කොටි සමඟ ජීවත් වෙන අපූරු පාඩම කියාදෙන හෝටන්තැන්න | සිළුමිණ

කොටි සමඟ ජීවත් වෙන අපූරු පාඩම කියාදෙන හෝටන්තැන්න

කොටි පහසුවෙන් දැකිය හැකි ලොව සංචාරක ගමනාන්ත අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවය. ඒ ලොවට උරුම වූ ප්‍රධාන කොටි උප විශේෂ 9 න් එකක් වූ Panthera padus kotiya නම් අගනා දියමන්තිය ලාංකිකයන් අතර පමණක් සිටින නිසාවෙනි. ලංකාවේ කොටි දැක ගැන්මට පමණක් ඩොලර් වැය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයෝ ද බොහෝය.

යාල, විල්පත්තු, කුමන පමණක් නොව මනස්කාන්ත පරිසරයකට උරුම්කම් කියන සුන්දර හෝටන්තැන්න ද අද කොටින් සියැසින් ම දකින්නට හැකි අපූරු ජෛව විවිධත්වයෙන් යුතු තැන්නකි. මේ දිනවල හෝටන්තැන්නේ නිරන්තරයෙන් ගැවසෙන කොටින් බොහෝ දෙනෙකුගේ නෙත ගැටෙන්නේ ඒ සුන්දර මතකයන් අපූරු චාරිකාවක අමරණීය අත්දැකීම් බවට පෙරළමිනි. ලංකාවේ වනජීවී පරිසර පද්ධතියක් තුළ කඳුකරයේ සීතල අත්විඳිමින් යන ගමනේදී නෙතට ප්‍රියදසුන් එක්කරන සුන්දර හෝටන්තැන්න ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව විදේශකයන් අතර ද ජනප්‍රිය සංචාරක බිමිකඩකි. ලෝකාන්තය නැරඹීමේ ආරම්භක ස්ථානය පසුකරන්නට ප්‍රථම මේ අපූරු පරිසර පද්ධතියේදී නෙත ගැටෙන්නෝ සංචාරකයන්ට පමණක් නොව ලාංකික අපට ද අපූරු පාඩමක් කියා දෙති. Living with Leopards හෙවත් කොටින් සමඟ ජීවත් වීම මෙන්ම කොටි සංරක්ෂණයෙහිලා අපූරු පාඩමක් ඉගෙන ගන්නට හෝ්ටන්තැන්න සංචාරය ඊට හේතුවීම එයට හේතුවයි. සංචාරකයන්ගේ දියමන්තිය කෙසේ ආරක්ෂා කරගත යුතු ද යන රටක් වටිනා මේ පණිවිඩය පසුගියදා මාධ්‍යවේදීන්ට විවර වූයේ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂක සංගමය (WNPS)විසින් හෝටන්තැන්නේ සිදුකළ මාධ්‍ය වැඩමුළුවේදීය. පසුගිය අගෝස්තු 1 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කොටි දිනය ඊට නිමිත්ත විය. 

ලංකාවේ ජාතික උද්‍යාන 26 න් නිදහසේ පරිසරය අත්විඳිමින් සතුන් සමඟ දෙපයින් ඇවිද ගොස් නැරඹිය හැකි එකම ජාතික උද්‍යානය වන්නේ හෝටන්තැන්නය. ඒ සංචාරය වන සතුන් මධ්‍යයේය. සොබාදහම අධ්‍යයනය කරන්නන්ට, පරිසරය අත්විඳින්නන්ට පමණක් නොව ලංකාවේ කොටි දැක ගන්නට මේ අපූරු බිම්කඩට වාර්ෂිකව පැමිණෙන්නෝ ලක්ෂ 4 ඉක්මවති. වාර්ෂිකව සංචාරක වාහන 60,000 මේ ප්‍රදේශය පසුකරන්නේ කොටි දැකගන්නට බහුතරයකට වරම් හිමි කරමිනි. 1969 වසරේ ස්වභාවික රක්ෂිතයක් ලෙසත්, 1988 ජාතික උද්‍යානයක් ලෙසත්, 2010 යුනෙස්කෝ ලෝක උරුමයක් වූත් මේ ස්වභාවික වනජීවී කලාපයේ වාර්තාගත කොටි ප්‍රමාණයකට වාසස්ථානය සපයයි.

