සිළුමිණ වෙසෙස් මතක කතුවර ඇසින් | සිළුමිණ

සිළුමිණ වෙසෙස් මතක කතුවර ඇසින්

වත් සංවත්සරයක් උදාවී තිබේ. ඒ සිළුමිණ 93 වැනි සංවත්සරයයි. ලෝකයේ ප්‍රථම පුවත්පත පැපිරස් පත්‍ර මත බිහිවී අවුරුදු 2081 ට පසුව ද දෙවන පුවත්පත බෙල්ජියමේදී බිහිවී අවුරුදු 325 කට පසුව ද සිළුමිණ ශ්‍රී ලංකාවේ කොළඹදී බිහි වෙන්නේ 1930 මාර්තු 30 වැනිදාය. 

සිළුමිණ නිකුත් කළ ලේක්හවුස් ආයතනයේ අර්ථපතියා වූයේ ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීම සඳහා ක්‍රමෝපායීය මෙහෙවරක් කළ ඩී. ආර්. විජයවර්ධනයන්ය. මුලදී අතින් අකුරු ඇමුණූ ප්‍රාථමික යන්ත්‍රවලින් මුද්‍රණය කළ සිළුමිණ වර්තමානයේ ලොව නවීනතම මුද්‍රණ යන්ත්‍ර යොදා ගෙන මුද්‍රණය කරනු ලැබේ. වර්තමානයේ මහා තාක්ෂණික පෙරළි සිදුවුව ද සිළුමිණ එකී නව ගමන් මඟ හමුවේ දීප්තිමත්ව ගමන් කරන්නේ පාදමේ ඇති ශක්තිය නිසාය.

තමනට පැවරෙන වගකීම් සියල්ලම වෘත්තීය ලෙස වගකීමෙන් යුතුව ඉටු කිරීමට සිළුමිණ අද මෙන්ම හෙට ද කැපවෙනු ඇත. අධ්‍යාපනය, විනෝදාස්වාදය, තොරතුරු සම්පාදනය හා පෙලඹවීම යන මූලික සන්නිවේදන අවශ්‍යතා සියල්ල පුවත්පතක අඩංගු නොවන්නේ නම් එය පාඨකයා වෙතින් ප්‍රතික්ෂේප වීම කිසිවකුට වැළකිය හැකි නොවේ. රටේ සෑම තරාතිරමකම කියවන පිරිස අතර රැඳෙන ඔවුන්ට සමීප පුවත්පතක් වන්නට නම් ලියැවෙන අන්තර්ගතය පාඨකයාට සමීප විය යුතුය. එබැවින් 9 වන දශකය යනු සිළුමිණ හමුවේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවන වසරකි.

සිළුමිණ අද අලුත් මඟකට පිවිස තිබේ. එය තවදුරටත් දේශපාලන සුදු හුණු බාල්දියක් නොවේ. රට, දැය, සමය කෙරෙහි ඇති අපමණ ගරුත්වය සේම රටේ ජීවත් වෙන සෑම දැයකටම සහ සෑම සමයකටම අයත් පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සිළුමිණේ වගකීමය. සිළුමිණේ පැවති සම්ප්‍රදායට වඩා වත්මන සිළුමිණ නව හා අදීන සම්ප්‍රදායක් පාඨකයන් හමුවේ තබා තිබේ. ශ්‍රී ලංකාවේ හොඳම විශේෂාංග, පිටු සැකසුම්, සාහිත්‍ය විමර්ශන අද මේ පුවත්පතේ පළ කරනු ලැබේ. ඉකුත් වසර දෙකේදීම ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උලෙළේදී සිංහල දිනපතා සහ සතිපතා පුවත්පතකට හිමි වැඩිම විශිෂ්ටතා සම්මාන ගණනාවක් ලැබූ පුවත්පත සිළුමිණය. මෙය අලුත් ගමනක ආරම්භයකි. මුළු ලෝකයම මුහුණ දුන් සුවිශාල අර්බුදයේ විභවය අප සැමට දැනේ. එම විභවයට මුහුණ දීම සඳහා රටේ ජන මනස ශක්තිමත් කරනු පිණිස මතවාදී විටමින් සැපයීමට අප ඉත සිතින් කැමැත්තෙමි. එය එසේම සිදුවනවා ද ඇත.

මේ මොහොතේදී සිළුමිණට වැදගත් වන්නේ තැලෙන්නා සහ තලන්නා මිස ඒ දෙදෙනාගේ දේශපාලනය නොවේ. තලන්නා හෙළිදරව් කර දී තැලෙන්නා නිදහස් කර කෙළින් සිටුවා මතවාදී වශයෙන් ශක්තිමත් කිරීම සිළුමිණ සතු ප්‍රමුඛ කාර්යයක් වී ඇත.

පුවත්පතක ශක්තිය යනු එය අච්චු ගහන මූල්‍ය ශක්තිය හෝ එය අච්චු ගහන කොළයේ ගුණාත්මක බව නොවේ. පුවත්පතක ශක්තිය එය කියවන පාඨක ප්‍රජාවයි. එසේම එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය ද දැන්වීම්, මුද්‍රණ, බෙදාහැරීම් සහ පරිපාලන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩලය ද මෙහිදී අප සිහිපත් කරන්නේ කෘතවේදීවය. පුවත්පත ජනතාව අතට යවනු පිණිස කටයුතු කරන ප්‍රවාහකයා ද වීදි වෙළෙන්දා ද පත්තර විකුණන යතුරුපැදිකරුවා ද එම ශක්තියේ සකලවිධ කොටස්කරුවෝ වන්නාහ. සිළුමිණ ප්‍රගතියේ හවුල්කරුවන්ට අප හිස නමා ආචාර කරන්නේ එබැවිනි.

මෙහිදී තවත් කරුණක් අවධාරණය කළ යුතුව තිබේ. ඒ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පුවත්පතට ලබා දෙන අසමසම ශක්තිය සහ කැප කිරීමය. ඔවුහු පුවත්පතේ කොඳු නාරටියයි. සිළුමිණ වර්තමානය ඔපවත් කරන දැති රෝද ඔවුන්ය. එබැවින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම බාහිර ලේඛකයන්ට ද අප සිත්හි ඇත්තේ ඉහළ පිළිගැනීමකි.

පොහොර පසක පැළයක් වැඩුණ කල එය පසෙහිත් ජලයේත් හිරු කිරණේත් වාතයේත් සංකලනයකි. සිළුමිණ පුවත්පත ද දිගු වසර 93 ක ඉතිහාසයේ පියමං තැබීමට සහෝදරත්වයේ දෑත් දිගු කළ ඉහත හවුල්කරුවන්ට අප හිස නමා ආචාර කරමු. තව වසර හතකින් සිළුමිණට සියක් වසරක් සපිරේ. ඒ ශතක සැමරුම ද අප ඔබ සමඟ අභිමානයෙන් විඳිනු දැකීම අපේ බලාපොරොත්තුවයි.







 

Comments