මිටි මිනිසුන්ගේ උස් හිත්වල කතාව | සිළුමිණ

මිටි මිනිසුන්ගේ උස් හිත්වල කතාව

මිහිමත උපත ලබන සෑම මිනිසෙකුටම මොළොව එළිය දුටු දා සිට ජීවිතය පුරා උස්මිටිකම් රැසකට මුහුණ දීමට සිදු වෙයි. යමකුට උපතේදීම හිමිවූ ශාරීරික ආබාධයකට අවඥාවෙන් සිනාසීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එහෙත් අප සමාජයේ ජීවත් වන ‘උසින් අඩු මිනිසුන්ට’ විවිධාකාර අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇත. ඇතැම්හු ඔවුන් දෙස බලා සිනාසෙති. උසුළුවිසුළු කරති. 

මිටි මිනිසුන් රෝගීන් නොවන අතර, ඔවුන් අනාබාධිත ප්‍රජාවකි. මේ ජන කණ්ඩායමට ද මානව අයිතිවාසිකම් පොදු අතර, එය ඔවුන්ගේ අනුල්ලංඝනීය අයිතියකි. එහෙත් එම අනුල්ලංඝනීය අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වීම කනගාටුවට කරුණකි. ඔවුන් සමාජයෙන් ඈත් කර තැබීමට තරම් සමාජයෙන් සිදුවන හිරිහැරය බරපතළය. එවැනි හිංසා පීඩා සංවිධාන ගතවීමට ඔවුන්ට බල කරනු ලබන බව විද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්තයකි.

මීට සිවු වසරකට පෙර එනම්, 2019 වසරේදී ඔවුහු එවැනි තීරණාත්මක අවස්ථාවක් කරා පැමිණියහ. ඒ, ‘කුඩා මිනිසුන්ගේ සංවිධානය’ හෙවත් ‘Little People Association’ සංවිධානයයි. එම සංවිධානය ආරම්භ වන්නේ සමාජයෙන් තමන්නට සිදු වූ විවිධ පීඩාවන්ට එරෙහිව සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් එකතු වූ දොළොස් දහසකට ආසන්න කුඩා මිනිසුන් සහ අවාසි සහගත ප්‍රජාවේ එකමුතුවෙනි.

ඔවුහු සමාජයෙන් කිසිදු විටෙකත් අනුකම්පාව ඉල්ලා නොසිටින අතර ඔවුහු පෙළ ගැසී සිටින්නේ තම ප්‍රජාවට සමාජයෙන් එල්ලවන පීඩාවන්ට එරෙහිවය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිටින කුඩා මිනිසුන් මේ සංවිධානයට බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, සංගමයේ මුඛ්‍ය පරමාර්ථ කිහිපයකි. සමාජයේ ජීවත් වීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු අවම කර ගැනීම, ඔවුන් බල ගැන්වීම, අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම, අධ්‍යාපනය සඳහා යොමු කිරීම හා දිරිගැන්වීම, සමාජ සංවර්ධන ආයතන හා රාජ්‍ය ආයතන සමග සබඳතා පැවැත්වීම තුළින් ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීමට මැදිහත් වීම, රැකියාගත කිරීම වැනි ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම සංගමය පිහිටුවා ගත් බව එහි සභාපතිනි දර්ශනී නානායක්කාර (53) පැවසුවාය.

මෙම සංගමය විසින් වාර්ෂිකව සුහද හමුවක් පවත්වන අතර, ඉකුත් 10 වැනිදා එහි සිවුවැනි වාර්ෂික සංවත්සරය අති උත්කර්ෂවත් අන්දමින් මොරටුව ජනජය ශාලාවේදී පැවැත්විණි.

