නේපාල ගුවන් කලාපය ලොව අනතුරුදායකම ගුවන් කලාප අතරට | සිළුමිණ

නේපාල ගුවන් කලාපය ලොව අනතුරුදායකම ගුවන් කලාප අතරට

 

සුන්දර හිමාල කඳුවැටියට ආසන්නතම ජනාවාසය ලෙස නේපාලය මුළු ලෝකයේම ආදරයට පාත්‍ර වූ රටකි. වසරකට හිමාලය තරණය කිරීම වෙනුවෙන්ම නේපාලයට පැමිණෙන ජනතාව දහස් ගණනකි. මේ සෑම දෙනාම ගුවන් මඟින් පැමිණෙන මගීන් වෙති. නේපාලයේ කත්මණ්ඩු හි පිහිටා ඇති එකම ගුවන් තොටුපොළට පැමිණෙන මේ මගීන් තම ජිවිතයේ එකම ආශාව ලෙස පැවති හිමාලය තරණය කිරීමට ප්‍රවිෂ්ට වෙති. සැබවින්ම හිමාලය තරණය කිරීම එතරම් පහසු ක්‍රියාවක් නොවේ. මේ සඳහා යොමු වන ඇතැම් දෙනා යළිත් කිසිදා තම නිවෙස් බලා නොයති. ඒ වෙනුවට සදාකාලිකව හිමාල හිම තළාවේ මිහිදන් වෙති. එහෙත් ඒ බව දැනදැනම වුවද හිමාල තරණයට නේපාලය වෙත එන පිරිසේ අඩුවක් නැත.

එහෙත් දැන් හිමාලය තරණය කිරීම පමණක් නොව නේපාලයට පැමිණීම ද ජීවිතය අනතුරේ දමමින් කළ යුතු ක්‍රියාවක් ලෙස තහවුරු වී තිබේ. ඒ පසුගියදා ලොව අනතුරුදායකම ගුවන් කලාප අතරට නේපාල ගුවන් කලාපය ද එක්වීමත් සමඟිනි. එසේ සැලකීමට හේතු වූයේ පිටපිට වසර දොළහක් ඇතුළත නේපාල ගුවන් කලාපයේ ගුවන් යානා දොළහක් අනතුරට පත්වීමය.

මේ ගුවන් අනතුරු මාලාවේ අවසන් ගුවන් අනතුර වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙරදීය. මෙවර නේපාලයේ සුන්දර කඳු මුඳුන් අතර, අතුරුදන් වූ යානය අයත් වූයේ ටාරා ගුවන් සේවයට අයත් ට්වින් ඔටර් වර්ගයේ ගුවන් යානයකි. මේ ගුවන් සේවය නේපාලයේ අභ්‍යන්තර ගුවන් සංචාරයන්හි නිතර වීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති ගුවන් සේවයකි. නේපාලය කුඩා රටක් වුවද හිමාලය තරණය වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ට ගමන් පහසුව සැපයීම සඳහා මෙවැනි අභ්‍යන්තර ගුවන් සේවාවන්හි දැඩි අවශ්‍යතාවක් තිබේ.

කෙසේ වුවද පසුගිය සතියේදී මේ ගුවන් සේවයට අයත් ට්වීන් ඔටර් වර්ගයේ යානය නේපාලයේ කඳු මුඳුන් අතර අතුරුදන් වූයේ ඒ වන විට එහි ගමන් ගනිමින් සිටි මගීන් 22ක් ද සමඟිනි. පසුව මේ යානය පොක්රා සහ ජොම්සොම් යන ප්‍රදේශ අතරට කඩා වැටී තිබියදී සොයා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් විය. ඒ වන විට කිසිවකු ජිවතුන් අතර සිටියේ නැත. නේපාලයෙන් දිගින් දිගටම වාර්තා වන ගුවන් අනතුරු හේතුවෙන් ලොව අනතුරුදායකම ගුවන් කලාපය ලෙස නේපාලය පසුගියදා නම් කරනු ලැබීය. මෙහිදී ප්‍රකාශ වූයේ වැඩි වශයෙන්ම අනතුරුවලට ලක් වන්නේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවලට අයත් ගුවන් යානා බවයි. මේ ගුවන් යානා අනතුරුවලට ලක් වීමට හේතුව මේ යානා වසර ගණන් පැරණි වීම බව ද ප්‍රකාශ වී තිබේ.

