සෙනෙහස මරණයෙන් කෙළවර වන්නේ නැත | සිළුමිණ

සෙනෙහස මරණයෙන් කෙළවර වන්නේ නැත

ඔවුන් මේවා පළඳින්නට ඇත්තේ ජීවිතාන්තය තෙක් දරා සිටින බවට පොරොන්දු වෙමිනි. එය එසේම වන්නට ඇති බවට සැකයක් නැත්තේ මේ මුදු මෙලෙස තබා ඔවුන් ගෑස් කාමර තුළට පියංම කළ බැවිනි. බොහෝවිට ඔවුන් ගෑස් කාමර තුළදීද එකිනෙකාගෙ දෑත් අල්ලාගෙන සිටින්නට ඇත. ජීවිතයේ අන්තිම සුසුම එක්ව වා තලයට නිකුත් කරන්නට ඇත. එකිනෙකා සමීපයේ සිටියවුන්ට මරණය එතරම් රුදුරුව නොදැනෙන්ට ඇත. ඒ ආදරය එතරම්ම ශක්තිමත් වන බැවිනි. බලවත් වන බැවිනි.

1945 මැයි මස 7වැනිදා ජර්මනිය තම යටත්වීමේ ගිවිසුමට අත්සන් තැබීය. එමගින් සෑම යුද පෙරමුණකම සටන් වැද සිටි ජර්මන් හමුදාවන්ට අවි බිම තබා කොන්දේසි විරහිතව යටත් වන ලෙස දැනුම් දෙනු ලැබීය. ඒ වන විටත් හිට්ලර් දිවි නසාගෙන දින හතක් ගෙවී ගොස් අවසන්ය. වධකාගාරවල දිවි බේරා ගැනීමට සමත් වූවන් වාසනාවන්ත යැයි කියන්නේ කෙසේද? රිදුම් දෙන මතක අතරින් තවත් වසර ගණනාවක් ගෙවා දැමීමට වඩා එකිනෙකාගේ දෑත් මත මිය යාම වාසනාවක් නොවේද? අවසන එකිනෙකාගේ දෑගිලි මත පළඳවනු ලැබූ මේ රන් පළඳනා සදාකල් ඔවුන්ගේ සෙනෙහස සමරණ සිහිවටන වේ යැයි එදා කිසිවකු සිතන්නට නැත. එහෙත් ඒ මරණයේ වකවානු පසු කර වසර හැත්තෑපහක් ගතවී ඇතද මේ රන් සිහිවටන සෙනෙහසක අගය දන්නා සැමගේ සිත් රිදවන්නේය. එදා මේ පැළද සිටි ඔවුන් සදා සිහිගන්වන්නේය. සැබෑය. සෙනෙහස මරණයෙන් කෙළවර වන්නේ නැත. එය සදාකාලිකය.

 

පසු සටහන ( මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දෙවැනි ලෝක යුද සමයේදී වධකාගාරවලදී මරා දමනු ලැබූ යුදෙව්වන්ගෙන් ගලවා ගත් මංගල මුදුය. පසුගිය මැයි 7වැනිදාට ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වී වසර හැත්තෑ පහක් සම්පූර්ණ විය.)

Comments