පරපුරක් නැළවූ කැසට්පටේ වරුණ... | සිළුමිණ

පරපුරක් නැළවූ කැසට්පටේ වරුණ...

අදත් අප කුල්මත් කරන සවනත රැඳෙන කර්ණරසායන මධුරමනෝහර ගීත බොහෝමයකට තිඹිරිගෙය වූයේ කැසට් පටය නැතහොත් පටිසටහුව්වය. මේ සහස්ශ්‍රයේ උපන් බොහෝදෙනා කැසට් පටයක් අඳුනනවා තියා දැකවත් නැති විය හැකිය. එනිසා ඔවුන් දන්නා කැසට් පටයක් හෝ පටිසටහුවක් (පටියෙහි සටහන් වූ) නැත. නමුත් සංගීතය ගැන වත්මන් පරපුර බොහෝ අවධානයෙන් සිටින බැවින් ඒ ගැන දැනගැනීමට කැමති වනු ඇත.

ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ ”මූලාරම්භය කවදා කෙසේ සිදු වීද යන්න නිශ්චිතව සඳහන් කිරීමට නොහැකිය. එසේ වුවත් 1940-1950 දශකයේ කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි සිනමා කර්මාන්තයත් සමඟ ඊට කිසියම් පයුරුපාසනමක් ඇති වන්නට ඇත. ඒ කෙසේද යත් මෙරට සිනමාව ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ චිත්‍රපට ගීතය යි. ඇතැම් රසිකයන් දෙතුන්වර සිනමා කෘති නරඹා තිබුණේ එම ගීත චිත්‍රපටයෙන් මිස වෙනත් කිසිදු මාධ්‍යයකින් ඇසීමට නොලැබුණු නිසාය. එකල රේඩියෝ සිලොන් මඟින් විකාශනය වූයේ වෙනත් ගීත ය.

ඩබ්ලිව්.බී. මකුලොලුවල, සී.ද.එස්. කුලතිලක වගේ අය අපටම ආවේණික වුණු ජනසංගීතයක් ගොඩනගන්නට වෙහෙස වන්නේ ද මෙකලය. විශේෂයෙන්ම සී.ද.එස්. කුලතිලක බොහෝ අධ්‍යයනයන් සිදු කළේය. ‘ලංකාවේ සංගීත සම්භවය’ කියන පොත ඔහු අතින් ලියැවෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ලංකාවට ‘මානව වංශ සංගීත විද්‍යාව’ කියන විෂය හඳුන්වා දෙන්නේද ඔහුය. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, සූරිය ශාන්ත මොල්ලිගොඩ, ඩබ්ලිව්. ඩී. අමරදේව, වැනි සංගීතඥයන් ගුවන්විදුලිය තුළ ශ්‍රී ලාංකේය සංගීතය දියුණු කරනු වස් මහත් වෙහෙසක් දැරුවේය. ඔවුනතින් ජන නාද රටා ආශ්‍රයෙන් දේශීය සංගීත ආරක් නිමැවෙමින් තිබුණි. මෙහිදී සුනිල් සාන්තයන් කිසියම් වෙසෙස් බවක් පෙන් වූ අතර ඔහු ස්වභාසෞන්දර්යයේ නෙක රිද්ම රටා නාදය හා මානව හඬ තුළින් ප්‍රකාශ කිරීමට උත්සාහ කළේය. මෙම උත්සාහයෙහි ආලෝකය පසුකාලීනව අමරදේව තුළින් ප්‍රකට විය. මෙකල ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස් වැන්න වුන් ගේය පද රචනයෙහි තත්ත්පරව සිටියේය.

ග්‍රැමෆෝනය මෙකල ජනප්‍රියතම සංගීත වාදන භාණ්ඩය බවට පත්ව තිබුණි. ග්‍රැමෆෝන් තැටිය එකල අතේ රුවාගෙන යන්නේ මෙකල ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ රුවාගෙන යන ආකාරයෙනි. එයට ප්‍රදර්ශනමය වටිනාකමක් හිමිව තිබුණි.

ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ විදේශගත ශ්‍රමිකයන් වැඩිවත්ම ඔවුන් මෙරටට නානාප්‍රකාර ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන පැමිණියේය. විශේෂයෙන්ම මැද පෙරදිග සිට පැමිණි බොහෝ ශ්‍රමිකයන් මෙරටට රැගෙන ආ ඉලෙක්ට්‍රෝනික උපකරණක් වූයේ ‘ටූ ඉන් වන්’ රේඩියෝවය. එකල බොහෝදෙනා සවන්දුන් වැර්ලස් හී නොතිබුණු අංගයක් ‘ටූ ඉන් වන්’ රේඩියෝවේ විය. එහි කැසට්පට වාදනයකොට ගීත ශ්‍රවණය කිරීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාවය. එනමුත් ඉන් නින්නාද වූයේ මේ ශ්‍රමිකයින් විසින් එම රටවල සිට රැගෙන ආ අරාබි, හින්දි හා ඉංග්‍රීසි ගීත හා වාදනයන්ය.

මෙකල ලේක්හවුස් ආයතනයේ දැන්වීම් නියෝජිතයකු ලෙස සේවය කළ විජය රාමනායක ගීත තැටි නිෂ්පාදනය කොට බෙදාහැරීමේ සමාගමක් “තරංගා රෙකෝඩ්බාර්” නමින් රීගල් සිනමාහල අසල කුටියක ඇරඹා තිබුණි. ඔහු එක්තරා දිනෙක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ කිසියම් කටයුත්තක් සඳහා ගොස් සිටි අතරතුර මැදපෙරදිග ශ්‍රමිකයන් විසින් රැගෙන එන ‘ටූ ඉන් වන්’ රේඩියෝව දුටුවේය. ඉතා හොඳ ව්‍යවසායකයකු වූ හෙතෙම මෙම කැසට් රේඩියෝව සඳහා අවශ්‍ය කැසට්පට නිෂ්පාදනය කළ හැකි නම් එමඟින් කලා ලොවට නව ගීත හඳුන්වාදිය හැකි බව කල්පනා කළේය. (මෙහිදී අපගේ මතකයට එන්නේ පළිඟු මැණිකේ හී “පට්පට් සම්තින්” කියාගෙන ‘ටූ ඉන් වන්’ රේඩියෝවක් රැගෙන ගමට එන සූරසේනය.) ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලූ හෙතෙම මිල්ටන් මල්ලවාරච්චි යොදාගෙන ගීත දොළහක් පටිගත කර සිංගප්පූරුවට ගෙන ගොස් කැසට්පට බවට පත් කර මෙරටට රැගෙන ආවේය. ‘තරංගා’ ලේබලය යටතේ ‘සඳෙන් එහා’ නමින් එය ඔහු ජනගත කළේය. ලංකා ඉතිහාසයේ මුල්ම කැසට්පටය ලෙස සැලකෙන්නේ මෙයයි. මිල්ටන් මල්ලවාරච්චිගේ ජනප්‍රිය ගීත දොළහකින් යුත් එම කැසට්පටයෙහි “Anytime Anywhere” ලෙස සඳහන් විය. මෙම කැසට්පටය නිමවා රට වටා සිටි තැටි අලෙවිකරුවන් වෙත රැගෙන ගිය ද ඔවුන් එය අලෙවි කිරීමට මැලි විය. ඒ අලුත් දෙයක් එකවර විකිණීම අපහසු කටයුත්තක් වූ බැවිනි. එහෙත් ඔහු නොසැළී එම කැසට්පට ඉන්ධන පිරවුම්හල්, පොත් සාප්පු, රෙදි සාප්පු වැනි තැන්වල අලෙවියට තබා තම නිවසට පැමිණියේය. දින දෙක තුනක් යනවිට කැසට්පට අලෙවියට තිබූ තැන්වලින් තවත් කැසට් පට ඉල්ලා දුරකථන ඇමතුම් ගලා ආවේය. මෙලෙස කැසට් අලෙවිහල් රටපුරා බිහි වූයේ රෙකෝඩ් බාර් සංස්කෘතිය අප රටට හඳුන්වා දෙමිනි. අනතුරුව ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රියා සූරියසේන, වර්ණන් පෙරේරා, නිහාල් නෙල්සන්, ඩෙස්මන්ඩ් සිල්වා පමණක් නොව එවකට එතරම් අවධානයට ලක් නොවූ ගායකයකු වූ මොහිදීන් බෙග්ගේ ගීත ද ඔහු වෙළෙඳපොළට නිකුත් කළේ වාර්තාගත අලෙවි ආදායමක්ද උපයමිනි.

