වියට්නාම් යුද්ධයෙන් අරඹා හොලිවුඩයෙන් අවසන් කළ නික් උට්ගේ වීර චාරිකාව | සිළුමිණ

වියට්නාම් යුද්ධයෙන් අරඹා හොලිවුඩයෙන් අවසන් කළ නික් උට්ගේ වීර චාරිකාව

නික් උට්ගේ ලෝක ප්‍රසිද්ධ වූ ' Napalm Girl'සේයා­රුව

ඇමෙරිකානු - වියට්නාම් යුද්ධය අවසන් කළ 'නැපල්ම් ගර්ල්' (Napalm Girl) නම් වූ ඒ අමරණීය ඡායාරූපය මීට අඩ සියවසකට පෙර ලෝක ඡායාරුප ඉතිහාසය කණපිට පෙරළු ඡායාරුපයක් විය. 'The Terror of War' නමින් නම් කළ ලෝක ඉතිහාසය වෙනස් කරන්නට පසුබිම් වූ එම ඡායාරුපයට ජාත්‍යන්තර ඡායාරූප ක්ෂේත්‍රයේ කෙනකුට හිමි වන්නා වූ ඉහළම ජාත්‍යන්තර සම්මානය වන 1973 වසරේ 'Spot News Photography' සඳහා වූ'Pulitzer' සම්මානයත්, ඇමෙරිකාවේ ඉහළම සම්මානය වූ 'American National Award' සම්මානයත් හිමි වූයේ ලොස් ඇන්ජලීස් හි ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) හි සේවය කළ වියට්නාම-ඇමරිකානු ඡායාරූප මාධ්‍යවේදියකු වූ නික් උට් (Nick Ut) ය. 

නික් උට් පසුගියදා ලංකාවට පැමිණියේ 'From Hell To Hollywood' හෙවත් වියට්නාම යුද වාර්තාකරණයෙන් ඇරඹි අනතුරුව හොලිවුඩ් ඡායාරූපකරණයෙන් අවසන් වූ නික් උට්ගේ වසර 50ක ඡායාරූපකරණ ඉතිහාසයේ සුවිශේෂි මතකයන් තමන්ට අනාගන්තුක රටකදී ශ්‍රී ලාංකිකයන් සමඟ අත්විඳන්නටය.

නික් උට් ලොව හොල්ලන, ලොවම කම්පාවට පත්කළ ඡායාරූප සිය දහස් ගණනක් සිය කැමරා කාචයට හසු කළ ලෝක සම්මානයට පාත්‍ර වූ ඡායාරූප මාධ්‍යවේදියෙකි. බොහෝ දෙනා ඔහු හඳුනන්නේ ' Napalm Girl' හෙවත් 'The Terror of War' යුද්ධයේ අති බිහිසුණූ බව ලෝකයාට පසක් කරමින් ඇමරිකානු වියට්නාම යුද්ධයට තිත තැබූ ඒ අමරණීය ඡායාරූපයේ හිමිකරු නිසාය. එදා වියට්නාමයේ නැපල්ම් නගරයට එල්ල වූ දරුණු ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගැනීමට තවත් දරු පිරිසක් සමඟ කෑගසමින් පිළිසරණක් පතා තම කැමරා කාචය හමුවට දුවගෙන පැමිණෙන නව හැවිරිදි නිරුවත් දැරියකගේ ඡායාරූපය එදා ලොවක් කම්පාවට පත්කරවන ඡායාරූපයක් වේයැයි ඔහු දැන සිටියේ නැත. යුද්ධයේ බියකරු බව කැටි කරමින් පසුදා උට්ගේ මේ ඡායාරූපය සියලු පුවත්පත්වල මුල් පිටුවේ පළ වූයේ යුද්ධයට එරෙහිව ඇමරිකානුවන්ගේද ඇස් ඇරවමිනි.

“1972 ජූනි 7 වෙනිදා, සයිගොන් නගරයට සැතපුම් 30ක් පමණ වයඹ දෙසින් පිහිටි කුඩා ගම්මානයක් වන ට්‍රැන්ග් බෑන්ග්හි සටන් සිදුවන බව මම දැනගත්තා. පසුදා උදෑසන ට්‍රැන්ග් බෑන්ග් වෙත රිය පැදවූ මා මධ්‍යහ්න වන විට මට අවශ්‍ය ඡායාරූප ලබා ගත්තා. මා යළි පිටත්ව යාමට සූදානම් වෙද්දි නැවතත් බෝම්බ හෙළනු දුටුවා. මම මගේ කැමරාව අතට ගෙන බෝම්බ හෙළන ගුවන් යානයක පින්තූරයක් ගත්තා. මගේ කැමරාව ඉදිරියේ මියගිය බිලිඳකු වඩාගෙන සිටින මහලු කාන්තාවක්, සම ගැලවී යන කුඩා දරුවකු වඩාගෙන දුවන තවත් කාන්තාවක් ඡායාරූපයට නැඟුණා. අනතුරුව මා ඉදිරියට දුවගෙන එන දරු පිරිසකගෙන් මා සසල වුණා.”

නික් කැමරාව අති දක්ෂව හසුකර ගැනීම මෙන්ම කැමරාවෙන් එහා ගිය මානුෂීය ගුණාංග ලොවක් හඳුනා ගත්තේ 'නැපල්ම් ගර්ල්' ඡායාරූපයෙනි. තමා දෙසට මරණ බයෙන් පිළිසරණක් පතා දුව එන දැරිය කැමරාවට දෙවැනි වූයේ නැත. Phan Thi Kim Phuc හෙවත් 'නැපල්ම් ගර්ල්ට' ජීවත් වීමේ උරුමය ලබා දුන්නේ නික් උට් ය.

“බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගැනීමට තවත් දරු පිරිසක් සමඟ කෑගසමින් පිළිසරණක් පතා තම කැමරා කාචය ඉදිරියට නව හැවිරිදි නිරුවත් දැරියක් දුවගෙන ආවා. මම ක්ෂණයෙන් කැමරා බොත්තම එබුවා. පසුව සසල වූ මා කැමරාව පසෙකට දමා ඇයට උදව් කළා. නොඑසේ නම් ඇය මිය යනු ඇතැයි මා සිතුවා. මට බොන්න තිබුණු වතුරවලින් ඇයව හේදුවා. මම වහාම ඇයව අසල පිහිටි Cu Chi හි රෝහලකට ගෙන ගියා. මුලින්ම ඔවුන් ඇයට උදව් කිරීම ප්‍රතික්ෂේප කළා. පසුව මම නැවත වරක් මම මගේ මාධ්‍ය අවසර පත්‍රය පෙන්වූවා. පසුව ඔවුන් ඇයව සුව කරනකම් මම ඇයව සොයා බැලුවා. එදා ඉඳන් අපි යාළුවෝ.”

1972 දී ඇසෝසියේටඩ් ප්‍රෙස් හි යුද වාර්තාකරුවකු ලෙස වයස අවුරුදු 16 දී සේවයට එක් වූ නික් සිය ජීවිතය වෙනස් කළ ඡායාරූපය ගන්නා විට තරුණ වියේ පසු විය.

“මුලදී කතුවරයා මේ දැරිවිය ඇඳුම් නොමැතිව පාරේ දුවන ඡායාරූපය පළ කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ ඉදිරිපස නිරුවත පෙනෙන නිසා. නමුත් නිව්යෝර්ක් ඡායාරූප කර්තෘ Hal Buell මේ ඡායාරූපයේ ප්‍රවෘත්ති වටිනාකම පෙන්වා දුන්නා. පසුදින එය පුවත්පතේ පළ වුණා. ලෝකයම සසල වුණා. ඇමරිකාව යුද කිරීමට විරුද්ධව එ රටේම ජනතාව නැඟී සිටියා...” නික් උට් පවසන්නේය.

ජාතික පුවත්පත් මුල් පිටුවේ පළ වූ ඒ ඡායාරූපය වියට්නාම් යුද්ධයේ ගමන් මඟ වෙනස් කළේය.

“බියෙන් තැතිගත් ඒ කුඩා දැරිය අදටත් ජීවතුන් අතර සිටිනවා. දැන් ඇයට වසර 50ක්. මට ඇයව නැවතත් හමුවුණා. මේ ඡායාරූපය අප දෙදෙනාගේ ජීවිත වෙනස් කර තිබෙනවා.” නික් පවසන්නේය.

මුලින් Kim Phuc සිය නිරුවත් සහ වේදනාවෙන් සිටින ඡායාරූපය දැක ලැජ්ජාවට පත්ව තිබුණද, පසුව ' නැපල්ම් ගර්ල් ' ඡායාරූපයෙන් ජීවිත කාලය පුරාම මිතුරන් විය. 

එක්සත් ජනපද පුරවැසියෙකු වූ නික් උට් විවාහ වී දරුවන් සමඟ ලොස් ඇන්ජලීස් හි පදිංචි වී සිටියි. ඇසෝසියේටඩ් ප්‍රෙස්හි සේවය කරන කාලයේ නික් උට් තවත් ලෝක ප්‍රසිද්ධ ඡයාරූපයන්ට පණ දිණි. 2007 ජුනි 8 වන දින ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ෂෙරිෆ් නෞකාවේ පිටුපස අසුනේ අඬන පැරිස් හිල්ටන්ගේ ඡායාරූප ලොව පුරා ප්‍රකාශයට පත් විය. ඔහුගේ බොහෝ ඡායාරූප යුද්ධයේ බියකරු දසුන් විය. අනතුරුව හොලිවුඩයේ මුල් බැසගෙන ඡායාරූපකරණයේ නිරත විය. ඔහු රූගත කළ කැමරාව, Leica M2 35-මි.මී. f2 කාචය වොෂින්ටනයේ කෞතුකාගාරයක අදටත් තබා ඇත්තේය.

“වාර්තාමය ඡායාරූප මාධ්‍යවේදියකු වීම ඉතා අපහසුයි. මන්ද තරඟය දරුණු නිසා. කුඩා දෙයක් වුවත් උපරිමයෙන් කරන්න. මේ රට ලස්සන රටක්. ඡායාරුපගත කරන්න ලස්සන දේවල් තියෙනවා. මම නැවතත් ලංකාවට එනවා...” ලංකාවෙන් පිටත්ව යාමට මත්තෙන් නික් උට් පවසන්නේ තවත් එවැනි මාධ්‍යවේදීන්ටය. නික් උට් ගේ ලංකා ගමන ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය - ශ්‍රී ලංකා සංවිධානය කළ අගෝස්තු 19 වැනි දිනට යෙදී තිබුණු ලෝක ඡායාරූප දිනය වෙනුවෙනි. ඒ සඳහා ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරුප ශිල්පීන් 33 දෙනෙකු ලංකාවට පැමිණි අතර ප්‍රධාන ආරාධිතයා වූයේ සම්මානලාභී ඡායාරූප මාධ්‍යවේදී නික් උට් ය. කැමරා කාචය හරහා යුද්ධය, දුක් වේදනා සහ ඔරොත්තු දීමේ හැකියාව හඳුනාගත් මේ අපූරු මිනිසා ලංකාවෙන් නික්ම ගියේ යළිත් දිනක තවත් සුන්දර මතක රැසක් අලුත් කරමිනි.

 

Comments