මෙන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා වාහන ඇවිත් | සිළුමිණ

මෙන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා වාහන ඇවිත්

-පැය 4ක් චාජ් කළාම කිලෝමීටර් 85ක් දුවන්න පුළුවන් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්
- ජපානය අග්නිදිග ආසියාවේ වාහන එකලස් කරන්නට මුලින්ම තෝරා ගත්තේ ලංකාවයි.
- ඒ, අදටත් මහමඟ යහතින් දුවන Mitsubishi 4DR Jeep රථයයි
- සිවු දෙනෙකුට එකවර ගමන් කළ හැකි LOADER මෝටර් සයිකලයේ මිල ලක්ෂ හයක්

ලෝකයේ රටවල් අතරින් ජේ.ආර්. යුගයේ බලයට ඒමට උදාහරණයට ගත්තේ සිංගප්පූරුවය. “ලංකාව සිංගප්පූරුවක් කරමු” ඒ, සටන් පාඨයයි. එහෙත් ලංකාව සිංගප්පූරුවට වඩා ආර්ථික වශයෙන් ඉහළ තැනක ඉන්නා විට සිංගප්පූරුවේ ටාගට් එක වූයේ සිංගප්පූරුව 'ලංකාව' වැනි දියුණු රටක් කරන්නටය. අන්තිමට ආර්ථික වශයෙන් සිංගප්පූරුව ලංකාව පසුකරගෙන ගියේය. ඉන්පසු එළැඹි මැතිවරණයේදී සිංගප්පූරුවේ පාලක පක්ෂය විපක්ෂයට ඡන්දය දීමට අපූරු සටන් පාඨයක් ගෙන ආවේය. “විපක්ෂයට බලය දෙන්න එපා, සිංගප්පූරුව ආයෙත් ලංකාවක් වෙයි!” ඔවුනගේ සටන් පාඨය විය. 

ලංකාව ගැන කලකට ඉහත සිංගප්පූරු සඟරාවක් අපූරු ලිපියක් පළ කළේය. The holiday Country (ලෝකයේ නිවාඩු වැඩිම රට එහි අදහසයි.) ඊට ටික කලකට පසු එම සඟරාවේ ලංකාව ගැන අපූරු සටහනක් පළ විය. එය ලංකාවේ දරාගත නොහැකි වාහන ආනයනය ගැනය. එහි ශීර්ෂ පාඨය වූයේ The Vehicle Country ය. සිංගප්පූරුවටත් වඩා දිළිඳු ලංකාවේ 'බෙන්ස් කාර්' තිබීම ඊට හේතුවයි. ලංකාවේ තරම් 'රථ ගායක්' ඇති ජනගහනයක් ඇති රටක් ලෝකයේ හතර දිග් භාගයේ කොහේවත් නැතුව ඇත.

මෙරට රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතන හතරකි. දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු හා මෝටර් රථ ප්‍රවාහන මෙම ආයතන හතර වේ. වර්ෂ 2010ට සාපේක්ෂව 2011දී මෝටර් කාර් ලියාපදිංචියේ වර්ධනයට සියයට 60.14කින් ද, යතුරුපැදි සියයට 11.22කින් ද ත්‍රිරෝද රථ සියයට 39.96කින් ද වර්ධනය වූ බව මහබැංකු වාර්තාවල සඳහන්ය. ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් කරන ලද සමීක්ෂණයට අනුව වාහන අයත් ජනගහනය පුද්ගලයන් 1,000කින් 130කට වාහනයක් හිමිය. වර්ෂ 2021 වන විට පුද්ගලයන් 1,000කට 270ක් වශයෙන් වාහන භාවිතය දෙගුණ විය හැකි බව මෙයින් වසර 10කට පෙර 2013දී ඇස්තමේන්තු කොට තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වාහන ආනයනය මුළුමනින්ම පාහේ නවතා දමන ලදී.