හෝටන්තැන්නේදී පමණක් නොව නිදහසේ වන සිරිය විඳිමින් ලෝකාන්තය බලා යන ගමන පසු කරන්නේ මේ කොටි දහනක් මැදින් බව බොහෝ දෙනා නොදන්නා කරුණක් වුව ද ඒ ගමන කිසිදු බියක් නැති සුන්දර ගමනක් වී ඇත්තේ මේ දක්වා කොටින්ගෙන් කිසිදු සංචාරකයකුට හානියක් නොවී තිබීම නිසාවෙනි. එහෙයින් Living with Leopards හෙවත් කොටියන් සමඟ ජිවත් වීම සුන්දර කතාවට අපූරු ආදර්ශයක් සපයන්නේ මේ අපූරු ජෛව විවිධත්වයෙන් සුසංයෝජිත සුන්දර හෝර්ටන් තැන්නය.

හෝටන්තැන්නේ කොටි බලන ගමනට ආරම්භයක් දිය යුත්තේ පාන්දර යාමේ අරුණාලෝකය වැටෙන්නට පෙරාතුවය. එසේත් නැතිනම් අඳුරු වැටීමට ආසන්න සවස් කාලයේදීය. එසේත් නොමැතිනම් හෝටන්තැන්නට උරුම මීදුම ගහන අවස්ථාවකදීය. පහසුවෙන් ගොදුරක් කරා ළඟා වීමට ඇති හැකියාව නිසා අඳුරට කැමැති මේ නිශාචරයා තෘණ බිම් අස්සේ සැඟව සිටිය ද පහසුවෙන් කරළියට නොපැමිණෙන්නේ ඌට දවස නිදහසේ ගත කරන්නට කදිම වාතාවරණයක් සැපයිය ඇති නිසාය. මිනිස් කටහඬ ප්‍රතික්ෂේප කරන කොටින්ට මේ භූමියේ වූ තෘණ පඳුරු සැඟව සිටීමෙන් දිනපතා එහා මෙහා දිවෙන වාහන කන්දරාව මත හෝර්ටන් තැන්නේ කොටි දකින්නට අමුතුම වෙහෙසක් ගැනීමට සිදුවේ.

හෝටන්තැන්නේ කොටි බලන්නට හොඳම කාලය උදා වන්නේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය ය. යාල කොටි ගහණය වැඩි මෙන්ම පහසුවෙන් කොටියකු නැරඹිය හැකි සම්භාවිතාවක් ඇත. ඊට හේතුව වී ඇත්තේ යාල කොටි සංචාරකයන්ට හුරු පුරුදු වීම නිසාවෙන් ඔවුන් කිසිදු බියකින් තොරව මිනිසුන් අතර ගැවසීමය. නමුත් හෝටන්තැන්නේ කොටි එලෙස මිනිසුන්ට සමිප නොවන අතර සංචාරකයින්ට ඇති බිය නිසා එළි පහළියට පැමිණෙන්නේ කලාතුරකිනි. 

2018 වසරේදී විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් විසින් හෝටන්තැන්නේ සිදුකළ පර්යේෂණයන්හීදි කොටි 23 දෙනෙකු පමණ හෝටන්තැන්නේ ඇති බවට හඳුනා ගෙන තිබුණි. ඒ සියලු දෙනා මහත් වෙහෙසක් දරමින් හඳුනා ගැනීමේ කාර්ය කිරීමට වනජීවී සංරක්ෂක සංක වන්නිආරච්චි ඇතුළු පිරිස වෙහෙසක් ගත්තේ කාලයක සිටය. මේ පර්යේෂකයන්ගේ උත්සාහය වී ඇත්තේ හෝටන්තැන්නේ කොටි සංරක්ෂණය කිරීමට මෙන්ම කොටින් සමඟ ජීවත් වන්නේ කෙසේදැයි මතවාදයක් සංචාරකයන් තුළ ගොඩ නඟන්නටය.