උදාහරණයක් ලෙස පසුගිය සතියේ අනතුරට ලක් වූ ට්වීන් ඔටර් යානය වසර 40ක් පැරණි ගුවන් යානයක් බව හෙළි වී තිබේ. අනික් අතට මේ පැරණි ගුවන් යානාවලට නිසි නඩත්තුවක් නොලැබෙන බව ද ප්‍රකාශිතය. මේ සියල්ල අතර ගුවන් අනතුරු වැඩි වීමට ප්‍රධානම හේතුව ලෙස නේපාල බලධාරින් ද දක්වා ඇත්තේ නිතර අයහපත් වන කාලගුණයයි.

කඳුවලින් වටවූ නේපාලයේ පවතින්නේ මොහොතින් මොහොත වෙනස්වන සුළු වූ කාලගුණයකි. එබැවින් ඇතැම් ගුවන් යානා ගුවන් ගත කර විනාඩි කිහිපයක් ඇතුළත මුහුණ දීමට සිදු වන්නේ බලාපොරොත්තු නොවූ අයහපත් කාලගුණ තත්ත්වයන්ටය. එබැවින් ක්ෂණයෙන් වෙනස් වන කාලගුණයද නේපාල ගුවන් කලාපයට කළු පැල්ලමක් එක් කිරීමට සමත් වී තිබේ. තත්ත්වය කෙතරම් බරපතළ වුවද කඳු නැගීමට ආලය කරන්නන් කිසිදු අඩුවකින් තොරව නේපාලය වෙත පැමිණෙති.

පසුගිය වසර 12ක කාලය තුළ අනතුරට පත්වූ ගුවන් යානා සියල්ලම පාහේ කඩා වැටී ඇත්තේ පොක්රා සහ ජොම්සොම් ප්‍රදේශ අතරටය. එබැවින් මේ කලාපය ගුවන් ගමන්වලට ඉතාම අහිතකර කලාපයක් බව තහවුරු වී තිබේ. එහෙත් මේ කලාපය හරහා ගුවන් ගමන් මිස අන් ප්‍රවාහන ක්‍රමවේදයක් භාවිත කිරීමට ද බොහෝ දෙනා අකැමැත්ත දක්වති.

ඉතිහාසය පුරාම පොක්රා සහ ජොම්සොම් අතර සිදුවූ ගුවන් අනතුරුවලින් පිරී තිබේ.

2012 වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් 9ක් ද සමඟ 23 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් අනතුරට පත් වූයේ ද මේ ප්‍රදේශයේදීය. එම වසරේදීම අග්නි ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටුණේ ජොම්සොම්වලට ගොඩබැසීමට නොහැකිව යළිත් පොක්රා බලා ගමන් කිරීමේදීය. එහිදී මියගිය සංඛ්‍යාව 21කි. ඊට වසර හතරකට පසු එනම්, 2016 දී යළිත් වරක් ජීවිත 23ක් නැති කර දමමින් පොක්රා සහ ජොම්සොම් අතරදී තවත් ගුවන් යානයක් අනතුරට පත් විය. මේ සිදුවීම් සමඟ නේපාල ගුවන් කලාපය සම්බන්ධව විදෙස් අවධානය යොමු විය. ගුවන් නියමුවන්ට අනතුරු ඇඟවීම් කෙරිණි. බොහෝ ගුවන් නියමුවන් පැවසූවේ, නේපාලය අති සුන්දර නමුත්, එහි ගුවන් යානා පැදවීම සුන්දර නොවන බවයි.

කෙසේ වුවද දැන් යළිත් ගුවන් අනතුරක් සිදුවී තිබේ. තවත් ජීවිත ගණනාවක් සුන්දර පොක්රා කඳු ප්‍රදේශයේ සැඟව ගොස්ය. එය එසේ වුවද මේ කඳුකර භූමියට ආදරය කරන ලොව පුරා ජනතාව කිසිසේත් නේපාලය වෙත පැමිණීම වැළකීමට කටයුතු නොකරනු ඇත. සුන්දරත්වය සමඟ මුසුවුණූ බියජනක බව යනු නේපාලය ම බව ඔවුන් එහි පැමිණ අත් විඳිනු ඇත.

 

 

Comments