ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වයේ එදා මෙදා තුර කතාව | සිළුමිණ

ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වයේ එදා මෙදා තුර කතාව

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තානාපති සබඳතා ආරම්භ කරමින්

තාක්ෂණය අද මුළු ලෝකයේම රටවල් එකිනෙක සමීප කර ඇත. ලෝකයේ එහා කෙළවරේ සිටිනා පුද්ගලයකුට තවත් පුද්ගලයකු හා සම්බන්ධ වීමට ගතවන්නේ ඇඟිලි තුඩක තෙරපුමකට ගත වන කාලය පමණි. එබැවින්ම අද ලොප පුරා රටවල් ද අතීතයේ අන් කවදාටත් වඩා සබඳතා ජාලයකින් වෙළී ගොස් තිබේ. මේ වාතාවරණය යටතේ කිසිදු රටකට තනිව පැවතිය නොහැකිය. එහෙත් එසේ වූ පමණින් සෑම රටක්ම එකිනෙකා සමඟ සුහද සිතින් පසුවන්නේ යැයි සිතිය නොහැකිය. මිතුරු පසමිතුරු සංකීර්ණ සබඳතා අතර අතීතයේ සිට අත් නොහැරි මිත්‍ර සබඳතා වේ නම් ඒවා රන් මෙන් අගනේය. ඒ වර්තමාන ගෝලීය ලෝකයේ ඕනෑම රටකට යහපත් මිත්‍ර සබඳතා ආශිර්වාදයක්ම වන බැවිනි. 

ශ්‍රී ලංකාව එවැනි ආශිර්වාද ලද රටක් යැයි පැවසිය හැකි වන්නේ රුසියාව වැනි දැවැන්ත බලවත් රටක ඉපැරණි මිතුදමකට උරුමකම් කියන බැවිනි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අනාදිමත්කාලයක සිට පැවත එන මිතුදමකි. ඒ මිත්‍රත්වයේදී බලවත් රටක් ලෙස රුසියාවෙන් ශ්‍රී ලංකාවට තිළිණ වූ දේ බොහෝය. වෙළෙඳ, වාණිජ, සංස්කෘතික, අධ්‍යාපන යනාදී මෙකී නොකී සෑම අංශයකම පැතිර ගිය බොහෝ දේ රුසියාවෙන් ශ්‍රී ලංකාව වෙත ලැබුණේ දෙරට අතර පවතින යහපත් මිත්‍ර සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙනි.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඉතිහාසය බැලූ විට පෙනී යන්නේ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ආරම්භය සෝවියට් යුගය කරා විහිදී ගොස් ඇති බවයි. දෙරට අතර තානාපති සබඳතා 1956 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, එතැන් සිට වසරක් ගත වීමට පෙරම මේ සබඳතා වඩාත් වර්ධනය කරමින් ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවන් ද ඇති කර ගැනීමට දෙරටම සමත් විය.

එලෙස ඇතිවූ මිත්‍ර සබඳතාවලදී ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමට අත දීමට ද රුසියාව නිරන්තරයෙන් උත්සාහ දැරීය. සැබවින්ම සැබෑ මිත්‍රත්වයක් යනු ණය දීම මඟින් රටේ ආර්ථීකය අගාධයට හෙළීමට කටයුතු කිරීම නොව නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට උපකාර කොට රටේ ආර්ථිකය ශක්තිමත් කොට ණය ලබා ගත යුතු නොවන ස්ථාවර ආර්ථීක තත්ත්වයකට රට පත් කිරීමට අත දීමය. සැබවින්ම රුසියාව යනු එවැනි සැබෑ මිත්‍රත්වයක් ශ්‍රී ලංකාවට ලබා දුන් රටකි.

ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ 1960 දශකයේදී ශ්‍රී ලංකාව පුරා කර්මාන්ත ශාලා රැසක් ස්ථාපිත කිරීමට රුසියාව කටයුතු කිරිමයි. ඔරුවල වානේ කර්මාන්ත ශාලාව, දළුගම ටයර් කර්මාන්ත ශාලාව මේ සඳහා හොඳම උදාහරණ වේ. මේ කර්මාන්තශාලා මඟින් ලොවම පිළිගත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එමඟින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට ද එකල සිටි පාලකයන්ට හැකියාව හිමි විය.

පසුව සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය දිගින් දිගටම පැවතිණි. දෙරටේම කිනම් අන්දමේ වාතාවරණයන් පැවතියද මේ මිතුදමට කිසිදු හානියක් සිදුවූයේ නැත. මේ මිත්‍රත්වය සඳහා තවත් හොඳම උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී රුසියාව අන්තර්ජාතික වශයෙන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගෙන ඒමට උත්සාහ දැරූ සෑම අවස්ථාවකදීම රුසියාව තම නිෂේධ බලය යොදමින් එම චෝදනා ව්‍යර්ථ කර දැමීමට කටයුතු කළ අන්දම සෑම ශ්‍රී ලාංකිකයකුම මතකයේ තබා ගත යුතුව ඇත.

රුසියාවේ අධ්‍යාපනය ලැබීමට වසර ගණනාවක් පුරා ශ්‍රි ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ලැබුණූ අතර, රුසියාවේ අධ්‍යාපනය ලැබූ විශාල පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදී සිටිති.

මීට අමතරව රුසියාව ශ්‍රී ලංකාව යුද අවි ලබා දීමෙන් සිවිල් යුද්ධය අවසන් කර ගැනීමට සහාය ලබා දුන් අතර, ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළින් සැලකිය යුතු ප්‍රතිශතයක් රුසියාව දරා සිටින බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය වන තේ කර්මාන්තයෙන් සියයට 17ක් ඍජුවම අපනයනය කෙරෙන්නේ රුසියාවටය. එමඟින් අප රටට හිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලය.

සෑම වසරකම ලක්ෂ හතකරට වැඩි මිස අඩු නොවන රුසියානු සංචාරකයන් තම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගනිමින් අප රටට විදේශ විනිමය රැගෙන එති.

මීට අමතරව ශ්‍රී ලංකාව සුනාමි ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් සෑම අවස්ථවාකදීම රුසියානු ජනතාව තම හෘදයාංගම සහයෝගය නොඅඩුව ශ්‍රී ලාංකිකයන් වෙත එවීමට කටයුතු කළහ.

සැබවින්ම රුසියානු ජනතාව යනු නිර්භීත සහ දක්ෂ මිනිසුන්ය. 2020 වසරේදී ලොව පුරා කොවිඩ් වයිරසය පැතිර යන විට විශේෂයෙන්ම චීනයෙන් බැහැරව එම වයිරසය ඉතාලිය පුරා පැතිර යන විට ඉතාලිය අසරණව ලෝකයෙන් සහාය ඉල්ලා සිටියේය. එවිට මුළු ලෝකයම තම තමන්ගේ රටවල් කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් සිටියදී රුසියාව පමණක් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් පිරිසක් ඉතාලියට එවීමට කටයුතු යෙදීය. ඒ, රුසියාවේ හැටිය.

යම් යම් සිදුවීම් සිදුවිය හැකිය. එහෙත් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය පළුදු කිරීමට ඒ කිසිදු සිදුවීමකට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය ඒ තරම්ම ශක්තිමත් වන බැවිනි.

Comments