ලොව කැලඹූ ලංකාව ගැන විදෙස් මාධ්‍ය කිව්වේ මෙහෙමයි | සිළුමිණ

ලොව කැලඹූ ලංකාව ගැන විදෙස් මාධ්‍ය කිව්වේ මෙහෙමයි

 

බීබීසී

සිදුවීම් ආරම්භයේ සිටම බීබීසී පුවත් සේවය ශ්‍රී ලංකාව පිළිබඳ පුවත් වෙබ් අඩවියට ඉදිරිපත් කළ අතර එම පුවත් වරින්වර යාවත්කාලීන කිරීමටද කටයුතු කර තිබිණි. සිදුවීම් මාලාව අවසානයේ එනම් අඟහරුවාදා දිනයේ දී සමස්ත සිදුවීම් පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කිරීමටද බීබීසී වෙබ් අඩවිය කටයුතු කර තිබිණි. ඒම වාර්තාවට කලහකාරීන්ගේ පැමිණීමේ සිට ශ්‍රී ලාංකීය දේශපාලනයේ ගමන්මග ද රටේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවද සමාලෝචනයක් ඉදිරිපත් ව තිබිණි.

ඒම වාර්තාවේ එක් තැනක සඳහන් වූයේ ‘සාමකාමී උද්ඝෝෂකයන්ට ප්‍රමාණවත් ආරක්ෂව ලබාදීමට අපොහොසත් වීම පිළිබඳව චෝදනා එල්ල කරමින් කුපිත වූ පිරිසක් විසින් නගරයේ ආරක්ෂාව බාර ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරීයකුටද පහර එල්ල කළ බවයි. සඳුදා දිනය අවසන් වනවිට රට පුරා වාර්තා වූ සමස්ත සිදුවීම්වලින් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් තිබූ අතර කොළඹ නගරයේ ප්‍රධාන රෝහල වාර්තා කළ අන්දමට පුද්ගලයන් 200ක් පමණ තුවාල ලබා තිබූ බවද බීබීසී වෙබ් අඩවියේ සඳහන් විය. තවමත් රට තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වීමට ඉඩකඩ පවතින අතර දේශපාලනඥයන් මහජනතාව හමුවට නොපැමිණ ආරක්ෂිත ස්ථානවල සැඟවී සිටිති. එක් රැයක් එළිවන විට දේශපාලනඥයන් පනහකගේ පමණ නිවෙස් ගිනි තබා විනාශ කර තිබිණි.

මේ ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව බීබීසී වෙබ් අඩවිය වාර්තා කර තිබූ අතර එහිවූ විශ්ලේෂණයේ සඳහන් තිබුණේ වරක් ඊළාම් රජයක් ඉල්ලමින් පැවති සිවිල් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මේ වන විට දුෂ්ටයකු බවට පත්ව තිබෙන බවයි. මේ ආදී වශයෙන් තවත් බොහෝ වෙබ් අඩවි ක්ෂණික පුවත් ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳව ඉදිරිපත් කර තිබිණි.

හියුමන් රයිට්ස් වොච්

මීට අමතරව හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ශ්‍රී ලංකාවේ සිදුවූ මේ සිදුවීම් මාලාව පිළිබඳව තම වෙබ් අඩවි ඔස්සේ දිගින් දිගටම පුවත් ලෝකයට වාර්තා කරමින් පැවතුණි. ඔවුන් මේ සිදුවීමට අදාළ ප්‍රථම පුවත තම වෙබ් අඩවියට ගෙන ආවේ ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප පදනම් කර ගනිමිනි. එහෙත් වාර්තාව නිව්යෝර්ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කර තිබිණි.

සිරස්තලය යොදා තිබුණේ ශ්‍රී ලංකාවේ සාමකාමී උද්ඝෝෂකයන්ට ආණ්ඩුවේ පිරිස් පහර දෙති යනුවෙනි. ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරයේදී සාමකාමී උද්ඝෝෂණ පවත්වමින් සිටි පිරිසට ආණ්ඩුවේ සහය ලැබූ පිරිස් පහර දීමත් සමඟ කලහකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව හියුමන් රයිස්ට්ස් වොච් සංවිධානය පවසයි. මේ ආදී වශයෙන් වන මාධ්‍ය වාර්තාවට තම අදහස එක් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂවරිය වන මීනාක්ෂි ගංගුලි සඳහන් කර ඇත්තේ ‘සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීමෙන් රට පුරා අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත නී ඇති බවයි.