හෝටන්තැන්නේ ජෛව විවිධත්වය සේම ආහාර දාමය ද ඊට අදාළව ගොඩ නැඟී ඇත්තේ මේ සතුන්ගේ පැවැත්ම උදෙසාය. කලාපය පුරා විසිර ඇති ගෝන්නු ගහනය විටක කොටියාට ආහාරයක් සපයයි. රැයක් දවාලක් නොමැති ගෝන්නුන්ගේ නාදය අපූරු කතාවක් ගොඩ නැඟෙන්නේය.

“ගෝන්නුන්ගේ නාදය අපි හඳුන්වන්නේ එලාම්- කෝල් එකක් විදියට. තමන් සිටින ස්ථානය ආසන්නව කොටියකු සිටි විට අනිකුත් ගෝන්නු දැනුම්වත් කිරීමට උන් මේ ශබ්දය නඟනවා. බොහෝ දුරට ඇසෙන මේ ශබ්දය නිසා කොටියා දැන ගන්නවා තමන් සිටින බව ගෝන්නු දැනගත් බව. එය ගෝන්නුන්ගේ ගැලවීමට හේතුවක්. මේ ප්‍රදේශයේ ගස්වල කොටියා හීරීම් කර තියෙනවා. ඒ සලකුණ අනුව අපිට කොටියාගේ උස ප්‍රමාණය, සිටින ඉසව්ව තේරුම් ගත හැකියි. හෝටන්තැන්නේ කොටි අනිකුත් වනජීවී කලාපවල සිටින කොටින්ට වඩා ශරීර ප්‍රමාණයෙන් වෙනස්. මෙහි සිටින කොටින්ට අධික සීතලට ඔරොත්තු දීමට ඌගේ සම යටින් තෙල් තට්ටුවක් පවතිනවා. ඒ වගේම හෝටන්තැන්නේ කොටින්ට හොඳ පරිසරයක් තියෙනවා. හොඳ දේශගුණයක් පවතිනවා. ආහාර දාමයේ සතුරන් අඩුයි. ලබාගත් ආහාරය තනියෙන් භුක්ති විඳීමේ හැකියාව පවතිනවා. මේ නිසා මේ කොටි නිරෝගීයි..” ඒ හෝටන්තැන්නේ කොටි පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරත වන වනජීවී සංරක්ෂක සංක වන්නිආරච්චි සිය අත්දැකීම්ය.

යාල කොටින්ට විවිධ නම් තිබුණත් හෝටන්තැන්නේ කොටින්ට ඇත්තේ කෝඩ් අංකයක් පමණි. ඒ අංකය යොදන්නේ පහසුවෙස් කොටින් හඳුනාගැනීම සඳහාය. HPF( Horton plains female leopards) 4 ( කොටියාට දී ඇති අංකය ), HPM( Horton plains male leopards) 5 ආදී වශයෙන් මේ 23 දෙනා වර්ගීකරණයට ලක්වූයේ විටින් විට කරන ලද පර්යේෂණයන්ගෙනි. පර්යේෂකයන් පවසන්නේ හෝටන්තැන්නේ රජ කරන්නේ HPM 7 කොටියා බවය.

“සැම කොටියකුටම අනන්‍ය වූ සලකුණක් තියෙනවා. හරියට අපේ අතේ ඇඟිලි සලකුණු වගේ. එය අවබෝධ කර ගන්නේ ඌගේ සිරුරේ පුල්ලි පැතිරීමේ රටාව අනුවයි. මේ අනුව තමයි අපි නාමකරණය සිදුකර තියෙන්නේ. මේ හරහා ඔහුගේ වයස, ගැවසීම මෙන්ම තවත් කරුණු ගණනාවක් අවබෝධ කළ හැකියි.”

“හෝටන්තැන්න නැරඹීමට විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා. එයින් බහුතරයකගේ හැසිරීම අන්තයි. මේ වන ජීවින්ගේ පරිසරය. අපි ඇතුළු වන්නේ ඔවුන්ගේ පරිසරයට නිසා ඌන්ට බාධා නොවන ආකරයෙන් අපි හැසිරිය යුතු වෙනවා. කොටියා කියන්නේ මිනිසුන් කන සතෙක් නෙමෙයි. මිනිස් කට හඬක් ඇසුනහොත් ඌ භයෙන් ඒ ස්ථානයෙන් ඉවත් වෙනවා මිසක් කිසිදු සංචාරකයෙක්ට හානියක් සිදුකර නැහැ.” හෝටන්තැන්නේ කොටි පිළිබඳ පර්යේෂණයන්හි නියැළි සංකය.

