සුන්දර ශනිදාවක් ගත කරන්න සීතාවක ඔඩිසි සමඟ රවුමක් | සිළුමිණ

සුන්දර ශනිදාවක් ගත කරන්න සීතාවක ඔඩිසි සමඟ රවුමක්

සීතාවක ඔඩිසි කියූ සැණින් මගේ මතකය දිව ගියේ ග්‍රීසියේ මහා කවි හෝමර් විසින් ක්‍රි: පූ: 800 දී පමණ රචිත සුප්‍රසිද්ධ ‘ඔඩිසි’ වීර කාව්‍යය වෙතය. එහි සඳහන් වන්නේ ග්‍රීසියේ කුඩා රාජ්‍යයක් වූ ඉතාකාවේ පාලකයා වූ ඔඩිසියස් රජු ට්‍රෝයි පුරවරයේ පැවති ට්‍රොජන් යුද්ධයට සහභාගි වී, එය ජය ගැනීමෙන් අනතුරුව පෙරලා සිය රටට පැමිණීමේදී මුහුණපෑමට සිදු වූ ත්‍රාසජනක හා අපූර්ව සිද්ධින් පිළිබඳව ය. ඒ සැකැවින් මෙසේය.

ඔඩිසියස් ගමන් කළ නැව දෛවෝපගත ලෙස කුණාටුවකට හසුවීම නිසා හෙතෙම අරුම පුදුම ජීවීන් වෙසෙන ගොඩබිමක් කරා ළඟාවිය. එක් දිනක් හෙතෙම, ඔගිගියා නැමැති එක්තරා දිවයිනකට ගොඩ බසින අතර එහි වෙසෙන කැලිප්සෝ නම් වූ රූමත් දෙවඟනක ඔහු හා පිරිස සාදරයෙන් පිළිගත්තාය. ඔඩිසියස් සමඟ ප්‍රේමයෙන් බැඳෙන දෙවඟන ඔහු සිරකොට තබා රාත්‍රී කාලයන්හිදී ඔහු සිය වල්ලභයා කොට සමහන් සුව වින්දාය. රාගික ප්‍රේමවන්තියක් හා උදාසීන පෙම්වතකු ලෙස හෝමර් විසින් ඔවුන් විස්තර කරයි. කෙසේ වුවද ග්‍රීක දෙවියන්ගේ අධිපති දෙවියා වූ සියුස්ගේ පණිවිඩකරුවෙක් වන හර්මිස් දෙවියා කැලිප්සෝ දෙවඟන වෙත පැමිණ ඔඩිසියස්ට තම ආදරණීය භාර්යාව වන පෙනිලෝපා කරා යාමට නිදහස් කර හරින ලෙස නියෝග කරයි. හර්මිස්ගේ වදනින් බියපත් දෙවඟන තමන් මහත් සේ ආලය කරන ඔඩිසියස් මුදාහැරීමට තීරණය කරන්නේ මහත් අසීරුවෙනි. ඔඩිසියස් පැමිණෙන තුරු ඔහුගේ ප්‍රිය භාර්යාව වූ පෙනිලෝපා නම් රූමතිය මඟ බලා සිටින්නීය. 