 

සීඒන්ඒන්

ඇමරිකාවේ සීඒන්ඒන් ඇතුළු පුවත් සේවා රැසක් මේ සිදුවීම වාර්තා කළ අතර සීඒන්ඒන් සේවය වරින්වර යාවත්කාලීන කළ පුවත් වාර්තා සහිතව ශ්‍රී ලංකාවේ සිදුවීමට විශේෂ ඉඩක් ලබා දී තිබිණි.

ඔවුන් ඒම පුවත වාර්තා කර තිබුණේ ‘අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර කළහකාරී සිදුවීම්වලින් අට දෙනෙකු මරුට’ යනාදී වශයෙන් වන සිරස්තලයක්ද යොදමිනි. ඔවුන් එම පුවත වරින්වර යාවත්කාලීන කර තිබූ අතර එම යාවත්කාලීන කළ වේලාව ද යොදා තිබුණි.

සීඒන්ඒන් වෙනුවෙන් මේ වාර්තාව ලබා දී තිබුණේ හැනා රිචී සමග රියා මෝගල්ය. ඉක්බාල් අතාස්ගේ නමද ඒ් සමඟින් විය.

‘අගහරුවාදා උදෑසන වන විට ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයා හමුදා මෙහෙයුමක් මගින් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන ‌ගොස් තිබිණි. ආණ්ඩුවට සහය දක්වන පිරිස සහ අරගලකරුවන් අතර ගැටුමෙන් පැය කිහිපයකට පසු අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර රට පුරා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වෙමින් පැවතිණි. ඉල්ලා අස්වූ අගමැතිවරයා අගමැති නිල නිවස වන’ටෙම්පල් ට්‍රීස්’ හි රැඳී සිටි අතර එහි පසුපස දොරටුව දෙසින් නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට කලහකාරී පිරිස් කටයුතු කරමින් සිටිනු දක්නට ලැබිණි. ලැබී ඇති වාර්තා අනුව මේ පිරිස විසිරුවා හැරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. කඳුළු ගෑස් තුවක්කුවක් පුපුරා යෑමෙන් එක් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දැනට වාර්තා වී ඇත්තේ 76 හැවිරිදි හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයක් හඳුනා නොගත් ගමනාන්තයක් වෙත ගෙන ගොස් ඇති බවයි.රජයේ දේපොළ හානි කරමින් කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට නියෝග ලබා දී තිබේ.’

සීඒන්ඒන් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධව මේ ආදී වශයෙන් වන පුවත වාර්තා කර තිබුණේ සිදුවීම්වලට අදාළ ඡායාරූප රැසක්ද සමඟිනි.අපේ අසල්වැසි ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ ඇතිවූ කලහකාරී සිදුවීම වාර්තා කිරීමේදී විශේෂ අවධානයක් ලබා දීමට කටයුතු කර තිබිණි. ඇතැම් ඉන්දීය රූපවාහිනී නාළිකාද සජීවීව පුවත් ගෙන ආවේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් සජීවීව ප්‍රදර්ශනය කරමිනි.

 

ටයිම්

ලෝක ප්‍රකට ටයිම් සඟරාවේ වෙබ් අඩවිය ද වහාම ශ්‍රී ලංකාවේ සිදුවීම වාර්තා කරමින් ආණ්ඩු පාර්ශ්වකරුවන් සහ උද්ඝෝෂකයන් අතර ගැටුමින් ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය දමයි යනුවෙන් වන සිරස්තලය සමඟ පුවතක් පළ කර තිබිණි.

‘ දේශීය මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට කොළම නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ආරක්ෂක හමුදා කැඳවා තිබිණි. උද්ඝෝෂකයන් අතරට පැමිණි පිරිස් ඉදිකර තිබූ කූඩාරම් ගිනි තැබීමට කටයුතු කළ අතර අතැම් පිරිස් පහර දීම්වලටද ලක්ව තිබිණි. මීට පෙර මේ පිරිස් සති කිහිපයක් තිස්සේ මේ ප්‍රදේශයේ සාමකාමී උද්ඝෝෂණවල නිරත වී තිබුණු අතර ඔවුන් ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස ඉල්ලිම් කර තිබිණි.

මේ ආදී වශයෙන් වූ ටයිම් පුවතේ වැඩිදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලකාව මේ වන විට ඉන්ධන සහ ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින අතර විදෙස් ණය ගෙවා ගත නොහැකිව බංකොළොත් තත්ත්වයකට ඉතා ආසන්නයේ සිටින බවයි.

 

 

 

Comments