තරංගා හී ගීත පටිගත කිරීම් සඳහා එවකට කොළඹ තිබූ පටිගත කිරීමේ ශබ්දාගාර පහම එකවිට වෙන් විය. අනතුරුව චිත්‍රපට නිෂ්පාදකයකු වූ හෙතෙම විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ, මාලිනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රධාන චරිත රගපෑ “ආරාධනා” චිත්‍රපටය සංගීතවත් කිරීම සඳහා අලුත් සංගීත අධ්‍යක්ෂවරුන් දෙපළක් හඳුන්වා දුන්නේය. ඒ ආචාර්ය රෝහණ වීරසිංහ සහ එච්.එම්. ජයවර්ධනයි. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, කුලරත්න ආරියවංශ ලියූ, පණ්ඩිත් අමරදේවයන් ගැයූ “ආරාධනා” ගීතය ඇතුළත් වන්නේ එම චිත්‍රපටයේය. කුලරත්න රෝහණ සුසංයෝගයෙන් බිහිවූ මිල්ටන් මල්ලවාරච්චි සහ මාලිනී බුලත්සිංහ ගැයූ “සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ” ගීතයද ඇසුණේ ආරාධනා චිත්‍රපටයෙනි. අනතුරුව ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ “රිදී නිම්නය” සහ “මල්දෙණියේ සිමියොන්” මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීස්ගේ “කලියුගය” සහ “යුගාන්තය” චිත්‍රපටවල නිෂ්පාදක බවටද පත් වූයේ ඔහුය.

මෙය ලාබදායි කර්මාන්තයක් වූ බැවින් බොහෝ දෙනා මීට ආශක්ත විය. සිල්වර්ලයින් රෙකෝඩ්බාර්, සාරංගා, සින්කොබා, රන්සිළු, ප්‍රියංකා, රත්නසිරි රෙකෝඩ්බාර්, ඊගල් ඕඩියෝ, එන්.ආර්. එන්ටප්‍රයිසස්, ෆැල්බන් ඕඩියෝ, බෙග් මියුසික් සෙන්ටර්, නිසා එන්ටර්ටේන්මන්ට්, සෙත්සිරි මියුසික් සෙන්ටර්, එම්. එන්ටර්ටේන්ට්මන්ට්, සොනික් එන්ටර්ටේන්මන්ට්, ඉන්දික මියුසික් සෙන්ටර්, ජයනන්ද ස්ටෝර්ස්, විජිත ට්‍රේඩ් සෙන්ටර්, නිල්වලා කැසට්, සජින්ද්‍ර ඕඩියෝ, සවන රෙකෝඩ්බාර්, සී.එස්. ඕඩියෝ ක්‍රියේෂන්, සාගර ෆැන්සි පැලස්, සිතාරා මියුසික් සෙන්ටර් ආදී කැසට් ව්‍යාපාරිකයෝ බිහි වූහ.

මේ සමඟම ගායක, ගායිකාවන්ගේ ඉල්ලුම වැඩිවිය. එපමණක් නොව ගීත රචකයන්ගේද, සංගීතඥයන්ගේද වටිනාකම ඉහළ ගියේ ය. වාද්‍ය ශිල්පීන්ට වැඩ අධික විය. අලුතින් ශබ්දාගාර පවා ඉදිවූ අතර ඒවායේ දිවා රෑ නොබලා ගීත පටිගත කිරීම් සිදු කෙරිණ. කැසට්පට නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය වඩාත් ලාභදායී ව්‍යාපාරයක් වූ හෙයින් බොහෝ දෙනකු එය තම ජීවනෝපාය බවට එය පත් කරගත්හ. ඊට හොඳම නිදසුන පිටකොටුව මල්වත්ත පාරය. එකල එය හැඳින්වූයේ ‘මියුසික් රෝඩ්’ යනුවෙනි. එසේම සංගීත සංදර්ශන රට පුරා ව්‍යාප්ත විය. ඒවාද රෙකොඩ්බාර් මඟින් පටිගත කර විකිණීම ආරම්භ විය.

මෙලෙස ඇරඹි කැසට් පට කලාවේ පෙරළිකාර යුගය උදාවන්නේ 90 දශකයේය.

