එරෝෆ්ලොට් ගුවන් යානයේ සිදුවීම | සිළුමිණ

එරෝෆ්ලොට් ගුවන් යානයේ සිදුවීම

ජූනි 1 වැනිදා

උදෑසන 10.10ට රුසියාවේ එරෆේලොට් ගුවන් සේවයට අයත් SU289 යන ගුවන් ගමන් අංකය දරන එයාර් බස් A 330 – 343 වර්ගයේ ගුවන් යානව මගීන් 246ක් ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට පැමිණීම. එම යානය එයාර් කැප් සමාගම විසින් කල්බදු පදනම යටතේ එරොෆ්ලොට් ගුවන් සේවයට ලබා දුන් යානයක් වීම.

ජූනි 2 වැනිදා

මේ යානය නැවත මගීන් රැගෙන යළි මොස්කව් බලා ගමන් ඇරඹීමට සූදානම් වුවද අවසාන මොහොතේ ගුවන් තොටුපොළ බලධාරින් විසින් එය වළක්වාලනු ලැබීම. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝගයකි. එම නියෝගයට ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රෙඩිං ලිමිටඩ් නම් වන සමාගමක් බව පැවසේ. එම සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් ඉල්ලා ඇත්තේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවත්, මේ තත්ත්වය තුළ වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

එම පැමිණිල්ල විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගමට ජූනි මස 16වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ගුවන් ගමන් වාරණ නියෝගය නිකුත් කොට තිබිණි.

එම නියෝගය ලබා ගත් පසු එදිනම සවස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ අධිකරණයේ පිස්කල් නිලධාරියා කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලීමට කටයුතු කරන ලෙස පවසා තිබේ.

පසුව ගුවන් තොටුපොළ බලධාරින් විසින් යානය ගුවන් ගත වීම වැළැක්වීම.ගුවන් ගත වීමට සූදානමින් සිටි මගීන් නවාතැන් වෙත යොමු කිරීම.

ජූනි 3 වැනිදා

මේ සිදුවීම වාර්තා වීමෙන් පසු මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිනිය වන ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියට වහාම රුසියානු විදේශ අමත්‍යංශයට පැමිණෙන ලෙස නියෝග ලැබීම. එහිදී රුසියානු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා තානාපතිනියට ප්‍රකාශ කර ඇත්තේ මේ සිදුවීම සම්ප්‍රදායික මිත්‍ර රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතාවයට ගැටලුවක් ඇති නොවන ලෙස විසඳා ගත යුතු වන බවයි.

ඒ සමඟින් කොළඹ සිට මොස්කව් දක්වා මෙතෙක් සිදු කළ එරොෆ්ලොට් ගුවන් ගමන් නවතා දමන බව රුසියාව විසින් දැනුම් දීම. යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර එරෙෆ්ලොට් ගුවන් සේවය ලොව පුරා රටවල් 52කට ගුවන් ගමන් ක්‍රියාත්මක කළ අතර යුද්ධය ආරම්භ වීමෙන් පසුව එම ගුවන් ගමන් අතරින් බහුතරය නවතා දැමීමට රුසියානු බලධාරින් කටයුතු යෙදීය. එහෙත් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක විය. මේ ගුවන් යානයේ සිදුවීමෙන් පසු කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් නවතා දැමීමටද රුසියාව තීරණය කිරීම.

මගීන් ගෙන යෑමට පැමිණි විශේෂ යානා පැමිණීම. එරොෆ්ලොට් ගුවන් යානා පැමිණීම නවතා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි සියලුම රුසියානු ජාතිකයන්ට වහාම තම රට බලා පැමිණෙන ලෙස රුසියානු බලධාරීන් දැනුම් දුන් අතර ඔවුන් යළි රැගෙන ඒමට විශේෂ ගුවන් යානා යෙදවීමටද කටයුතු යෙදීය. ඒ අනුව මගින් විරහිතව කාර්ය මණ්ඩලය පමණක් රැගත් ගුවන් යානා දෙකක් කටුනායක වෙත එවීමට රුසියානු බලධාරින් කටයුතු යෙදූහ. එයින් එක් යානයක් ජුනි මස 4වැනිදාද අනෙක් යානය ජූනි මස 5වැනිදා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි සියලුම රුසියානු සංචාරකයන් යළි සියරට බලා ගෙන ගියේය.

ජූනි 6 වැනිදා

පෙත්සම්කාර පාර්ශ්වය සත්‍ය වසන් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු යොදා ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් අධිකරණය මෝෂමක් ගොනු කළ අතර එහිදී ඒ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ ගුවන් ගමන පාලකවරයා වෙත අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවක නීතිඥයකු සහ පිස්කල් නිලධාරියකු ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් එවැනි නියෝගයක් පිළිබඳව දැනුම් දුන්නේ කෙසේදැයි යනුවෙන් ප්‍රශ්නයක් පැන නගින බවයි. එමෙන්ම මේ පිස්කල් නිලධාරියා සහ නිතිඥවරයා ගුවන් ගමන් පාලක මැදිරිය වෙත පැමිණි ආකාරය තහවුරු කිරීමට ඡායාරූප 14ක් අඩංගු සංයුක්ත තැටියක්ද අධිකරණය ඉදිරිපත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කටයුතු කළේය.

එමෙන්ම මේ වාරණ නියෝගය පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ වාරණ නියෝගය හරහා රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය වීමක් සිදුවන බවත් එබැවින් එම වාරණ නියෝගය වහා අත්හිටුවන ලෙසද ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු සහ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුද මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු විනිසුරු හර්ෂ සේතුංග මහතා වාරණ නියෝගය අත්හිටුවීමට නියම කර සිටියේය.

ජූනි 6 වැනිදා වාරණ නියෝගය අත්හිටුවීමත් සමගම එදිනම සවස එතෙක් කටුනායක ගුවන් පර්යන්තයේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් එයාර් බස් ගුවන් යානය යළි රුසියාව බලා පිටත් විය.

ජූනි 7 වැනිදා

ගුවන් යානය රඳවාතබා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තේය. එමෙන්ම සිද්ධියට අදාළ චෝදනා ලබා ඇති නීතිඥ අරුණ ද සිල්වාට එරෙහිව පියවර ගැනීම සුදුසු බවද අධිකරණ අමාත්‍යංශය අගවිනිසුරුවරයාට ද දන්වා යවන ලදි.

Comments