යම් දිනක ඔබේ උස නිසා සමාජයෙන් අවඥාවකට බැහැර කීරීමකට ලක් වී තිබේ දැයි විමසුවහොත් ඊට ඔවුන් සියලු දෙනාගේම පිළිතුර වන්නේ ‘ඔව්’ යන්න නම් අප මිනිසුන් ලෙස අපේ මිනිසත්කම ගැන නැවත සිතා බැලිය යුතුව ඇත. මේ සංගමය පිහිටුවන ලද දර්ශනි නානායක්කාරට ද ඇත්තේ ද එවැනි කටුක අත්දැකීම් සමුදායකි. එහෙත් ඇය ආත්ම ශක්තියෙන් සහ ධෛර්යෙන් තම ජීවිතය ගොඩනඟා ගනිමින් දියුණුවේ හිණි පෙත්ත දක්වා ළඟා වී සිටින්නීය. මේ, ඇයගේ කතාවයි.

“මමත් උපතින්ම උසින් අඩු කෙනෙක්. මගේ තාත්තා මාව කොළඹ ජනප්‍රිය බාලිකා පාසලකට ඇතුළත් කර ගන්න ගියාම මාව දැකලා ගන්න බෑ කිව්වා. මගේ තාත්තා එදා ඒ පාසලේ හිටපු විදුහල්පතිනියගෙන් ඉල්ලුවේ මගේ දුව ඉගෙනීම කරන්නෙ නැත්නම් මාස හයකට පසුව මම කැමැත්තෙන්ම ඉල්ලා අස්කර ගන්නම් කියලා. අන්තිමේ මාව පාසලට ගත්තා. මම ඉගෙනීමට දක්ෂ වුණ නිසා ඒ පාසලේ උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තා. වාණිජ අංශයෙන් සම්මාන සාමාර්ථ තුනක් සහිතව උසස්පෙළ විභාගය සමත් වුණා. නමුත් උසින් අඩු නිසාම ඇතැම් ගුරුවරු මාව හිටවලා තිබ්බේ තිරයේ පිටුපස. ඉස්සර මම හරි ආසයි වේදිකාවට නැඟලා සින්දුවක් කියන්න, නටන්න. ඒත් මට අවස්ථාව ලැබුණේ නැහැ. මගේ පුංචි හිතට එදා කොච්චර වේදනාවක් ආවාද කියලා මට දැන් වැඩිහිටියෙක් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ අද දක්වා බොහෝ තැන්වල උස අඩු නිසා සමාජයේ විවිධ පීඩාවන්ට ලක්වෙලා තිබෙනවා. 

අවුරුදු 10-15ක ඉඳන්ම මෙවැනි උසින් අඩු පුංචි මිනිසුන් වෙනුවෙන් හඬක් නඟන්න අවශ්‍යයි කියලා හිතේ පැළවුණු අදහසක් තිබුණා. මේ සංගමය පිහිටුවීම ගැන මම මුලින්ම සාකච්ඡා කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟයි. ඔවුන් මේ සඳහා මැදිහත්වීම කරන්න ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මහත්මියටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඉදිරි කටයුතු කරගෙන යන්න අපිට හොඳ නිලධාරි මඬුල්ලක් දැන් ඉන්නවා. අපේ රටේ කිසිදාක මේ උසින් අඩු පුංචි මිනිසුන් වෙනුවෙන් සංගණනයක් සිදුවෙලා නැහැ. දිස්ත්‍රික් මට්ටමෙන්වත් උසින් අඩු මිනිසුන් කී දෙනෙක් සිටිනවාද කියන තොරතුරු නැහැ. මම හිතන විදියට උපතින්ම උසින් අඩු මිනිසුන් ලෙස ඉපදුන දස දහසක් දොළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. බොහෝ විට කාන්තා පාර්ශ්වය සමාජයෙන් වසන් කරලා තියෙන්නෙ.