එහෙත් ජුනි 20 වැනිදා අපට ගාලුමුවදෙර සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා අමුතු වාහන පෙළපාළියක් දක්නට ලැබුණි. මේ පෙළපාළියේ ගමන් කළේ ලංකාවේ එකලස් කළ හා මුළුමනින්ම ලංකාවේ නිෂ්පාදනය කළ රථ වාහනය. මෙම රථ ප්‍රදර්ශනයට තැබෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනයේදීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රථ පෙළපාළිය පැමිණි පසු එම රථ එකලස් කරන රථ ආයතනවල ප්‍රදර්ශන කුටිවල කරක් ගැසීමට අපි ගියේ එය අමුතුම අත්දැකීමක් නිසාය.

අප මුලින්ම හමුවුණේ ධම්මික පෙරේරාය. ඔහු කේ.ඩී. රයිස් ටෙක්නොලොජි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ය. 

“අපි ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් හදන්නේ 2020 ඉඳන්. මේ නිෂ්පාදනයේ 35%ක් දේශීයව කොටස් නිෂ්පාදනය කරනවා. පැය 4ක් චාජ් කළාම කිලෝමීටර් 85ක් දුවන්න පුළුවන්.”

එම ඉලෙක්ට්‍රික් යතුරුපැදියේ මිල රුපියල් ලක්ෂ 5 1/2කි. එම ආයතනයේ විදුලි පාපැදියක් නිෂ්පාදනය කොට ඇති අතර, එය මුළුමනින්ම අපනයනය කරන්නේ ඉතාලිය හා ජර්මනිය ආදී රටවලය.

ඊළඟට අපට දැකගත හැකි වූයේ යුද්ධ හමුදාව මඟින් එකලස් කරන ලද වාහන පෙළකි. ඒවා අතර වෙඩි නොවදින ජීප් රථ, යුද ටැංකි, ට්‍රක් අපට දැකගත හැකි විය.

ඒ අසලම අපට දැකගත හැකි වූයේ යුනයිටඩ් මෝටර්ස් ආයතනය එකලස් කරන DFSK සුඛෝපභෝගී රථයයි. එහි සිටි නිලධාරියාගෙන් අපට ඒ ගැන විස්තර දැනගත හැකි විය.

“මේ වාහන දැන් 3000ක් විතර ලංකාවේ නිපදවා තියෙනවා. මේ වාහනේ 35%ක් කොටස් මුළුමනින්ම ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඉතිරි කොටස් චීන සමාගමක් ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කරලා ලංකාවේදී එකලස් කරනවා.”

යුනයිටඩ් මෝටර්ස් සමාගම මෙරට වාහන එකලස් කිරීමේ ආරම්භක ව්‍යාපාරය බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. බොහෝදෙනා සිතා සිටින්නේ උපාලි විජේවර්ධනගේ උපාලි මෝටර්ස් කොම්පැනිය එකලස් කළ උපාලි මැස්ඩා හා උපාලි ෆියට් කාර් මෙරට පළමු එකලස් වාහන බවය. ඒත් ජපානය අග්නිදිග ආසියාවේ වාහන එකලස් කරන්නට මුලින්ම තෝරා ගත්තේ ලංකාවයි. අදටත් මහමඟ යහතින් දුවන Mitsubishi 4DR Jeep මේ රථයයි. ඉන්පසු ජපානය ලංකාවේදී 5 ශ්‍රී මිට්සුබිෂි කෝල්ට් රථයක් ද එකලස් කරන ලදී.

මේ අතර ප්‍රදර්ශන භූමියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩබ්ලිව්.ඒ.පී.කේ. නිශාන්තගෙන් මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේ දේශීයව එකලස් කළ හා නිෂ්පාදනය කළ වාහන ගැන විමසා සිටියෙමු.

