ඕස්ට්‍රේලියාව වමට | සිළුමිණ

ඕස්ට්‍රේලියාව වමට

 

ලොව පුරා සිදුවන දේශපාලනික වෙනස්වීම් පිළිබඳ සවිඥානිකව කටයුත කරන දේශපාලන විචාරකයන් පසුගිය දිනවල ලොව දේශපාලන හැඩරටා පිළිබඳ සිදුකරන ලද නිරීක්ෂණයන්ගෙන් පසුව පවසා සිටියේ මුළු ලෝකයම කිසියම් වාමාංශික රැල්ලක වෙළෙමින් පවතින බවයි. ඔවුන්ගේ මේ ප්‍රකාශය තහවුරු කරන තවත් එක් ඡන්ද ප්‍රතිඵලයක් පසුගියදා වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවෙනි.

පසුගිය මැයි 21වැනිදා ඔස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් එරට ප්‍රථම වතාවට ලේබර් හෙවත් කම්කරු පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව එම පක්ෂයට හිමි විය. මෙය ඔස්ට්‍රේලියානු දේශපාලනයේ සංදිස්ථානයක් වන්නේ මේ දක්වා ලිබරල් පක්ෂය පැරදවීමේ හැකියාවක් ලේබර් පක්ෂයට නොලැබුණූ බැවිනි. ඒ අනුව දේශපාලන විචාරකයන්ගේ මතවාදය තහවුරු කරමින් තවත් රටක බලය වාමාංශික ධාරාව වෙත විතැන් වී තිබේ.

පසුගිය මැයි 21 වැනිදා පැවැත්වූයේ ඔස්ට්‍රේලියාවේ 47වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. ඔස්ට්‍රේලියාවද බටහිර අධිරාජ්‍යවාදයට යටත්ව පැවති රටක් වන අතර පසුකාලීනව එයින් නිදහස දිනා ගැනීමටද සමත් වූ රටකි. ස්වාධීන රටක් ලෙස ක්‍රියාත්මක වුවද බටහිර අධිරාජ්‍යවාදී චින්තනය ඔස්ට්‍රේලියාවෙන් බැහැර වූයේ නම් ඒ ඉතා සෙමෙනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලොව ප්‍රබලම ලෙස ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ වුවද කන්සවටිව් පක්ෂය පරාදා ලේබර් පක්ෂයේ ජයග්‍රහණයක් වාර්තා වීම තරමක් දුර්ලභය. වික්ටෝරියානු පාලනයෙන් මිදුනද ඔස්ට්‍රේලියාව සැමදා කැමැත්තක් දැක්වූයේ කිරීටයේ අඩිපාරේ යාමටය. එබැවින්ම අධිරාජ්‍යවාදී පාලනයට හිතකර ලිබරල් පක්ෂය සැමවිටම පහසු ජයක් වාර්තා කිරිමට සමත් විය.

මෙවර උඩුයටිකරු වී ඇත්තේ එම ඉතිහාසයයි. ඔස්ට්‍රේලියානු ලේබර් පක්ෂයද දීර්ඝ ඉතිහාසයක් හිමි දේශපාලන පක්ෂයකි. එය ඔස්ට්‍රේලියාවේ සමස්ත දේශපාලන පක්ෂ අතර ප්‍රභලතම වාමාංශික දේශපාලන පක්ෂයද වේ. එමෙන්ම එරට ප්‍රධාන දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන ලිබරල් පක්ෂයට පසුව මේ දක්වා එරට බිහිවුණු ප්‍රබලතම දේශපාලන පක්ෂය වන්නේද ලේබර් පක්ෂයයි. එහෙත් පුදුමයට කරුණ ලෙස ඔස්ට්‍රේලියාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන්නේද ලේබර් පක්ෂයයි.

එරට ඉතිහාසය අනුව ලේබර් පක්ෂය එරට ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ලියාපදිංචි වී ඇත්තේ 1901 මැයි මස 8වැනිදා නැගෙනහිර මෙල්බර්න් හිදීය.

එතැන් සිට සියවසකට අධික කාලයක් පුරා ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ලේබර් පක්ෂය කළ සටන ජයග්‍රහණය කළේ පසුගිය මැයි 21වැනිදාය. ඒ වන විට ලේබර් පක්ෂයේ නායකත්වය හොබවමින් සිටියේ ඇන්තනි ඇල්බන්සේය. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇත්තේ ද ඔහුය.

පසුගියදා පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණ ලෙස ලේබර් පක්ෂයේ ජයග්‍රහණය මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජයද සැලකිය යුතුමය. මන්ද යත් දීර්ඝ කාලයක් පුරා ඔස්ට්‍රේලියාවේ පාලන බලය හොබවමින් සිටි ලිබරල් පක්ෂයෙන් එම බලය විතැන් වීම සිදු වූයේ අගමැති ස්කොට් මොරිසන් ඉතිහාසයට එක් කරමින් වීමය. එහෙත් ලිබරල් පක්ෂයේ මේ කඩා වැටීම මෑතකාලීනව සිදුවූවක් නොවේ. ඔස්ට්‍රේලියානු වැසියන් ලිබරල් පක්ෂය කෙරෙහි තම අකමැත්ත කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කර ගත් අතර අවසන් වශයෙන් 2013 වසරේ පැවති මහමැතිවරණයේදී ද එම පක්ෂය ජාමේ බේරා ගත්තේ සන්ධානයක් අටවා ගැනීමෙනි.

