ට්‍රම්ප් රහ­සින්ම පිටව යද්දී බයිඩ්න් ධවල මන්දි­ර­යට | සිළුමිණ

ට්‍රම්ප් රහ­සින්ම පිටව යද්දී බයිඩ්න් ධවල මන්දි­ර­යට

.බයිඩ්න් දිවු­රුම් දෙමින්

ඇමරිකාවේ හතළිස් හයවැනි ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම මුළු ලෝකයටම මග නොහැරුණු පුවතක් විය. මීට පෙර ලෝකයේ අවධානය යොමු වූයේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පමණක් වූ අතර, ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාව ඡයාරූපමය වැදගත්කමක් සහිත අවස්ථාවක් පමණක් විය. එහෙත් මෙවර මුළු ලොවම ඇමරිකානු ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාව දෙස අවධානය යොමු කර සිටියේ කිසියම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවේය යන කුතුහලයද සමඟිනි. එසේ වීමට හේතු කිහිපයක්ම විය.

ඇම­රි­කාවේ 46වැනි ජනා­ධි­ප­ති­ව­රයා ඕවල් කාම­ර­යේදී

දිවුරුම් දීමේ උත්සවයට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් වොෂිංටන් නුවර ඇති කරවන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ අතරින් ප්‍රධාන විය.

උද්ඝෝෂණ පැවැත්වීම සිදුවූයේද දිවුරුම් දීමේ උත්සවය පවත්වන වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල අසල වූ බැවින් මෙවර උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් අති විශාල හමුදා කණ්ඩායම් යෙදවීමටද බලධාරීන් කටයුතු කර තිබිණි. මෙලෙස යෙදවූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 25000ක් විය.

ඇතැම් මාධ්‍ය පෙන්වා දී තිබුණේ දිවුරුම් දීමේ උත්සනය වෙනුවෙන් යොදවා තිබූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ දැනට රඳවා සිටින එරට හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙන් පස් ගුණයක් බවයි.

මෙය ඇමරිකා ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ දෙයක් විය. ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල ගැටුම් ඇති කිරීමට කටයුතු කළද ඔවුන්ගේ රට තුළ සාමය ආරක්ෂා කර ගැනීමට ඔවුන් හැමවිටම වගබලා ගත්හ. එහෙත් මෙවර ඔවුන්ට සිදුවූයේ ආරක්ෂක පවුරු තර කර ගනිමින් උත්සව පැවැත්වීමටය.

කමලා හැරිස් දිවුරුම් දෙමින්

එමෙන්ම පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන්ද මෙවර උත්සවයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

උත්සවය ජනතාවට විවෘත නොවූ අතර, කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට ඇමරිකානු ජාතික කොඩි ලක්ෂ දෙකක් ස්ථාපිත කර තිබුණේ කොවිඩ්වලින් මියගිය ඇමරිකානුවන් සිහිපත් කිරීම වෙනුවෙනි. ඉතිහාසයේ අන් කිසි අවස්ථාවක නොවූ ලෙස දිවුරුම් දුන් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිනිය මුව ආවරණවලින් සැරසී සිටිනු දැකගත හැකි විය.

මෙවර උත්සවය ඉතිහාසගත වීමට තවත් හේතුවක් වූයේ ජෝ බයිඩ්න් ඇමරිකාවේ මෙතෙක් පත් වූ වයස්ගතම ජනාධිතිවරයා ලෙස වැඩ බාර ගැනීමයි. එමෙන්ම ප්‍රථම වරට කාන්තාවක් එරට උප ජනාධිපති ධූරයට පත්වීමද විශේෂත්වයක් විය.

තමා ධුරය අතහැරීමට සූදානම් බව ඉඟියකින් හෝ ප්‍රකාශ නොකළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වීමට පැයකට පමණ පෙර ධවල මන්දිරයෙන් නිහඬවම නික්ම යාමද විශේෂ සිදුවීමක් විය. ට්‍රම්ප් යුවලගේ බඩුමුට්ටු හෙළිකොප්ටර් යානයකට පටවන ලද අතර ජනාධිපති යුවළ ඇමරිකානු ජනාධිපතිවරයාගේ භාවිතය වෙනුවෙන් වෙන්වන නිල හෙළිකොප්ටර් යානයෙන් ධවල මන්දිරයෙන් පිටව ගියහ.