“මෙතැනට අද එකලස් කරපු වාහන ආයතන 25කට වැඩිය වෙළෙඳ කුටි තියෙනවා. අද තමයි බොහෝ අය ලංකාවේ මේ තරම් වාහන එකලස් කරන තැන් තියෙනවා කියල දැනගන්නේ. අපේ අරමුණ මේ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ වාහනයක් නිෂ්පාදනය කරන්න උපදෙස් වගේම අනුග්‍රහය ලබාදීම. ඊටත් වඩා විදේශීය වෙළෙඳ පොළක් සොයා දීම. මේ නිෂ්පාදකයෝ අනික් අයගේ නිෂ්පාදන දැක්කෙත් මෙතැනදී.” 

ලංකාවේ කුඩා ලොරි අතරින් වඩාත් ජනප්‍රියව ඇති රථයක් නම් 'ඩිමෝ බට්ටා' ලොරියයි. දැන් මේ ඩිමෝ ආයතනය ටාටා ට්‍රක් රථයක් මෙන්ම ඩිමෝ බට්ටා ලොරිය ද ලංකාවේ එකලස් කිරීම ආරම්භ කොට ඇත.

එහි අලෙවි නිලධාරින් පවසන්නේ 40%ක කොටස් මේ ඩිමෝ බට්ටා ලොරියේ ලංකාවේ නිෂ්පාදනය කරන බවය. එහි තට්ටුව, සීට් සහ වෙනත් බොහෝ කොටස් බැටරිය පවා ලංකාවේ නිෂ්පාදනය. මෙම රථයක දැන් මිල ලක්ෂ 33කි.

මෙම ලංකාවේ එකලස් කරන වාහනවලට අවශ්‍ය ඇතැම් අත්‍යවශ්‍ය වානේ කොටස් මෙන්ම රබර් කොටස් නිෂ්පාදන ආයතන අතරින් අප ගොඩ වූයේ ෂමිනි ඉන්ඩස්ට්‍රීස් ආයතනයටය. එම ආයනයේ කළමනාකාරිනි කල්පා අපට දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ගැන පැහැදිලි කළාය.

“හොන්ඩා සීටී හන්ඩ්‍රඩ්, ඩිස්කවරි වගේ බයිසිකල් වගේම ගොඩක් ලංකාවේ එසම්බල් කරන වාහනවලට අවශ්‍ය යකඩ, වානේ, රබර් කොටස් වගේම මෝල්ඩ් (අච්චු) අපි නිෂ්පාදනය කරනවා.”

මේ කර්මාන්ත ප්‍රදර්ශනයේ සිළුමිණ හඳුන්වා දුන් මිල්ටන් මෝටර්ස් ආයතනයේ සිටි සීට් පේළි දෙකේ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ද අපට දැකගත හැකි විය. එම මිල්ටන් මෝටර්ස් ත්‍රිරෝද රථය ගැන ප්‍රදර්ශනයට පැමිණි පිරිස් පොරකමින් කරුණු විමසීමේදී එහි කළමනාකරු මිල්ටන් අප දැක කතා කරන්නට අමතක කළේ නැත. සිළුමිණ හඳුන්වා දුන් මේ ත්‍රිරෝද රථය පැයක් චාජ් කිරීමෙන් පසු කිලෝමීටර 160ක් ධාවනය කිරීමට හැකියාවක් ඇත.

ලංකාවේ වාහන ආනයනය තහනම් කිරීමට ප්‍රථම සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වාහනයක් වූයේ 'ප්‍රෝටෝන් සාගා' රථයයි. ලංකාවට මුලින්ම මෙම රථ ආනයනය කෙරුණේ අනූව දශකයේ මුලදීය. එය ජපානයේ මිට්සුබිෂි සමාගමේ ලාන්සර් CGF නැමැති රථය මැලේසියාවේ එකලස් කළ නිෂ්පාදනයක් ලෙසය. ජනපති ප්‍රේමදාස මැලේසියාවට ගිය අවස්ථාවක මැලේසියන් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් සාගා රථයක් ජනපති ප්‍රේමදාස ඝාතනය වන විටත් ඔහු සතු විය.

දැන් ලංකාවේ ප්‍රෝටෝන් සාගා රථය එකලස් කරන්නේ මයික්‍රෝ සමාගම විසිනි. එහි අලෙවි නිලධාරියා අපට පවසා සිටියේ සුඛෝපභෝගී රථයේ 40%ක කොටස් ලංකාවේ නිපදවන බවයි.