ඔඩිසියස් තමන් මුහණ දෙන නොයෙකුත් අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ගැලවී සිය නගරය වෙත පැමිණෙන අතර, ඔහු දකින්නේ සිය බිරිය මුහුණ පා ඇති ඉරණමයි. ඔඩිසියස් මළ බව ප්‍රකාශයට පත්වීම හේතුකොටගෙන ඇගේ අත ගැනීම පිණිස කඩවසම් පුරුෂයෝ පෙළ ගැසී සිටිති. ඒ සඳහා ස්වයංවරයක් පැවැත්වෙන අතර ඊට දින නියම වූ දාම ඔඩිසියස් නගරයට පැමිණේ. මහලු වේෂයක් ගන්නා ඔඩිසියස් ස්වයංවරයට සහභාගි වෙයි. තම ස්වාමියා කෙදිනක හෝ තමා වෙත පැමිණේ යැයි තිර විශ්වාසයෙන් පසුවන පෙනිලෝපා කිසිවකුටත් පරිහරණය කළ නොහැකි ඔහුට පමණක් අවනත මහ දුන්න පෙන්වා එහි දඬු කඳ නවන පුද්ගලයා සමඟ සරණ යාමට කැමැත්ත පළ කරන්නීය. ඇය අත පතා පැමිණෙන කිසිදු තරුණයකුට එය කළ නොහැකි වන අතර මහලු වෙස්ගෙන සිටින ඔඩිසියස් අන් අය මවිත කරමින් පහසුවෙන් එය කර පෙන්වයි. එවිට පෙනිලෝපා ඔහුට හිමි වන අතර ඔහු ස්වකීය වේෂයට පැමිණ ඇය හා එක්වෙයි.

මෙම කතා පුවතින් අනතුරුව‘ඔඩිසි’යන පදය වීර චාරිකාව යන අරුතින් වත්මනෙහි භාවිතයට පැමිණ තිබේ. මෙම නාමකරණය මෙම සංචාරය සඳහා යොදා ගැනීම එක්තරා ආකාරයකින් පුදුමාකර නිරුක්තියක් ලබා දෙයි. ඒ විදෙස් සංචාරකයින්ට ‘ඔඩිසි’ කියු සැණින් මතක් වන්නේ ඔඩිසියස්ගේ වීර චාරිකාව වීමය. මේ නාමකරණයෙන් එබඳු අත්දැකීමක් විඳින්නට මේ සංචාරයෙන් හැකි බව ඔවුන් තුළ විස්වාස ඇති කරයි. එසේම ඔඩිසියස් පැමිණි ඔගිගියා නැමැති පාරාදීසයවන් දිවයින මෙය බවට ඔවුන් තුළ හැඟීමක් ඇති කළ හැකිය. ලොව මිලියන ගණනක් ජනයා මෙම කතාව කියවා රසවිඳ ඇති බැවින් ‘සීතාවක ඔඩිසි’ කියූ සැණින් විදේශීය සංචාරකයන් ආකර්ෂණය වැඩිකිරීමට එය හොඳ උත්තේජනයක් සපයයි.

ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයකට අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව මෙම ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය ධාවනය ආරම්භ කළේ දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය.

2023 වසරේ ජනවාරි මස 15 වැනි ඉරුදින ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගී දුම්රිය ධාවනය පෙරහුරුවක් ලෙස ආරම්භ කළ අතර අනතුරුව පෙබරවාරි 26 වැනිදා සිට සති අන්තයේ සෑම ඉරිදා දිනකම එය සංචාරකයන්ට විවෘත විය. ඒ මෙම සංචාරක කලාපය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් සමඟය. මේ ගමන සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් පැවතිණි. ඊට විසඳුමක් වශයෙන් අගෝස්තු මස 5 වැනිදා සිට නව ගමන්වාරයක් සෙනසුරාදා දිනවලද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

‘ශනිදා සීතාවක ඔඩිසි’ සංචාරයේ මංගල ගමන සඳහා ප්‍රවාහන, ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් , ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක්, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරී නටාලියා කුලිෂෙන්කෝ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

මෙම දුම්රිය මාර්ගය මුලින්ම හඳුන්වා ඇත්තේ ‘කැලණිවැලි සබරගමුව සැහැල්ලු දුම්රිය මාර්ගය’ලෙසය. ඒ සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඒ කැලණිවැලි දුම්රිය කොළඹ කොටුවේ සිට ඕපනායක දක්වා ගමන් කළ නිසාය. පසුව මෙය පුංචි කෝච්චිය ලෙස ලොකු කුඩා කාගේත් ජනප්‍රියත්වයට පත් විය. වර්තමානයේ මෙය ධාවනය වන්නේ අවිස්සාවේල්ල දක්වා පමණක් වන හෙයින් එකම දිස්ත්‍රික්කයක් තුළ ධාවනය වන එකම දුම්රියද මෙය වේ.