මගේ පියා ව්‍යාපාරිකයෙක්. මම පෞද්ගලික උසස් අධ්‍ය­ාපන ආයතනයකින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. මට සිංහල, ඉංග්‍රිසිවලට අමතරව ජර්මන් භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්. ස්විස්ටර්ලන්තය, ජර්මනිය, සිංගප්පුරුව, බැංකොක් ඇතුළු රටවල සංචාරය කරමින් අත්දැකීම් ලබාගෙන තිබෙනවා. මම විවාහකයි. දරුවො දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා අතුල රත්නවීර, මගේ පුතාලා දෙන්නා සචිත් සහ කෙමිත්. මොරටුව ගොරකානේ හෝටලයක් සහ දෙහිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් මට තියෙනවා. දැනටමත් මගේ යටතේ 100-150ක පිරිසක් සේවය කරනවා. උසින් අඩු මගේ ළඟ දැන් වැඩ කරන්නෙ උසින් වැඩි අය. ඒත් උසින් අඩු මිනිසුන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දෙන්න, ඔවුන් වෙනුවෙන් සහන සැලසීමම තමයි මගෙත් අපි පිහිටුවා ගත් සංගමයෙත් ඉදිරි සැලසුම.”

මේ සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ ජනේෂ් චන්දිමාල් (53) ය. කළුතර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඔහු වෘත්තියෙන් ගබඩා පාලකයෙකි. ආචාර්ය ලයනල් අල්ගම මහතාගෙන් සංගීතය හදාරා ඔහු සංගීත විශාරද උපාධිය දක්වා හැදෑරුවේය. ජනේෂ් අවිවාහකය. “උසින් අඩු මිනිසුන් දෙස අනුකම්පාවෙන් බලන්න එපා. සාමාන්‍ය මිනිස්සු දිහා බලන විදියටම බලන්න. රැකියා ස්ථානයේ හෝ ගමන බිමනේදී ඔවුන්ට සම තැන දෙන්න. ඔවුන්ගෙන් මේ රටට විය යුතු යුතුකම ඉටුකරගන්න අවස්ථාව දෙන්න” ඒ, ජනේෂ් සමාජයෙන් කරන ඉල්ලීමයි.

හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, අනූෂා ගෝකූල ප්‍රනාන්දු මොවුන් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

“අපේ රටේ තමයි ජනතාව අතර මේ අය සුවිශේෂ වෙලා තියෙන්නේ. නමුත් මේ අයත් සාමාන්‍ය කණ්ඩායමක්. මේ අය ආබාධිත ගණයට වැටෙන්නේ නැහැ. එසේ නම් ඔවුන් අනාබාධිත ප්‍රජාවක්. සාමාන්‍ය මිනිසුන්ට අයත් සියල්ල ඒ අයටත් අදාළයි. එහෙත් මිනිසුන්ගේ ආකල්ප නිසා මේ අයට වෙන හානිය වැඩියි. මේ අයගේ මොළයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍යයි. වෙනස සාමාන්‍ය මිනිසෙකුට වඩා උපරිම උස අඩු වීම පමණයි ගැටලුව. මේ ප්‍රජාව සම්බන්ධයෙන් සමාජ සහ ජීවවිද්‍යාත්මක පර්යේෂණ සිදු කළ යුතුයි. අපේ රටේ සංස්කෘතිය සමඟ ඔවුන්ටත් සමාජගත වෙන්න සහ ගොඩනැඟෙන්න අවස්ථාව ලබා දිය යුතුයි. අනෙක් රටවල මේ අයට පහසුකම් සලසා දී සම අයිතිවාසිකම් සහිතව සලකනවා. නමුත් අපේ සමාජයේ තියෙන පටු අදහස් නිසා මේ ප්‍රජාවේ ඉන්න දක්ෂයෝ පවා සමාජයෙන් වසන් වී සිටිනවා. ඔවුන් මානසිකව පහළට ඇද වැටීම නිසා මානසික රෝගීන් බවට පත්වීමේ ඉඩක් තිබෙනවා. ඒ නිසා ඔවුන් සමාජගත කළ යුතුයි.” ඒ ඇය සමාජයට දෙන පණිවිඩයයි. 

