වසංගතය අස්සේ පිස්සු නටන බෙලරූස් නායකයා | සිළුමිණ

වසංගතය අස්සේ පිස්සු නටන බෙලරූස් නායකයා

බෙලරූස් හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ගැන කතා බොහොමයකි. ඔහුගේ වසර විසි හයකට වඩා වැඩි ජනාධිපති ධූර කාලය ඒ අතරින් එකකි. විශේෂත්වය වන්නේ ඔහු මේ වසර විසි හය පුරා පස් වතාවක් මැතිවරණ පවත්වමින් ජනාධිපති ලෙස තේරී පත්වීමය. ජනතා විරොධතා නොසැලකීමය.

ඔහුගේ විවාහය සහ පෞද්ගලික ජීවිතය ඔහු වටා තවත් කතා බොහො‍මයක් පතුරුවා ඇත්තේය. බිරිය‍ට අමතරව තවත් කාන්තාවකට උපන් ඔහුගේ තුන්වැනි දරුවා සහ බෙලරූස් රූ රැජිනක් සමග වන ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධය ඒ අතරින් කිහිපයකි. එහෙත් මේ සියල්ල අභිබවමින් කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යෑම ඇරඹුනු විට බෙලරූස් නායකයා තවත් රස කතා රාශියක් තමා වටා ගොඩනගා ගත්තේය.

ප්‍රථමයෙන්ම ඔහු කොවිඩ් වසංගතයෙන් බේරීමට රට වසා දැමිය යුතු නැතැයි පැවසුවේය. ඔහු පවසා සිටියේ හොඳින් වොඩ්කා බී ට්‍රැක්ටර් යොදමින් වගාබිම්වල වැඩ කිරීමෙන් කොවිඩ් වයිරසය ආසාදනය නොවන බවයි. 2020 මාර්තු 16 වැනිදා ඔහු වසංගතය සම්බන්ධව මෙසේ පවසා සිටියේය. “ට්‍රැක්ටර් යොදමින් වගාබිම්වල වැඩකරන මිනිසුන් වසංගතය ගැන බිය වන්නේ නැහැ. ට්‍රැක්ටර් සියල්ලන්ම සුවපත් කරනු ඇති. වගාබිම් සියල්ලන්ම සුවපත් කරනු ඇති. “

එදිනම ඔහු ප්‍රසිද්ධියේ තවදුරටත් මෙසේ කීවේය. “ මම නම් මත්පැන් බොන්නේ නැහැ. ඒත් මේ අවස්ථාවේ මිනිසුන් වොඩ්කා අත්සේදීමට පමණක් භාවිත කළ යුතු නැහැ. එමගින් අත් පමණක් නොව වයිරසයද සෝදා දැමීමට කටයුතු කළ යුතුයි. පුද්ගලයකු දිනකට මධ්‍යසාර මිලිලීටර් 40 – 50ක ප්‍රමාණයක් පානය කළ යුතුයි” මෙහිදී ඔහු වොඩ්කා මගින් අත්සේදීම යනුවෙන් මධ්‍යසාර යන්න අදහස් කළා විය යුතුය. කෙසේ වුවද ලුකෂෙන්කෝ තම ජනතාවට මධ්‍යසාර පානය කිරීමෙන් වයිරසය ආසාදනය වීමෙන් වැළකීමට උපදෙස් දුන්නද කොවිඩ් බෙලරුස් ආක්‍රමණය කිරීමෙන් වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය. වයිරසය රට තුළ පැතිරෙන්නට විය. එහිදී ජනාධිපතිවරයා යළිත් වරක් පවසා සිටියේ බෙලරූස් යනු ශීතකරණයක් බවත්, එබැවින් වයිරසය විශාල ලෙස පැතිරෙනු ඇතැයි තමා විශ්වාස නොකරන බවත්ය.

ජනාධිපති ලුකෂෙන්කොගේ මේ ප්‍රකාශ කිසිවක් කොවිඩ් සම්බන්ධයෙන් වලංගු වූයේ නැත. මැයි මස ආරම්භය වන විට බෙලරූස්හි කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබිණි. මරණ සංඛ්‍යාව දෙසීයට ආසන්න වූයේ තරමක සැනසිල්ලක් ලබා දෙමිනි.

මේ වන විට අසල්වැසි රුසියාව වයිරසයේ ග්‍රහණයට නතු වෙමින් පැවතියේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවමිනි.

දෙවැනි ලෝක යුද ජයග්‍රහණයේ 75වැනි සංවත්සරය මැයි මස මුලට යෙදී තිබිණි. මේ සැමරුම රුසියාවට සහ කලාපීය රටවලට විශේෂ වන්නේ කිසිවකුට පැරදවිය නොහැකි වූ නාසි හමුදාව පරාජය කිරීමට හැකියාව ලැබුණේ සෝවියට් රතු හමුදාවට පමණක්ම වූ බැවිනි. සෑම වසරකම මේ ජයග්‍රහණයේ පෙළපාලිය රුසියාව ඉහළින්ම සමරන අතර ඇතැම් වර්ෂවල ජනාධිපති පුටින් ධාරානිපාත වර්ෂාවේ තෙමෙමින් මේ උළෙලට සහභාගී වී විරුවන් සමරනු දැකගත හැකි විය.

එහෙත් මෙවර කොවිඩ් පැතිරීම හේතුවෙන් හැත්තෑපස්වැනි සංවත්සරය කොතරම් විශේෂිත වුවද එය කල් දැමීමට රුසියාව නුවණැති ලෙස කටයුතු කළේය. එහෙත් බෙලරුස් ජනාධිපති ලුකෂෙන්කෝ නම් වසංගතයක් යනු සංවත්සරය කල් දැමීමට තරම් දෙයක් ලෙස සැලකුවේ නැත.

ඒ අනුව පසුගියදා ඔහු තිස්දහසකට‍ අධික පිරිසක් බෙලරුස්හි අගනුවර මින්ක් වෙත කැඳවා මහා පරිමාණයේ විජයග්‍රහණ දින සැමරුමක් සිදු කළේය.

මේ මහා ජනරාශිය මහත් තර්ජනයක් ලෙස දුටු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදහස් ඔහු තුට්ටුවකට මායිම් කළේ නැත. මේ වන විට බෙලරුස්හි කොවිඩ් ආසාදිතයන් 23,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. විජයග්‍රහණය සැමරීමෙන් පසු මේ සංඛ්‍යාවට කුමක් වනු ඇතිදැයි සෞඛ්‍ය බලධාරීහු සැක පහළ කර තිබේ. එහෙත් ලෝකයේ කතා කවදත් තුටුටවකට මායිම් නොකරන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ තවත් ඉළ ඇදෙන කතාවක් ඉක්මනින්ම පවසනු ඇත.

Comments