාතෘකාවක් කොට නොගෙන, අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට ජාතික නාමල් උයනේදී අත්වැල් බැදගෙන ආකල්පමය වෙනසක් ඇති කරමු" යන්නයි. එයට මගේ ආශිර්වාදය පිරි නමමි" යනුවෙන් ඇය පවසා ඇත.

 

Comments