“ප්‍රෝටෝන් කාර් එක අනූනම ලක්ෂ අසූපන්දාහයි.”

එතකොට ලංකාවේ එසම්බල් කරපු සෙවන් සීට් SUV එක කීයක් වෙනවද?

“ලක්ෂ 173යි. පර්මිට් එකට ලක්ෂ 160කට ගන්න පුළුවන්.”

මේ කර්මාන්ත ප්‍රදර්ශනයේ තිබුණ ලංකාවේ නිෂ්පාදිත එක් Bike Car එකක් දුටුවිට අප මතකයට ආවේ අමිතා බච්චන්ගේ පරණ බයිස්කෝප් එකකි. එහි විශේෂත්වය මෝටර් සයිකලයට වම්පසින් තව කෙනෙකුට හිඳගෙන යා හැකි රෝදයක් සහිත කොටසක් බද්ධ කිරීමයි. එහි නිෂ්පාදක ආයතනය දිවුලපිටියේ තිලකසිරි මෝටර්ස් ආයතනයයි. එහි සභාපති ඒ. ඒ. එන්. ටී. තිලකසිරිය.

“මට හයිබ්‍රිඩ් වාහන ගැන පේටන්ට් 6ක් තියෙනවා. අපි පෙට්‍රල් බයික් වගේම ඉලෙක්ට්‍රික් මෝටර් බයික් හදනවා. මේ බයික්වල 45%ක් ලංකාවේ කොටස් හදනවා. ලංකාවට මුලින්ම හයිබ්‍රිඩ් මෝටර්සයිකල් 100 ගෙනාවේ අපි. ඊට පස්සේ ලංකාවට 2022දී වාහන ඉම්පෝට් තහනම් කළා. අපිට කෝටි ගාණක් පාඩු වුණා.”

අපි ඊළඟට පිවිසුණු වෝල්ටා ඔටෝටෙක් ආයතනයේ දේශීයව එකලස් කළ මෝට ර්සයිකල්වලට අමතරව අත්ට්‍රැක්ටර් මෙන් ත්‍රිරෝද රථ ද විය. එම ත්‍රිරෝද රථය මිල කොට තිබුණේ ලක්ෂ 13කටය. අත්ට්‍රැක්ටර්වල 40%ක කොටස් දේශීයව නිෂ්පාදනය කොට තිබුණි. මෙහි අමුතුම ආකාරයේ මෝටර් සයිකලයක් ද විය. එම දිගු මෝටර් සයිකලයේ සිවු දෙනෙකුට එකවර ගමන් කළ හැකි විය. LOADER නම් වූ එම මෝටර් සයිකලයේ මිල ලක්ෂ හයකි.

“චීනේ ගොවියෝ ගොවිපළවලට යන්න, බඩු ගෙනියන්න තමයි මේ ලෝඩරය කුඩා ලොරියක් වගේ පාවිච්චි කරන්නේ. මේකේ 40%ක් කොටස් ලංකාවේ හදන්නේ.”

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේ AC කරපු ත්‍රිරෝද රථයක් දැකගත හැකි වූයේ වේගා ආයතනයේය. ඉලෙක්ට්‍රික් එම රථයේ වහලයේ සූර්ය පැනලයක් ද විය.

“මේක චාජ් කළාට පස්සේ කිලෝමීටර් 120ක් යන්න පුළුවන්. හුඩ් එකේ සෝලා පැනල් එකෙන් තව කිලෝමීටර 20ක් දුවන්න පුළුවන්.” එහෙත් වේගා ආයතනයේ සුඛෝපභෝගී ඉලෙක්ට්‍රික් කාරය අප යන මොහොතේ එතැන තිබුණේ නැත.

මෙහි ප්‍රදර්ශනයට තිබුන තවත් දේශීයව එකලස් කළ දොරවල් සහිත මනරම් ත්‍රිරෝද රථයක් වූයේ ZEV ය. ඉලෙක්ට්‍රික් රථයක් වූ එහි මිල ලක්ෂ 23ක් විය. 