වර්තමානයේ කොටි මරණ විශාල වශයෙන් වැඩිවෙමින් තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව අප මීට පෙර ලිපි කිහිපයකින්ද අනාවරණය කළෙමු. එහෙත් කොටියකු දැක ගැන්මට ආසා කළද දුටු විට ඌ සතුරෙකු සේ දකින්නට අප පුරුදු වී සිටීම ජාතියේම අභාග්‍යයකි. මන්ද ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් කොටි සමඟ නිදැල්ලේ සැරසරන ආකාරය අන්තර් ජාලය ඔස්සේ පිරික්සුවද ඔබට සොයා ගැනීම අපහසු නැත. එවන් වූ සිතිවිල්ල අපට ඇතිකර ගත නොහැක්කේ මන්දැයි අපිටම පැනයකි. කොටින්ට ඔවුන්ගේ සීමාවේ තබා අප අපේ සීමාව දැන ජීවත් වුවහොත් කොටින් සමඟ ජීවත්වන ආකාරය අමුතුවෙන් කියා දෙන්නට ඇවැසි නැත. 

“ලංකාවේ කොටි බලන්නට, වන දිවියේ සුන්දරත්වය දෙපයින් ඇවිද ගොස් විඳින්නට අපිට තියෙන එකම ජාතික වනෝද්‍යානය හෝටන්තැන්න. මේක ලෝක උරුමයක්. ඒත් සංචාරකයන් විසින් වන ජීවීන්ට විවිධ හානි සිදුකරනවා. වසරකට වාහන 60,000 සතුන්ගේ වාසභුමියට එනවා කියන්නේ ඔවුන්ගේ නිදහසට හිරිහැරයක්. නමුත් අපි එය කළ යුත්තේ මේ පරිසර පද්ධතියට ඇතුළු වීමේ නීති රීති පිළිපදිමින්. අඩුම තරමින් හෝ වාහනයක හෝන් එකක් හෝ නඟන්න තහනම්. මේක හෙක්ටයාර් 3200 ක විශාල භුමි භාගයක්. සියල්ල ආරක්ෂා කිරීමට සිටින්නේ 26 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පමණයි. මේ නිසා අපිට වන සත්ත්ව හා වාක්ෂලතා ආඥා පනතට අනුව වැරදි කරන්නන්ට ස්ථානීය දඬුවම් නියම කරන්නට සිදු වෙනවා...”

හෝටන්තැන්න උද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායකය. කුරු උණ, මහරත්මල් හෝටන්තැන්නේ අපට ශාක විශේෂ 185 ක් ඇත්තේය. කුරුලු විශේෂ 64 ක් ක්ෂීරපායින් විශේෂ 19 ක් මෙන්ම උභයජිවින් විශේෂ 6 ක් ඇත්තේය. ගෝන්නු නිදහසේ තෘණබිම ්වල සැරිසරනු දැකගත හැකි වන්නේද මේ ජාතික වනෝද්‍යානයේදීය. කුඩා කුරුමිණියාගේ පටන් අපූරු ජෛව විවිධත්වයේ සංකලනයක් බඳු මේ තෝතැන්න ගැන බොහෝ සංචාරකයන් නිසි ලෙස අත්විඳින්නේ නැත. බොහෝ සංචාරකයන් හෝ්ටන්තැන්නට පැමිණෙන්නේ ලෝකාන්තය නැරඹීමට පමණි. නමුත් ඊට එහා ගිය පුළුල් දැනුමකින් යුතුව මේ පරිසරය අත්විඳින්නේ නම් ඔබ සැබැවින්ම වන ජීවිතයට ඇලුම් කරන්නෙකි.

වන දිවියට පමණක් නොව වන සතුන්ගේ දිවියට හානි නොකර වන සතුන් සමඟ සුහදව ජීවත් වීමේ පාඩම් අපට අලුත් දෙයක් නොවේ. එය අතීත මුතුන් මිත්තන්ගෙන් පැවැත එන්නකි.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Comments