දෙවියන්ගේ අතින් ගෝල ගැසූ හිතුවක්කාරයා නික්ම යයි | සිළුමිණ

දෙවියන්ගේ අතින් ගෝල ගැසූ හිතුවක්කාරයා නික්ම යයි

වීරයන් කිසිදා මියයන්නේ නැත. ඔවුන් අප අතරින් භෞතික කාය රැගෙන යනවා පමණි. මතකය සදා නොමියෙන එවැනි වීරයන් මියගියා යැයි පැවසීමම දෝෂ සහගතය. මැරඩෝනා ද එවැනිය. ඔහු වීරයෙකි. ඔහු වීරයකු වන්නේ රට හෝ ජාතිය හෝ බේරා ගැනීමට රුධිර ගංගාවක පිහිනීමෙන් නොවේ. තියුණු, ඉසියුම් තීරණ ඔස්සේ දේශපාලන ලෝකය ජයගැනීමෙන් ද නොවේ. ඔහු වීරයකු වන්නේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ හදෙහි සදාකාලිකව නිදන් වීමෙනි.

ආර්ජන්ටිනාව නම් වන දකුණු ඇමරිකාවේ කෙළවරේ පිහිටා ඇති ඌන සංවර්ධිත රටේ ජනතාව සුවහසක් දුෂ්කරතා අමතක කරමින් වසර ගණනාවක් ප්‍රීති වූයේ මැරඩෝනා නිසාය. එබැවින්ම ඔහු වීරයකු වන්නේය. පාපන්දු යන ලොව වැඩිම ජනතාවක් ප්‍රියකරන, නරඹන ක්‍රීඩාවයි. එවැනි ක්‍රීඩාවකු රජු ලෙස ඔටුණු පැලඳීම යනු සදාකාලිකව ප්‍රේක්ෂක හදෙහි ඉඩක් වෙන් කර ගැනීමය. මැරඩෝනා ආයාසයකින් තොරව එකී ඔටුන්න තම හිස මත පැලඳ ගන්නේය. ඒ පාපන්දු යනු ඔහුට අතැඹුලක් වන බැවිනි.

දියේගෝ ආමන්ඩෝ මැරඩෝනා උපත ලැබූවේ 1960 ඔක්තෝබර් 30වැනිදා ආර්ජන්ටිනාවේ ඉතා දුෂ්කර ගමක දුගී පවුලක. දුගී බව මදිවාට දූවරුන් සතර දෙනෙකුගේ බරද දැරීමට සිදුවූ මැරඩෝනාගේ දෙමවුපියන්ට මේ පිරිමි දරුවාගේ උපත ආශිර්වාදයක්ම විය. ඔහු පවුලට එක්වූ බාල සහෝදරයන් දෙදෙනාද සමඟ පාපන්දුවට පහර එල්ල කිරීම ආරම්භ කළේ දෙපා බිම තබා ඇවිද යෑම ඇරඹීමෙන් සුළු කලකට පසුව යැයි පැවසීම මුසාවක් නොවන්නේය. ඒ වන විටත් ලතින් ඇමරිකාවේ ජීව ගුණය පාපන්දු විය. බ්‍රසීලය අද මෙන්ම එදාද පාපන්දු ස්වකීය ජීවිතය කරගෙන සිටි අතර, ආර්ජන්ටිනාවට එහි උණුසුම හොඳන් දැනෙමින් තිබිණි. මැරඩෝනා පාපන්දු පිටියට පා තබන්නේ එවන්වූ වටාපිටාවක් මැදිනි. එහෙත් ඒ මල් මාවතක නම් නොවන්නේය.

සැබවින්ම මැරඩෝනාට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින්නේ සහජ හැකියාවකි. එහි තරම කොතරම්ද යත් ඔහු වයස 16 සම්පූර්ණ කිරීමට දින 10ක් තිබියදී අංක 16 දරන ජර්සිය සමඟ පාපන්දු පිටියට පිවිසෙන්නේය. ආර්ජන්ටිනානු පාපන්දු ෆෙඩරේෂනය සංවිධානය කරන පාපන්දු තරග සඳහා එතෙක් සහභාගී වූ ළාබාලතම තරගකරුවා බවට ඔහු ඒ වන විට පත්වී අවසන්ය.

ආර්ජන්ටිනා ජූනියර් කණ්ඩායමේ වසර හයක් ක්‍රීඩා කළ මේ කුඩා කොල්ලා එම කාලය තුළ ගෝල 115ක් දිනා ගන්නේ ඉතා පහසුවෙනි. ඒ සමඟම ඔහුගේ ක්‍රීඩා ශෛලියේ පැහැදිලි අනාගතයක් දකින බොහෝ දෙනා හේතුවෙන් ඔහුගේ මිලද ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ ඉල්ලුමද සමඟිනි.