එසේ යාමට පෙර ‘තමන් යම් කිසි අන්දමකින් යළි පැමිණෙන බව‘ පැවසීමට ට්‍රම්ප් අමතක නොකළේය.

පිටව යන ට්‍රම්ප් යුවළ
 

එමෙන්ම ධුරයේ නිල කාලය අවසන් වීමට දින කිහිපයක් තිබියදී ට්‍රම්ප්ගේ දෙවැනි දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයද ධවල මන්දිරයේ පැවැත්වීමට ට්‍රම්ප් කටයුතු යොදා තිබිණි. මින් පෙර ධූරයෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරු අතරින් බහුතරයක් තම අනුප්‍රාප්තිකයා වැඩ බාර ගන්නා මොහොත තෙක් රැඳී ඔහුට සුභ පතා නික්ම ගිය නමුදු ට්‍රම්ප් බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට හෝ සහභාගී වූයේ නැත.

ධූරයේ අවසන් දින කිහිපයේදී ට්‍රම්ප් එරට සිරගතව සිටි සිරකරුවන් 142 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දීමටද කටයුතු කළේය. මේ සියලු ලක්ෂණ අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වඩාත් සමාන වන්නේ ඇමරිකානු හෝ යුරෝපා රටක රාජ්‍ය නායකයකුට වඩා ආසියානු රටක රාජ්‍ය නායකයකුට බව පැවසිය හැකිය.

මේ අතර ජෝ බයිඩ්න් ඉතා හැඟීම්බර දිවුරුම් දීමේ උත්සවයක ප්‍රධාන භූමිකාව නිරූපනය කළ අතර, දිවුරුම් දීමත් සමඟම ඔහු පැරිස් කාලගුණ ගිවිසුමට යළි එක්වීම ඇතුළු ඇමරිකාව ඉතිහාසයෙන් නිදොස් කරන කටයුතු කිහිපයකටම අත්සන් යෙදීමට කටයුතු කළේය. එමෙන්ම ඇමරිකා ජනාධිපති ලෙස තම ප්‍රථම ජනතා ආමන්ත්‍රණයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සඳහන් නොකිරීමටද බයිඩ්න් කටයුතු කර සිටියේය.

 

 
 

ධූර කාලය අරඹමින් සිදුකළ ප්‍රථම රාජකාරි අතරින් එකක් ලෙස ඔහුගේ උප ජනාධිපතිනිය කමලා හැරිස්ගේ දිවුරුම් දීමටද එක්වූ අතර දිවුරුම් දීම සඳහා කමලා හැරිස් කැඳවාගෙන ඒම පොලිස් නිලධාරී එයුජීන් ගුඩ්මන් විසින් සිදු කරන ලදී.

එයුජීන් ගුඩ්මන් පසුගියදා සිදුවූ වොෂිංටන් විරෝධතාවලදී දඬුවම් නියම වූ පොලිස් නිලධාරියෙකි.

බයිඩ්න්ගේ සෙනෙට් මණ්ඩලය ඇමරිකානු ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස අලුත් නමක්ද යෝජනා කර තිබේ. ඇය ඇව්රිල් හෙයිනස්ය.

ඇමරිකානු ජාතික බුද්ධි සේවයේ මේ දක්වා කැපී පෙනෙන සේවයක් කරමින් සිටි හෙයිනස් බයිඩ්න් විසින් සිදුකරන ලද ප්‍රථම පත්වීම් අතරින් එකකට එසේ හිමිකම් කීවාය. එමෙන්ම ඇය ඉදිරියට බයිඩ්න්ගේ කැබිනට් මණ්ඩලයේ සේවයටද එක්වනු ඇත.

මෙලෙස ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති ලෙස වැඩ බාරගත්තද, එමගින් ට්‍රම්ප්ට වඩා යම් වෙනස්කම් සහිත පාලනයක් දැක ගත හැකි වනු ඇති වුවද ඇමරිකාවේ පුරුදු මුහුණුවර වෙනස්වනු ඇතැයි බලාපොරොත්තු වීම නම් විහිළුවක් බව පැවසිය යුතුය.

 

• ටිරෝනි වෑවලගේ

 

Comments