මෝනාලිසාට කේක් ප්‍රහාරයක් | සිළුමිණ

මෝනාලිසාට කේක් ප්‍රහාරයක්

 

පසුගයි මැයි 30 වැනිදා ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේදී ලෝක ප්‍රසිද්ධ මෝනාලිසා චිත්‍රයට කිසියම් පුද්ගලයකු විසින් කේක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ පුද්ගලයා මහලු කාන්තාවක් ලෙස සැරසී සිටිමින් රෝද පුටුවකින් ගමන් කර තිබේ. එහෙත් මෝනාලිසා සිතුවම ලගට පැමිණි පසු ඔහු එක්වරම පුටුවෙන් නැගී සිට චිත්‍රය වෙත කේක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වාසනාවකට මෙන් මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ චිත්‍රය ආවරණය කර තිබූ වෙඩි නොවදින වීදුරු ආවරණයටය.

වහාම ක්‍රියාත්මක වූ ලුවර් කේතුකාගාරයේ ආරක්ෂක අංශය මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඔහු සිද්ධිය වූ ස්ථානයෙන් පිටතට රැගෙන යද්දී ඔහු මහ හඬින් කෑ ගසා ඇත්තේ පෘථිවිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

‘මිනිසුන් පෘථිවිය විනාශ කරනවා. මට කියන්න ඕනේ වුණේ ඒ ගැන. පෘථිවිය ආරක්ෂා කර ගත යුතුයි. ඒ ගැන කටයුතු කරන්න‘

මෝනාලිසාට කේක් ප්‍රහාරය එල්ල කළ පුද්ගලය එසේ පවසමින් මහ හඬින් කෑ ගසමින් සිටියදී කෞතුකාගාරයේ ආරක්ෂක අංශ විසින් ඔහු ඉවතට ඇදගෙන ගොස් තිබේ.

පසුව මාධ්‍ය වෙත වාර්තා වී ඇත්තේ ඔහු හරිත ලෝකයක් ඇති කිරීම සඳහා කටයුතු කරන සංවිධානයක සාමාජිකයකු බවයි. මෙසේ මුළු ලෝකයේම වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන චිත්‍රය වෙත ප්‍රහාරයක් එල්ල කිරිම මගින් තමා වෙත අවධානය ලබා ගැනීමටත්, ඉන්පසු තමා වෙත එල්ල වන අවධානය පෘථිවිය ආරක්ෂා කර ගැනීම කෙරෙහි යොමු කරවීමටත් ඔහු උත්සාහ දරා ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

කෙසේ වුවද මේ පුද්ගලයාට සිර දඬුවම් විඳීමට සිදුවන බවට නම් සැකයක් නැත. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෝනාලිසා චිත්‍රයට විවිධ පුද්ගලයන් විසින් ප්‍රහාර එල්ල කර තිබේ. වරක් එක් පුද්ගලයකු චිත්‍රයට උල් ආයුධයකින් තුවාල කිරීමෙන් පසුව නරඹන්නන්ට චිත්‍රයට ළඟා වීමට නොහැකි වන ලෙස වීදුරු ආවරණයක්ද යොදා තිබේ.

ලියනාඩෝ චාවින්සි විසින් 16වැනි සියවසේදී අඳින ලද මෝනාලිසා චිත්‍රයට පෙනී සිටි ඇත්තේ ප්‍රංශයේ කුල කාන්තාවක් බව විශ්වාස කෙරේ. එම කාන්තාව ගේ මුහුණු ප්‍රකාශ කෙරෙන එහෙත් පැහැදිලිව විග්‍රහ කිරීමට අපහසු හැඟීම් හේතුවෙන් අදටත් මේ චිත්‍රය සැලකෙන්නේ මුළු මහත් ලෝකයේම ජනප්‍රියත්වයෙන් වැඩිම චිත්‍රය වශයෙනි. එබැවින්ම මේ අති සුන්දර චිත්‍රයට විඳින්නට සිදු වූ දුක් ගැහැටද රාශියකි. මෙවර කේක් ප්‍රහාරයද තවත් එවැනි කනගාටුදායක සිදුවීමක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

 

Comments