1982 ලෝක කුසලානයට ක්‍රීඩා කළ මැරඩෝනාට වරින් වර ක්‍රීඩාගාරයට යෑමට සිදුවන්නේ කෝපය පාලනය කරගත නොහැකි වීමෙනි. ඔහු බොහෝ අවස්ථාවල බුද්ධියට නොව හැඟීමට ඉඩ දුන් ක්‍රීඩකයකු බව පැහැදිලි වන්නේ එබැවිනි. ඔහු බෙහෙවින් ආක්‍රමණශීලී පුද්ගලයකුද වූ අතර, ආක්‍රමණශීලී ක්‍රීඩකයකුද විය. එහෙත් ඔහුගේ ස්වර්ණමය සමය 1986 ලෝක කුසලාන සමය විය. මේ ලෝක කුසලානය අවසානයේ ලෝකයේ බොහෝ පුවත්පත්, විශේෂයෙන් ඉතාලි පුවත්පත් මැරඩෝනා යනු ‘අර්ධ දේවදූතයකු සහ අර්ධ යක්ෂයකු‘ ලෙස හඳුන්වා දෙනු ලැබීය. ආර්ජන්ටිනාවට ලෝක කුසලානය අත්කර දුන් එම තරගාවලියේදී මැරඩෝනාගේ ක්‍රීඩා විලාසය අතිශයින් ප්‍රශංසනීය විය. එම තරගාවලියේ එංගලන්තය සමඟ පැවති තරගයේදී මැරඩෝනා රැස්කළ ගෝලය 2002 වසරේ සිදුකළ ඔන්ලයින් මත විමසීමකදී දශකයේ ගෝලය ලෙසින්ද අභිෂේක ලැබීය. එම තරගයේදී ඔහු රැස් කළ අනෙක් ගෝලය වූයේ ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වූ ‘දෙවියන්ගේ අතින් ගැසූ ගෝලයයි‘. මේ ගෝලය කැමරා ඇසින් මඳ වේගීව ධාවනය කර බැලූ විට පෙනී ගියේ එම ගෝලය දැල තුළට යන්නේ මැරඩෝනාගේ පයේ නොව අතේ වැදීමෙන් බවයි. ඒ වන විට තරග සියල්ල අවසාන වී තිබූ බැවින් එම ගෝලය අහෝසි කිරීමේ හැකියාවක්ද නොවීය. අවසානයේ මැරඩෝනා පවසා සිටියේ එම ගෝලය තමන් නොව ‘දෙවියන්ගේ අතින් ගැසූ‘ ගෝලයක් බවයි.

එතැන් සිට ඔහුගේ නම සහ පාපන්දු ක්‍රීඩාව දෙකක් නොව එකක් බවටම පත්විය. එබැවින්ම දියේගෝ මැරඩෝනා උපන් රටෙන් ලෝක සිතියමේ එහා කෙළවරේ පිහිටා ඇති අප රටේ පවා මැරඩෝනා ජනප්‍රිය ක්‍රීඩා තරුවක් වී තිබේ.

එහෙත් පසුකාලීනව ඔහුට එල්ල වූ මත්ද්‍රව්‍ය සහ තහනම් උත්තේජක චෝදනාද ඔහුගේ නමට කිසියම් කැළලක් එක් කිරීමට සමත් වූ නමුත් මැරඩෝනා යනු මැරඩෝනාම විය. පාපන්දු ක්‍රීඩාව ඔහුව කෙතරම් උඩට ඔසවා තැබුවද ඔහු කිසිදා තම ගමන ආරම්භ වූ දුගී පැල අමතක කළේ නැත. ලතින් ඇමරිකාවේ දූගි බවට, සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කළ පුද්ගලයන් ඔහුගේ වීරයන්ම විය. ඔහු ඔවුන් වෙනුවෙන් තම හදෙහි පමණක් නොව තම සිරුරේද වෙන් කළ හැකි උපරිම ඉඩ වෙන්කළේය.

ඔහු තම සිරුරේ වටිනාම ස්ථානය වන තම දකුණු පාදයේ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ ගේ රුව කොටා ගත්තේය. තම බාහුවේ චේ ගුවේරාගේ රුව කොටා ගත්තේය. ඒ සමඟ මේ රූප සම්බන්ධව යම් කිසි රැල්ලක් ලොව පුරා තරුණ පරම්පරාව අතර පතුරුවා හැරීමට මැරඩෝනා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඒ හේතුවෙන් මිනිසුන් අතර, විශේෂයෙන් තරුණ පරපුර අතර චේලා ක්‍රැස්තෝලා කළ කැපකිරීම් සම්බන්ධව, ඔවුන් ඉටු කළ කාර්යභාරය සම්බන්ධව කිසියම් මතයක්ද සමාජ ගත විය. දුප්පත්කම තුරන් කිරීමට සටන් කළ මිනිසුන් වෙනුවෙන් මැරඩෝනා තම ආචාරය පුද දුන් අන්දම එසේ විය.

පසුගියදා ඔහු හැට වැනි විය සපුරමින් සිටියදී මෙලොවින් සමුගෙන ගියේය. එහෙත් ඒ හුදෙක් ඔහුගේ භෞතික කය පමණක්ම බව සිහිපත් කළ යුතුය.

මැරඩෝනා නාමය තවත් සියවසක් මොලොව නොනැසී පවතින බව සටහන් කර තැබිය යුතුය.

Comments