කණ්ඩායම් සංගීතය මෙන්ම තරුණ ගායකයන්ද හතු පිපෙන්නාවාගේ බිහි විය. ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේකා පෙරේරා, මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා ඒ අතර විය. 80 දශකයේ ආරම්භයේ සිට අවසානයතෙක් හිනිපෙත්තේ සිටි එච්.ආර් ජෝතිපාලගේ තැන 90 දශකයේ මැද භාගය වනවිට හිමි වන්නේ නාමල් උඩුගමටය. ඒ ඔහුගේ ‘සමුගන්නේ නෑ’ කැසට් පටයත් සමඟය. මෙය නිල්වලා කැසට් හී නිෂ්පාදනයක් විය. එම කැසට්පටයේ ‘නිසලවෙලා හද නොසැළී හසරැල්’ ගීතය නාමල් උඩුගමගේ සැබෑ අත්දැකීමක් ලෙස සිතූ බොහෝ යුවතියන් ඔහුට ඉත සිතින් පෙම් කළේය. මේ අතර ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ෂෙල්ටන් මුතුනමගේ, ග්‍රේෂන් ජයමහ, අතුල ශ්‍රී ගමගේ, ආත්මා ලියනගේ, චන්දන ලියනාරච්චි, මර්ෂලීන් පතිරණ, ඉද්‍රජිත් දොලමුල්ල, අසංක ප්‍රියමන්ත පීරිස්, බේබි ශානිකා, සංජීවනී වීරසිංහ, චම්පා කල්හාරි, සමිතා එරන්දතී මුදුන්කොටුව යන ගායක ගායිකාවන්ද ජනප්‍රිය වී සිටියේය. එක මොහොතකදී ‘බඹර පහස’ සමඟ රූකාන්ත ගුණතිලක ඉදිරියට ආවේය. ඔහුගේ දිගන්තය වෙනස්ම ආරක් ගත් ගීත සමුච්ඡයක් විය. 80 දශකයේ අග වන විට ජිප්සීස් දිනාගෙන සිටි ස්ථානයට එහා ගොස් අනූව දශකය මැදභාගය වන විට නීල් වර්ණකුසූරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායම පෙරට ආවේය. ඔවුන්ගේ ‘සලාදේ’ 1,2,3,4,5 කැසට්පට ආදායම් වාර්තා තබමින් අලෙවි විය. අනතුරුව නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම ද 90 දශකය අගභාගය වන විට ඉදිරියට ආවේය.

මේ සියලු රැලි පෙරළි අතර ප්‍රබුද්ධ හා පීචන් බෙදීමක්ද ඇති විය. මීට ගේයපද රචනා සංගීතය හා ගායන විලාසයද හේතුපාදක විය. ඇතැමකුට අනුව අමරදේව, නන්දාමාලනී, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහල, කරුණාරත්න දිවුල්ගනේ, රෝහණ බැද්දගේ,... වැන්නන් ප්‍රබුද්ධ ගායකයන් වූ අතර නාමල්, රූකාන්ත ප්‍රමුඛ අනෙක් සියලු දෙනා පීචං ගායකයින් විය. මේ බෙදීම කිසියම් ආකාරයකට අවසන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී අමරදේව හා රූකාන්ත එක්ව “ඉර හඳ පායනලෝකේ” ගීතය ගායනා කිරීමත් සමඟය. එසේම ගුණදාස කපුගේ සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ කැසට් පටයක් හා සීඩී ඇල්බමයක් නිකුත් කිරීමත් මෙම බෙදීමට කිසියම් විදියකට තුනී වී යෑමට හේතු විය.

කෙසේ නමුත් 90 දශකය හමාර වනවිට හැම දේම උඩු යටිකුරු වෙන්නට පටන් ගත්තේය. ඩිජිටල් තාක්ෂණය සමඟ දක්ෂතා ඇති නැති ඕන අයකුට ගීත ගායනා කිරීමේ හැකියාව ඇති විය. ගීත ගබඩා කර ගැනීම උදෙසා CD, DVD, FLASH DRIVE ආදිය ඇති වීමත් සමඟ කැසට් පටයට තිබූ ඉල්ලුම අහෝසි විය. කොටින්ම මේ වනවිට පෙන්ඩ්‍රයිව් සහ දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබාගත හැකි උපාංග බිහිවීම නිසා සී. ඩී සහ ඩී.වී.ඩී ද අභාවයට යමින් තිබේ. එනිසා අද කැසට්වලට ඇත්තේ කෞතුක වටිනාකමක් පමණි.

Comments