උසින් අඩු මිනිසුන් දුටු විට ඇතැම් මිනිසුන් ඔවුන් ලෙස බලන්නේ විමතියෙනි. නැතහොත් උපහාසයෙනි. ළමා රෝග විශේෂඥ දිල්රුක්ෂි රුබේරූ පවසන්නේ උස අඩු බව රෝගයක් නොවන බවයි. ඒ පිළිබඳ ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

“මිටි භාවය රෝගයක් නෙවෙයි. එය ජානමය බලපෑමකින් ඇතිවන්නක්. මවුපියන්ගෙන් කෙනෙකුට මිටි භාවයක් ඇති නම් 50%ක් එහි බලපෑමක් දරුවන්ට තිබිය හැකියි. නමුත් ඔවුන්ගේ මොළයේ වර්ධනය අනිත් අයගේ වගේම සාමාන්‍යයි. ඒ නිසා මේ දරුවන්ටත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න පුළුවන්. සමාජයෙන් පීඩාවට ලක් නොවෙනවා නම් ඒ දරුවන්ටත් සාමාන්‍ය දරුවන්ට වගේ තමන්ගේ දක්ෂතා තුළින් සමාජයේ ඉහළටම යා හැකියි. ඒ නිසා අප වෙනස් කළ යුත්තේ ඔවුන් කෙරෙහි ඇති සමාජ ආකල්පයි. සාමාන්‍ය මිනිසුන්ට ලෙස ඔවුන්ටත් සමාජ පිළිගැනීම සහ ගෞරවය ලබා දිය යුතුයි.”

ඇය කියන්නා සේම උසින් අඩු මේ මිනිසුන් තුළ ඇති දක්ෂතා නම් බොහෝ උසස්ය. බොහෝ ඉහළ ක්ෂේත්‍රවල නිරත වී සිටින අය ද මොවුන් අතර වේ. උසින් අඩු ප්‍රජාව පිළිබඳ මේ දක්වා විධිමත් ආකාරයට ගණනය කිරීමක් හෝ ලේඛනගත කිරීමක් නොකිරීමට හේතුව ඔවුන් ද සාමාන්‍ය මිනිසුන් ලෙස සැලකීමයි. එසේ නම් ඔවුන්ට ද සාමාන්‍ය මිනිසුන්ට සමාජය තුළ ඇති පිළිගැනීම සහ අයිතිවාසිකම් ලබා දිය යුතුය. කෙසේ වෙතත් උසින් අඩු බව බාධකයක් ලෙස නොසලකා සිය ජීවිතය සාර්ථක කරගත් බොහෝ පිරිසක් ද මේ කුඩා මිනිසුන් අතර වේ.

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ ජීවත් වන රංජිත් දිසානායක වෘත්තියෙන් (45) ව්‍යාපාරිකයෙකි. ඔහුට චතුණි අනුත්තරා ( 09) සහ කුසල් ප්‍රභාෂ්වර (15) නමින් දරුවන් දෙදෙනකු වෙයි. රංජිත්ගේ බිරිය දසුනි චම්පිකා වික්‍රමසිංහ (36) ගෘහිණියකි. ඇය අඩි පහයි අඟල් තුනක් උසය. රංජිත්ට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් වන අතර, මවුපියන් දරුවන් පෝෂණය කළේ ගොවිතැනිනි. ඌව පරණගම වැවේගම මහ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරු රංජිත් චිත්‍රපට ගණනාවක චරිතාංග නළුවෙකි. කුසපබා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් ද මකර දඩයම ඇතුළු චිත්‍රපට ගණනාවකට ද ඔහු රංගනයෙන් දායක වී ඇත.

නිමල් ගුණතිලක (50) කෙවිටියාගල පොල්ගම්පොළ ‍උපත ලැබූ වෘත්තියෙන් උපාධිධාරි සිංහල ගුරුවරයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියෙකි. එක් දරු පියකු වන ඔහුගේ බිරිය චන්දිමා (47) දමයන්ති ය. දියණිය නෙතුලි දහම්සා (6) වෙයි. වෘත්තියෙන් ගුරුවරයෙක් වුවත් නිමල් ගුණතිලක කලා කටයුතුවලට වැඩි උනන්දුවක් දක්වයි.