උදෑසන 8.30 කනිසම සංඥා කිරීමත් සමඟ 9 වන පර්යන්තයෙන් අප රැගත් ‘ශනිදා සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය ගමන ආරම්භ විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය පසු කර මරදාන, බේස්ලයින්, රාජගිරිය දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟම දෑසට මහත් සැනසිල්ලක් උදා වූයේ නිල්ල පිරුණු තණ බිස්සක දෑස නතර වූ නිසාය. ඒ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයයි. එය 1896 මාර්තු 13වැනිදා යටත් විජිත යුගයේ ඉදි කෙරුණු අතර එය ඉදිකර මේ වසරට අවුරුදු 127කි. පේළියට ඉදිවූ පැල්පත් නිවාස උඩින් පෙනෙ සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මෙරට ඇති නැති පරතරයේ තරම කියා පාන්නාක් වැනිය. ‘ශනිදා සීතාවක ඔඩිසි’ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ වග දුම්රිය ස්ථානය කරා දිවෙන අතරතුර සංචාරකයන් අතර රැඳෙමින් ගැයුණු කැලිප්සෝ සංගීතය අතිශය සිත්ගන්නා සුළුය. එය දෙස් විදෙස් සංචාරකයන් කුල්මත් කිරීමට සමත් විය. 

වග දුම්රිය ස්ථානයෙන් බැසගත් දෙස් විදෙස් සංචාරකයින් පිළිගත්තේ ශ්‍රී ලංකේය සංස්කෘතික අනන්‍යතාව ප්‍රකට කරන සාම්ප්‍රදායික නර්තනයකින් හා බෙර වාදනයකිනි. පාගමනින් සංචාරය සඳහා සූදානම් කර තිබූ බස් රථ නවතා ඇති ස්ථානයට ගමන් කළ පිරිසට තැඹිලි ගෙඩියක පහසින් ගත සිසිල් කර ගැනීමට සියලු කටයුතු සලසා දී තිබුණි. අනතුරුව බසයට ගොඩ වූ අප කලටුවාව ජලාශය දැක ගැනීමට ගමන් කළෙමු.

සිසිල් වාරොදක් පැමිණ ගත දැවටෙමින් ගත සනහාලන විට විඩා පත් සිත ද සන්සුන් විය. ඒ හිරු කිරණින් බේරීමට තණ පතක් දිගේ රූරා ආ පිණි බිඳුවක් බිම නොවැටී තණපත යට සැඟව ගන්නා සේය. සුන්දර පරිසරයක පිහිටි මෙම ජලාශය යෝධ ප්‍රාකාරයකින් වටකර තිබේ. ප්‍රාකාරය මතට නැඟ හාත්පස බලන කල සශ්‍රීක වෘක්ෂලතාවලින් ගැවසි ගත් කඳු පන්තීන් දිස්වේ. එය නෙත් සිත් වශී කරන මනරම් දසුනකි. සබරගමුව හා බස්නාහිර පළාත් මායිම් වූ කලටුවාව ජලාශය අක්කර 3500ක ජල පෝෂිතයකින් පොහොසත් වන අතර ජලාශය අක්කර 320ක් පුරා පැතිර පවති. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් මෙය ඉදි කර ඇති අතර එමඟින් මහරගම, හෝමාගම, පාදුක්ක, කඩුවෙල, සීතාවක, කෝට්ටේ, කැස්බෑව, කොලොන්නාව ආදී ප්‍රදේශයන්හි ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කරයි. මේ හරිත පරිසරය තුළ විවිධ කුරුළු වර්ග, සිවුපාවුන් දැක ගැනීමේ අවස්ථාව සංචාරකයින්ට උදාවේ.

