පොම්පියෝ ලංකාවට ආවේ “රම්පෙට පොරි” බෙදන්නද? | සිළුමිණ

පොම්පියෝ ලංකාවට ආවේ “රම්පෙට පොරි” බෙදන්නද?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පසුගිය 28වැනිදා දහවල් කාලයේදී මෙරටින් බැහැරව ගියේය. මෙලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු අප රටට පැමිණියේ 2015 මැයි මස එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් පසුවය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු ආවාට ගියාට කිසියම් රටකට සංචාරයේ යෙදෙන්නේ නැත. ඔවුන්ගේ විශේෂිත අරමුණු මත එම සංචාරයන් තීරණය වේ. මේ වන විට ඇමරිකාව තවත් ජනාධිපතිවරණයක කටමුල පසුවන අතර ඇතැම් විට මේ ගෙවී යන්නේ ට්‍රම්ප් පාලනයේ අවසන් දින කිහිපය වීමටද ඉඩ ඇත. එවන් වූ අතිශය තීරණාත්මක අවස්ථාවක වුවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දකුණු ආසියාවේ රටවල්තුනක සංචාරය කරන්නේය. එමගින් පෙනී යන්නේ අන් කිසිවක් නොව මේ වන විට ලෝක දේශපාලනයේ ආසියාවට, විශේෂයෙන්ම දකුණු ආසියාවට හිමිවී ඇති ස්ථානයයි.

මේ ස්ථානය දකුණු ආසියාවට හිමිවන්නේ චීනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙනි. කලාපීය බලවතුන් දෙදෙනා ලෙස චීනය සහ ඉන්දියාව එදා සිට ප්‍රතිවාදීන් ලෙස කටයුතු කළ අතර චීනය ස්වකීය බලය සෙසු කලාපීය රටවල ව්‍යප්ත කිරීම ඉන්දියාව ඉවසන්නේ නැත. චීනයේ ප්‍රතිවාදියා ලෙස ඇමරිකාව ඉන්දියාව සමග එක පෙළක සිටගන්නා අතර මේ අවස්ථාව වන විට ඇමරිකාවට මුළු මහත් ලෝකයෙන්ම වඩාත් වැදගත් මිතුරා වන්නේ ඉන්දියාවයි.

ලබන නොවැම්බර් 3වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් ට්‍රම්ප් පරදා ඩිමොක්‍රටික් බයිඩ්න් ජයගත්තද මේ ප්‍රතිපත්තිවල වැඩි වෙනසක් සිදු නොවනු ඇත. එහෙත් ගතවන සෑම දිනයක්ම ලෝක දේශපාලන බල අරගලයේ වඩා වැදගත් දිනයක් ලෙස සලකන ඇමරිකාව තම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් යුක්තව රාජ්‍ය ලේකම්වරයා මේ සංචාරය සඳහා යොමු කළ බව සැලකිය හැකිය.

මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 27වැනිදා රාත්‍රී කාලයේය. ඔහු 28වැනිදා දහවල් කාලයේදී මෙරටින් පිටව ගියේ පැය 18ක කාලයක් මෙරට ගතකරමිනි. මෙරටට පැමිණීමට පෙර ඔහු තම සංචාරය ඉන්දියාවෙන් ආරම්භ කළ අතර ඉන්දියාවේදී මයික් පොම්පියෝට ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි. චීන ධජ පුළුස්සමින් ඉන්දීය ජනතාව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සාදරයෙන් පිළිගත් අතර, ඉන්දීය රජය ස්වකීය පරම මිතුරකු ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට ගෞරවය පුද කළේය.

එසේ කිරීමට ඉන්දියාවට විශේෂ හේතු රැසක්ම විය. චීනය කලාපයේ පමණක් නොව මුළු ලෝකයේම බලය පතුරුවමින් සිටින අතර ඉන්දියාව එය ඍජු තර්ජනයක් සේ සලකමින් සිටින්නේය. පසුගිය මාස කිහිපයක සිට චීනය සහ ඉන්දියාව අතර දේශසීමා මායිම පදනම් කර ගනිමින් ගැටුම් ඇතිවූ අතර, ඒ හේතුවෙන් ඉන්දීය සෙබළුන් කිහිපදෙනකුට ජීවිත පූජා කිරීමටද සිදුවිය.