මේ සංගමයේ ලේකම් ජනේෂ් චන්දිමාල් පවසන්නේ කොතෙක් බාධක අවහිරතා මැද වුවත් මිහිමිත් මිනිසුන්ගේ තරුණ ප්‍රජාව වර්තමානය වනවිට සමාජයේ බොහෝ ක්ෂේත්‍රවලින් ඉදිරියට පැමිණෙමින් තිබීම සතුට කර­ුණක් බවයි. මෙම සංගමයේ සිටින ඩිනුර නාගසිංහ (18) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි සිසු­‍ෙවකි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක කණ්ඩායම ද නියෝජනය කළ ඔහු කලා අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු මේ වනවිට ටවර් හෝල් පදනමේ ඩිප්ලෝමාවක් හදාරයි.

දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ, කුරුණෑගල පදිංචි සඳුන් ප්‍රේමචන්ද්‍ර (26) කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව විශේෂවේදි උපාධිධාරියෙකි. නිවසේ සිට හෝ අන්තර්ජාලය මඟින් ව්‍යාපාර කටයුත්තකට හවුල් වීමට බලාපොරොත්තුවෙන් සිටින සඳුන්, ඒ සඳහා ලැප්ටොප් පරිගණකයක් ලබා ගත හැකිනම් එය තමාට විශාල උපකාරයක් බව කීවේය.

එසේම කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ මලීෂ දේශාන් සිල්වා (23) මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත පැරා එෆ් 40 කාණ්ඩය යටතේ යගුලිය විසි කිරීමේ ක්‍රීඩා ඉසව්වෙන් පැරා ඔලිම්පික් තරගය නියෝජනය කිරීමට සූදානමින් සිටියි. උමේෂා අල්විස් (39) අම්බලන්ගොඩ ගෝතමී බාලිකාවෙන් උසස් පෙළ දක්වා හදාරා ඇති අතර, ඇයගේ මවුපියන් ආයුර්වේද වෛද්‍යවරුන්ය. අන්තර්ජාතික මට්ටමින් පවත්වාගෙන ඔවුන්ගේ ඖෂධ ව්‍යාපාරයේ ගිණුම් අංශයේ කටයුතු කරන්නේ උමේෂාය. මනෝජ් සංජය (22) වේයන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර සර්කස් ක්‍රීඩා ද ප්‍රගුණ කර ඇත. එසේම ඔහු මිහිමිත් මිනිසුන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් රූපවාහිනී නාළිකාවක විකාශනය වූ රියැලිටි සංගීත වැඩසටහනක අවසන් වටයේ 160 වැන්නා දක්වා දිගු ගමනක් පැමිණ තිබේ.

උඩත්තව රවින්ද්‍ර ප්‍රදීප් (49) ද වෘත්තියෙන් ලේඛකයකු, ගායකයකු සහ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළුවෙකි. රුවන්වැල්ල ඉඹුලාන සිරිසේන මහ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යපනය හැදෑරූ ඔහු මේ වනවිට තමාගේම ප්‍රකාශන ලෙස නවකතා එකොළහක් නිකුත් කර ඇත. මේ සංගමයේ සියලුම තරුණ තරුණියන් පවසන්නේ තමා ප්‍රගුණ කළ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට ඔවුන්ට සහයෝගය ලබා දුන්නේ මිහිමිත් සංගමයේ සභාපතිනිය සහ ලේකම්වරයා බවයි.

ලෝකයේ දියුණු රටවල මෙබඳු විශේෂ මිනිසුන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන්ම ක්‍රියාකාරී සංවිධාන ද බිහිවී ඇත. අපේ රටේ එවැනි සංවිධානයක් බිහිවී නොතිබූ පසුබිමක උසින් අඩු මිනිසුන්ගේ එකමුතුවෙන් මේ මිහිමිත් සංවිධානය බිහිවී ඇත්තේ තම ප්‍රජාවේ අයිතීන් රැක ගැනීමටය. එබැවින් මේ මිනිසුන්ගේ හඬ නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දියුණු, විද්‍යාත්මක ව්‍යාපෘතියක් සකස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වීම කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම ඔවුන්ට සමාජයේ පිළිගැනීම සහ ගෞරවය ලබා දීමට කටයුතු කිරීම මනුෂ්‍යත්වයට කරන ගෞරවයකි.

Comments