අනතුරුව අප ගමන් කළේ රන්මුදු ඇල්ල දැකගැනීමටය. වර්ෂාව නොමැති කමින් ජලය සිඳී ගොස් තිබුණද ශේෂව පවතින ජලධාරාවෝ වර්ෂා සමයෙහි එහි ඇති සශ්‍රීක බව හා චමත්කාරය ව්‍යංගයෙන් පවසනවා වැන්න. දිවා ආහාරයගෙන අප ගමන් කළේ අවිස්සාවේල්ලෙ පිහිටි සීතාවක උද්භිද උද්‍යානය වෙතය. තෙත් කලාපයේ ඉදිකළ පළමු උද්භිද උද්‍යානය මෙය වන අතර එය 2014 වසරේ අගභාගයේදී මහජනයාට විවෘත කරන ලදී. අක්කර 106ක පමණ වපසරියකින් යුතු මෙය ආරම්භ කිරීමේ අරමුණ වී ඇත්තේ තර්ජනයට ලක්වී තිබෙන පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ උතුම් අරමුණ පෙරදැරිවය. මෙම උද්‍යානයේ තැනිතලා බිම්කඩ රමණීය පොකුණක් වටා ඉදිකර තිබෙන අතර එහි සිසිලස විඳිමින් හංස බෝට්ටු පැදීමට අවස්ථාව සලසාදී තිබේ. මේ මෙම සංචාරයේදී ලබුගම ජලාශය, ගොරකා ඇල්ල, කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, තුම්මෝදර වැල් පාලම, ගල් බංගලාව සහ කොඩිගල කඳු පන්තිය ආදි සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ දුර්ලභ අවස්ථාව සංචාරකයින්ට උදාවේ.

මෙම මනරම් සංචාරය අවසන් වූයේ එම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික සංදර්ශනයකිනි. මෙම දුම්රිය සේවාව වායුසමීකරණය කරන ලද මැදිරි තුනකින් සමන්විත වන අතර එහි එක් අන්තයකට පමණක් ගමන් ගන්නේ නම් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් වේ. ගමන් වාර දෙකටම එකවර ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ නම් අය කරනු ලබන්නේ රුපියල් 800 ක් පමණි. දෙවන පන්තිය මැදිරි දෙකකින් සමන්විත අතර එහි එක් අන්තයකට ගමන් කිරීමට රුපියල් 300ක් අය කරන අතර ගමන් වාර දෙකම සඳහා මිල සහනයක් හිමි වේ. තුන්වන පන්තිය එක් මැදිරියක් ඇති අතර එහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200 කි.

මේ පිළිබඳව සිළුමිණට අදහස් දක්වමින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ ප්‍රකාශ කර සිටියේ මීට ‘සීතාවක ඔඩිසි’ කියා නම් කළේ පෙර පැවති ‘ඇල්ල ඔඩිසි’ නාමය අනුව යමින් බවයි. ‘සීතාවක ඔඩිසි’ සංචාරය 2023 වසරේ දෙසැම්බර් මාසය වන විට විවිධ ක්‍රියාකාරම් හා ත්‍රාසජනක අත්දැකීම් සහිත අත්දැකීමක් බවට පත් කිරීමට නියමිතය.

එහි ඉලක්කය වී ඇත්තේ හරිත වන උයන්වල අසිරිය විඳිමින් දිය ඇල්ලක සිසිලස විඳ මෙම පරිසරයේම වගා කළ කාබනික එළවළු හා පළතුරු වර්ග යොදා සකස් කළ ගැමි ආහාර වේලක රසය බුක්ති විඳිය හැකි පරිසරයක් දෙස් විදෙස් සංචාරකයින්ට නිර්මාණය කරදීමය.




ඡායාරූප - ගයාන් පුෂ්පික

 

Comments