“අපි මේ ත්‍රිවිල් එකේ 30%ක් කොටස් ලංකාවේ නිෂ්පාදනය කරනවා.” එහි කළමනාකරු පුබුදු ජයසිංහ අප සමඟ පැවසීය.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේ දැවැන්තම වාහන පෙළක් දේශීයව එකලස් කොට තිබුණේ අයිඩියල් මෝටර්ස් ආයතනයයි. එහිවූ මෝර්ෂි නම් ඉලෙක්ට්‍රික් ජීප් රථය ඔවුන් පැවසුවේ මුළුමනින්ම ලංකාවේ නිෂ්පාදනයක් බවය.

“දැනටම මේ මෝර්ෂි වාහන දෙකක් නාවික හමුදාවට දීලා තියෙනවා. මේ වාහනය ගොඩබිමේ වගේම මුහුදක, ගඟක, වැවක දියේ වුණත් යන්න පුළුවන්.”

දැන් ජනප්‍රිය මහේන්ද්‍රා බොලේරෝ රථය එකලස් කරන්නේ ලංකාවේය. එහි 40% කොටස් නිපද වන්නේ ලංකාවේය. බොලේරෝ රථයක මිල ලක්ෂ 45කි. මහේන්ද්‍රා KUV 100 සුඛෝපභෝගී රථය එකලස් කරන විට අයිඩියල් මෝටර්ස් ආයතනය එහි කොටස්වලින් දැනටමත් 30%ටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයක් දැන් ලංකාවේ නිෂ්පාදනය කරයි. එහි ඩීසල් රථයක මිල රුපියල් හැටනව ලක්ෂයකි.

මේ කර්මාන්ත ප්‍රදර්ශනය පුරා සැරිසරද්දී වැඩිපුරම අපට දක්නට ලැබුණේ විදුලි හා ගැසොලින් මෝටර් සයිකල්, දේශීයව නිෂ්පාදනය කළ පාපැදි හා ඉලෙක්ට්‍රික් පාපැදිය. ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය එකලස් කළ ලොරි, බස්, තට්ටු ලොරි ද එක්පසෙක ගාල්කර තිබුණි. ටන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනයේ කන්ටේනර් ප්‍රවාහනයට නිපදවා තිබූ වාහන හා කන්ටේනර් ටේලර් ඉතා දැවැන්ත ඒවා විය.

ගිනිගහන අව්වේ සැරිසැරූ “Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමඟාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ නිෂ්පාදන ආයතන 26ක දේශීයව එකලස් කළ වාහන 150කට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත ප්‍රදර්ශනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 4 දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුවද 2021දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දීමෙන් පසුව මේ වන විට එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇත. ඒ අනුව මෝටර් රථ, ත්‍රිරෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වාහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කරමින් එකලස් කර දේශීයව මෙන්ම විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකිවී ඇත. ලංකාවේ බිස්නස් ගැන ඇති සුප්‍රසිද්ධ කියමන වන්නේ 'ඇස්කිමෝවෙක්ට අයිස් පෙට්ටියක්' විකුණන තරම් දේශීය ව්‍යාපාරිකයා උපක්‍රමශීලී විය යුතු බවය. ජාත්‍යන්තර ලෝකයට යෑමටත් පෙර මේ සිරිලංකාවේ උදවියට දේශීය එකලස් කළ හා සම්පූර්ණයෙන් නිෂ්පාදනය කළ මේ වාහන භාවිතයට ඇති නීතිමය බාධා දුරු වේවායි පතමින් මෙරට දේශීය කර්මාන්ත ආරම්භයේ පුරෝගාමි චරිතය වූ සිරිමාවෝ බණ්ඩාරනායක නමින් ඇති ශාලාවට සමු දුන්නෙමු.

ඡායාරූප - රුක්මල් ගමගේ / සුදත් මලවීර

Comments