චීනය ලෝකය පුරා තම බලය ව්‍යප්ත කිරීමේ යටිඅරමුණ සහ ලෝකය පුරා වෙළෙඳ වාණිජ කටයුතුවල නිරත වීමේ අරමුණෙන් යුතුව ආරම්භ කළ තීරයක් සහ මාවතක් ව්‍යපෘතියට සමගාමීව ඇමරිකාවද ව්‍යපෘති කිහිපයක්ම ආරම්භ කළ අතර, මුළු ලෝකයම ඒකාබද්ධ කොට ඩිජිටල් දැලක් එළීම ඒ අතරින් එක් ව්‍යපෘතියක් විය. සැබවින්ම එම්සීසී හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේද මේ ව්‍යපෘතියේ එක් කොටසක් ලෙසින් බව පැහැදිලිය.

එම්සීසී ව්‍යපෘතිය ඇමරිකාව හඳුන්වන්නේ තමන්ට හිතවාදී රටවල ආර්ථිකයන් වර්ධනය කිරීමේ අරමුණෙන් යුක්තව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් වශයෙනි. එම්සීසී ව්‍යපෘතියේ සඳහන් වන අන්දමට ලෝකයේ දුගී රටවල දුගී බවට පිළියම් යෙදීමද තවත් අරමුණක් වේ. එහෙත් මේ සමග සම්බන්ධ වීමට ලෝකයේ රටවල් පොළඹවා ගැනීම ඇමරිකාවට තරමක් අසීරු වී තිබෙන්නේ එහි කුප්‍රකට ඉතිහාසය හේතුවෙන් බව පැහැදිලිය. ඇමරිකාව බොහෝ දුරට විදේශ රටවල් සම්බන්ධව ක්‍රියාත්මක වූයේ යටි අරමුණු සමග බව ඉතිහාසය පෙන්වා දෙන කරුණකි.

අනික් අතට චීනය ශ්‍රී ලංකාවේ පිහිටීමේ උපරිම වාසිය තමන්ගේ පාර්ශ්වය දෙසට හරවා ගැනීම ඉන්දියාව දකින්නේ තමන්ට දැඩි තර්ජනයක් වශයෙනි. එම්සීසී සඳහා ශ්‍රී ලංකාව පොළඹවා ගැනීමේ වැදගත්කම වශයෙන් ඉන්දියාව දකින්නේ තමන්ගේ ආසන්නතම අසල්වැසි රටතුළ චීන ක්‍රියාකාරකම් නොඉවසමිනි.

ඉන්දියාවට පැමිණියේ එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්ද සමගිනි. එයට හේතුව ඉදිරියේද ඉන්දියාවට හමුදාමය ආධාර සැපයීමට ඇමරිකාව සූදානම් වීමයි. දෙරට අතර ප්‍රධාන හුවමාරු සහ සහයෝගීතා ගිවිසුම යනුවෙන් ගිවිසුමක් ද අත්සන් කෙරුණු අතර ඒ යටතේ දෙරට අතර විශාල වශයෙන් තොරතුරු හුවමාරු වීමක් සහ ඉදිරියේදී ආරක්ෂක අංශයේ සහයෝගීතාවන්ද පවත්වා ගැනීම අරමුණු වී තිබේ. ලබන නොවැම්බර් මාසයේදී ඉන්දියාව සහ ඇමරිකාව එක්ව මලබාර් සමුද්‍රසන්ධිය ආසන්නයේ හමුදා පෙරහුරු අභ්‍යාසයක්ද පැවැත්වීමට නියමිතය. මේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇමරිකානු සහ ඉන්දියානු ප්‍රධානීන් පැහැදිලිව පවසා සිටියේ තමන් මෙසේ සන්ධාන ගත වන්නේ කලාපයේ ඉහළ යමින් පවතින චීන අකටයුතුකම්වලට විරුද්ධවයි යනුවෙනි.

මෙහිදී ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු වන්නේ ඉතා මැදිහත්ව බව අමුතුවෙන් කිවයුතු නොවේ. ‘නොබැඳි පිළිවෙත’ යනු ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවේ. අතීතයේ සිට ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෝ විදේශ ප්‍රතිපත්තියේදී එක් රටකට නොබැඳුණු මධ්‍යස්ථ මාර්ගයේ ඉතා සාර්ථක ලෙස ගමන් කළහ. ඒ අත්දැකීම් ද සමග චීනය සහ ඇමරිකාව යන දෙපාර්ශ්වයම තම මිතුරන් සේ දැකීම අප රට මේ අවස්ථාවේදී කළ යුතු බුද්ධිමත්ම දෙයයි.

මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වූ අතර එහිදී තම විදේශ ප්‍රතිපත්තිය මනාව පැහැදිලි කරදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දැනුම්වත් කර සිටියේ ශ්‍රී ලංකාව යනු සෑම විටම නොබැඳි පිළිවෙත විදේශ ප්‍රතිපත්තිය කරගත් රටක් බවයි. ශ්‍රී ලංකාව ඇමරිකාව සමගද ඉතා දිගුකාලීන සුහද සබඳතා පවත්වන බව සිහිපත් කර දුන් ජනාධිපතිවරයා මීට අමතරව මත්ද්‍රව්‍ය ජවාරම් මැඩලීමට මෙන්ම වෙරළාරක්ෂක කටයුතුවලටද ඇමරිකාවේ සහය අවශ්‍ය බව පවසා සිටියේය. ඉන්දීය සාගර කලාපය සාම කලාපයක් සේ පවතින දැකීම දෙපාර්ශ්වයම එකසේ එකඟත්වය දැක්වූ කරුණක් විය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සමග පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඍජුව චීනයට චෝදනා එල්ල කිරීමටද අමතක කළේ නැත. එහිදී ඔහු පවසා සිටියේ චීන කොමියුනිට්ස් පක්ෂය ‘ගොදුරු අල්ලන සතකු’ ලෙස ලෝකයේ කුඩා රටවල් අල්ලා ගනිමින් සිටින බවයි. “අප දකිනවා වැරදි සහගත ගිවිසුම්, ස්වාධිපත්‍ය සහ නීතිය උල්ලංඝනය කිරීම්, ගොඩබිම මත මෙන්ම සයුරේදිත්, චීන කොමියුනිස්ට් පක්ෂය ගොදුරු අල්ලන සතකු වගෙයි. එහෙත් අප එසේ නොවේ. අප එන්නේ මිතුරන් සහ සහකරුවන් වශයෙන්”

කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මයික් පොම්පියෝ එසේ පවසා සිටියේය. ඔහුට පෙර මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ “අප ස්වභාවයෙන්ම නොබැඳි රටක්” බවයි. “අපට අවශ්‍ය කරන්නේ සාමය සහ මිතුරන් යනුවෙන් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව ඉදිරියටත් හොඳ මිතුරන් වනු ඇති බව විදේශ අමාත්‍යවරයා එහිදී පැහැදිලිව පවසා සිටයේ ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රික භාවයක් පෙන්නුම් කරමිනි.

පසුව මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් මයික් පොම්පියෝ පවසා ඇත්තේ එම්සීසී යනු ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති අවස්ථාවන් රාශිය අතරින් එකක් පමණක් බවයි. එය තෝරා ගැනීම හෝ නොගැනීම ශ්‍රී ලංකාව සතු තීරණයක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අප රටට පැමිණීමට පෙර මයික් පොම්පියෝ පවසා සිටියේ ශ්‍රී ලංකාව ගමන් කළ යුත්තේ කා සමගදැයි තෝරා ගත යුතු බවයි. එය ඇතැම් දෙනා තර්ජනයක් විලසින් දුටු අතර, සැබවින්ම එම ප්‍රකාශය කුඩා රටකට එල්ල කළ තර්ජනයක් වශයෙන් අර්ථකථනය කර ගැනීමට වුවද බැරි නැත. එයට හේතුව පොම්පියෝගේ සංචාරයට පෙර සිටම ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ චීන තානාපති කාර්යාල දෙක එක්නෙකා වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ගැනීම ඇරඹූහ. මෙය එතරම් සුබවාදී තත්ත්වයක් නොවන බව පැහැදිලිය. විදේශ බලවතුන් දෙදෙනෙක් ඔවුන්ගේ සටන් බිම බවට අප රට පත් කර ගැනීම සැබවින්ම අහිතකර වන්නේ අප රටට මිස අන් කිසිවකුට නොවේය. ඒ අනුව ඉතාමත් සිහි නුවණින් යුක්තව මේ බලවතුන් දෙදෙනාම අපගේ හිතසුව පිණිස යොදා ගැනීමට අප රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ නම් එය රටේ අනාගතයට සුබවාදී වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. වාසනාවකට මෙන් මේ දක්වා අපේ රාජ්‍ය නායකයෝ එසේ කිරීමට සමත්ව සිටිති.

Comments