වරින්වර අගමැතිවරු මාරු කරමින් පාර්ලිමේන්තු බහුතරය ආයාසයකින් පවත්වාගෙන පැමිණි ලිබරල් පක්ෂයට තමන් තවදුරටත් රටේ පාලනය බාර දීමට කැමැත්තක් නොදක්වන බව එරට ජනතාව පසුගියදා ස්ථිරවම ප්‍රකාශ කර සිටියේ එම පක්ෂය 2013 වසරේදී දිනා ගත් ආසන 75ක සංඛ්‍යාව ආසන 57 දක්වා පහත වට්ටවමිනි. මෙය එරට ඉතිහාසයේ ලිබරල් පක්ෂය ලැබූ දැවැන්තම පරාජය වශයෙන්ද දැක්විය හැකිය.

එමෙන්ම තම රටේ පාලනය ලේබර් පක්ෂය වෙත ලබා දෙමින් ඔස්ට්‍රේලියානු ජනතාව එම පක්ෂය අවසන් මැතිවරණයෙන් ලැබූ ආසන 67 මෙවර ආසන 75 දක්වා වැඩි කර දුන්හ. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 151න් ආසන 76ක් ලබා ගත යුතු වන බැවින් මෙවර ලේබර් පක්ෂයටද තවත් අවම එක් ආසනයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් සන්ධාන ගත වීමට සිදු වනු ඇත. බොහෝ විට එසේ සන්ධාන ගත වීමට සිදු වනු ඇත්තේ එරට ක්‍රියාත්මක හරිත පක්ෂය සමගිනි. මෙවර ඔස්ට්‍රේලියානු හරිත පක්ෂය ආසන තුන දක්වා තම ආසන සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ. පසුගිය මැතිවරණයෙන් හරිත පක්ෂයට ලැබුණේ එක් ආසනයක් පමණි. මෙවර තමන් ලැබූ ආසන තුනත් සමඟ ලේබර් පක්ෂය සමග සන්ධාන ගත වීම හරිත පක්ෂයට වාසිදායක වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

කෙසේ වුවද මෙවර මැතිවරණ පරාජයත් සමඟ අගමැති ස්කොට් මොරිසන් තම ධූරයෙන් සමු ගත්තේය. ඔහු විරෝධයකින් තොරව තම පරාජය පිළිගත් අතර ඒ වෙනුවට ලේබර් පක්ෂයේ නායක ඇන්තනි ඇල්බන්සේ අගමැති ධූරයට පත් වූයේය.

1963 මාර්තු මස 2වැනි දා උපත ලැබූ ඇන්තනි ඇල්බන්සේ මේ වන විට 59වැනි වියේ පසුවන්නේය. ඉතාලි ජාතික පියෙකුට සහ අයිරීෂ් - ඔස්ට්‍රේලියානු මවකට දාව සිඩ්නි හිදී උපත ලැබූ ඇන්තනි ඇල්බන්ස් දේශපාලනයට පිවිසෙන්නේද ලේබර් පක්ෂයෙනි. එසේ දීර්ඝ ගමනක් පැමිණි ඔහු 2019 වසරේදී එම පක්ෂයේ නායකත්වයට පිවිසි අතර එතැන් සිට පක්ෂය එතිහාසික ජයග්‍රහණයක් කරා මෙහෙයවීමටද සමත් වූයේය.

බොහෝ රටවල්, ඉන්දියාවද ඇතුළුව සාර්ථක දේශපාලන පක්ෂ පවත්වා ගැනීමට සමත් වන්නේ අසාර්ථක නායකයන් ඉවත් කරමින් සහ නවකයන්ට තැන ලබා දීමට කටයුතු කිරීමෙනි. ඔස්ට්‍රේලියාවේද මේ තත්තවය හොඳින් දැක ගත හැකි අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දියුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් එම රටවල ජනතාවට හිමිවීම සහ රට සංවර්ධනය වීමය. නාස්තිය, දූෂණය සහ අල්ලසින් තොර පාලකයන් බිහි වීමය.

ඒ අනුව මෙතැන් සිට ඉදිරියට වාමාංශික අදහස් ඔස්සේ පාලනය වන ඔස්ට්‍රේලියාවක් දැක බලා ගැනීමට ලෝකයට හැකියාව ලැබෙනු ඇත. එය දක්ෂිණාංශික පාලනයේ අනෙක් පැත්තදැයි අනාවැකි පැවසීමට තවමත් කල් වැඩිය.

Comments